කුරුඳු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක්

කුරුඳු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක්

ශ්‍රී ලංකාවේ වැවෙන කුරුඳු Cinnamomum zealanicum නැමැති ශාඛ විශේෂයට අයත් වන අතර, ඒවා ශ්‍රී ලංකාවට ආවේණික වේ. ඉතා ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ කුරුඳු, ස්වාභාවික රසකාරකයක් ලෙස ලොව පුරා ජනප්‍රිය විය. එය, ලෝකයේ අනෙකුත් රටවල පවතින කුරුඳු විශේෂයක් වන Cinnamomum cassia වලට වඩා වැඩි රසයකින් සහ සුවඳකින් යුතු වීම විශේෂ ලක්ෂණයකි. එමෙන්ම, කුරුඳු ඖෂධීය රසකාරකයක් ලෙස අතීතයේ සිටම භාවිතා කළ අතර, පුරාණ ඊජිප්තුවේ ද කුරුඳු භාවිතා කළ බවට සාධක හමුවී ඇත. එමනිසා, කුරුඳු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි පිළිබඳව දැනුවත් වීම වැදගත් වේ.

කුරුඳු වලින් රුධිරගත සීනි මට්ටම යාමනය වේ.

කුරුඳු භාවිතයෙන් රුධිරගත සීනි මට්ටම පමණක් නොව, රුධිරගත කොලෙස්ටරෝල් (Cholesterol) හා ට්‍රයිග්ලිසරයිඩ් (Triglyceride) මට්ටම් ද අඩුවන බවට සාධක පවතී. කෙසේ වුවත්, එසේ වීමට හේතුවන යාන්ත්‍රණය තවමත් පැහැදිලි නොවූ කරුණකි. අපගේ රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම සඳහා වැදගත් වන ඉන්සියුලින් (Insulin) හෝමෝනයේ ප්‍රතිග්‍රාහක (Receptors) වල සංවේදීතාවය, කුරුඳු වල අඩංගු රසායන ද්‍රව්‍යයන් මගින් වැඩිකරන බව ඇතැම් විද්වතුන්ගේ මතයයි. එමනිසා, රුධිරගත ග්ලූකෝස් නැමැති සීනි වර්ගය, රුධිරයෙන් ඉවත් වී පටක තුළ ගබඩා වීම සිදුවන බව “Eating Well” සඟරාවේ පළවූ පර්යේෂණයක් මගින් පෙන්වා දී ඇත. නමුත්, මෙම සෞඛ්‍යමය වාසිය ලබාගැනීම සඳහා දිනකට කුරුඳු කුඩු තේ හැඳි භාගයක් පමණ වැඩිහිටියෙකුගේ ආහාරයට එකතු විය යුතුවේ.

ආහාර ජීර්ණ පද්ධතියේ රෝගාබාධ සමනය කරයි.

ඔක්කාරය, බඩ පුරවා දැමීම, පාචනය, ආහාර අරුචිය ඇතුළු උදරාබාධ ගණනාවක් සමනය කරගැනීම සඳහා කුරුඳු භාවිතා කරනු දැකිය හැක. කුරුඳු වල පවතින ඇතැම් තෙල් වර්ග ආහාර අංශු විසුරුවා හැරීමට උපකාරී වන අතර, ඛේටය සහ ආමාශයික යුෂ ශ්‍රාවය වීම උද්දීපනය කර ආහාර ජීර්ණය හා පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කිරීම ක්‍රමවත් කරයි. එමනිසා, ආම්ලික ආහාර පාන ගැනීමේදී උදරයේ ඇතිවන අපහසුතා වළක්වා ගැනීමට ආහාරය මතට කුරුඳු කුඩු ස්වල්පයක් අවශ්‍ය පරිදි ඉසීම කළ හැකි බව ආහාර හා පෝෂණය පිළිබඳ ඇතැම් විද්වතුන්ගේ මතයයි. උදරාබාධ සමනය කරගැනීම සඳහා ආහාර ගැනීමට පැය භාගයකට පමණ පෙර කුරුඳු කුඩු තේ හැඳි භාගයක් එක් කළ වතුර වීදුරුවක් පානය කළ හැකි බව botanical-online.com වෙබ් අඩවියේ පළවූ ලිපියකින් පෙන්වා දී ඇත.

රුධිර සංසරණය වැඩිදියුණු කරයි.

කුරුඳු වල පවතින සක්‍රීය සංයෝගයක් වන සිනමැල්ඩිහයිඩ් (Cinnamaldehyde) මගින් පර්යන්ත රුධිර සංසරණය වැඩිදියුණු වේ. එමනිසා, අත් පා වල රුධිර සංසරණය දුර්වල නම්, එය වැඩිදියුණු කරගැනීම සඳහා කුරුඳු වලින් යම් උපකාරයක් ලබාගැනීමට හැකි වනු ඇත. එමෙන්ම, සීතළට නිරාවරණය වීම නිසා ඇඟිළි වල තුවාළ හටගැනීම සමනය කරගැනීමට ද කුරුඳු භාවිතා කළ හැක. කුරුඳු වලින් රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අඩුවන බවට සාධක ඇති බැවින්, රුධිර වාහිනී අවහිර වීම් සමනය කරගැනීමට ද කුරුඳු භාවිතයෙන් යම් උපකාරයක් ලබාගත හැකිවනු ඇත. රුධිර වාහිනී වල සෞඛ්‍යමය තත්ත්වය වැඩිදියුණු කරගැනීම සඳහා දිනකට කුරුඳු තේ හැඳි භාගයක් බැගින් එක් කළ වතුර වීදුරු දෙකක් පානය කළ යුතු බව ඇතැම් විද්වතුන්ගේ නිර්දේශයයි.

කෙසේ වුවත්, ඉහත සඳහන් කළ සියළු රෝග තත්ත්ව සඳහා භාවිතා කරන ප්‍රතිකර්මයන් ලෙස කුරුඳු පමණක් භාවිතා කිරීම නොකළ යුතුය. කිසිවිටෙකවත්, එවැනි රෝග සඳහා ලබාදෙන ප්‍රතිකාර වෙනුවට ආදේශකයක් ලෙස කුරුඳු හැඳින්විය නොහැකිය.

(ඡායාරූප අනුග්‍රහය: TALMADGEBOYD)

සබැඳි ලිපි:

කහ වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැන දැනගනිමු.
සුදුලූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි
කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද?
මහදුරු වලින් ලැබෙන අප්‍රකට වාසි රැසක් ගැන දැනගනිමු.

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

1 Comment on "කුරුඳු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක්"

  1. ඇතැමුන් කුරුදු තෙල් කෘමි හා මදුරු විකර්ෂකයක් ලෙසත් යොදාගන්නවා.එය කෘමින් ගෙන් බෝවන රෝග වලක්වා ගැනීමටත් යොදා ගන්නවා.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*