ඉරුවාරදයට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

ඉරුවාරදයට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

සැබැවින්ම, ඉරුවාරදය (Migraine) සුව කළ නොහැකි තත්ත්වයකි. කෙසේ වුවත්, ඉරුවාරදය ඇතිවන අවස්ථා සඳහා ප්‍රතිකර්ම ලෙස සහ ඉරුවාරදය ඇතිවන ඇතැම් අවස්ථා වැළැක්වීම සඳහා යොදාගත හැකි ඖෂධ ගණනාවක් පවතී. එමෙන්ම, ඉරුවාරදය හටගැනීම උද්දීපනය කරන සාධක (Triggering factors) වලින් වැළකී සිටීමෙන්ද, ඉරුවාරදය සෑදෙන වාර ගණන අවම කරගැනීමට හැකියාව ඇත. ඉරුවාරදයට ප්‍රතිකාර කරන්නේ කෙසේදැයි පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

  • වේදනාව සමනය කිරීම

ඉරුවාරදය වැළඳෙන ඇතැම් අයට වේදනා නාශක ගැනීමෙන් හොඳ සහනයක් ලැබේ. උදාහරණ වශයෙන්, පැරසිටමෝල් (Paracetamol) වැනි වෙළඳපොලෙන් පහසුවෙන් මිළදී ගතහැකි ඖෂධ මෙන්ම, වෛද්‍ය නිර්දේශය මත ගතහැකි ඉබියුප්‍රොෆන් (Ibuprofen), ඩයික්ලොෆෙනැක් සෝඩියම් (Diclofenac sodium) වැනි ස්ටෙරොයිඩ නොවන ප්‍රතිප්‍රදාහ ඖෂධ (Non-steroidal anti-inflammatory drugs or NSAIDs) දැක්විය හැක. නමුත්, නිතිපතා වේදනා නාශක ගැනීමද එතරම් සුදුසු දෙයක් නොවේ. මක්නිසාද, වේදනා නාශක අධික ලෙස ගනිමින් සිට එකවරම එය නැවැත් වූ විට පෙරටත් වඩා හිසරදය දැඩිවීම (Rebound headaches) සිදුවිය හැක. නැතහොත්, වේදනා නාශක නොමැතිව එදිනෙදා කාලය ගතකිරීමට නොහැකිවන පරිදි වේදනා නාශක වලට ඇබ්බැහි වීම සිදුවිය හැක. ඔබට ඕනෑම වේදනා නාශකයක් සතියක් තුළ දින දෙකකට වඩා ගැනීමට සිදුවේ නම්, වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවීම කළ යුතුවේ. ඉරුවාරදයෙන් පීඩා විඳින ඇතැම් අයට කැෆේන් අඩංගු ආහාර පාන ගැනීමෙන් සහනයක් අත් වුවද, සමහරෙකුට කැෆේන් ගැනීමෙන් එය උග්‍ර වනු දැකිය හැක.

  • ඔක්කාරය සහ වමනය සමනය කිරීම

ඉරුවාරදය සමග ඔබට ඔක්කාරය සහ වමනය ඇතිවේ නම්, ඒ සඳහා ඔබේ වෛද්‍යවරයා ඖෂධ නියම කරනු ඇත.

  • ඉරුවාරදය හටගැනීම වැළැක්වීම

මෙම ඖෂධ දිනපතා ගැනීමෙන්, ඉරුවාරදය වැළඳෙන වාර ගණන අවම කරගැනීමට හැකියාව ලැබේ. බොහෝවිට, මෙම ඖෂධ ගැනීමට නිර්දේශ කරන්නේ, මාසයකට දින 3 ක් හෝ එයට වඩා වැඩි වාර ගණනක් ඉරුවාරදය වැළඳෙන අය සඳහාය.

  • චුම්භක උත්තේජනය (Magnetic stimulation)

හිසේ පිටුපස ප්‍රදේශයට පිටතින් සවිකරන transcranial magnetic stimulator (TMS) නම් වූ උපකරණයක් මගින් පෙර නිමිති සහිත ඉරුවාරදය (Migraine with aura) ආරම්භ වීමත් සමග ප්‍රතිකාර කළ හැක. එම උපකරණය මගින් මොළයේ කොටසකට ස්පන්දනයක් ලෙස චුම්භක ශක්තිය යොමුකරයි. එමගින්, ඉරුවාදය සමනය වීම හෝ වැළැක්වීම සිදුවේ.

ඉරුවාරදය හටගැනීම වළක්වා ගන්නේ කෙසේද?

ඔබට ඉරුවාරදය හටගැනීම උද්දීපනය කරන සාධක හඳුනාගෙන ඒවායෙන් වැළකීම මගින්, ඉරුවාරදය වැළඳෙන වාර ගණන අවම කරගැනීමට හැකියාව පවතී. ඔබට ඉරුවාරදය වැළඳෙන අවස්ථා සහ ඒවා උද්දීපනය වීමට හේතුවූ සාධක පිළිබඳව දිනපොතක සටහන් කරගන්න (Headache diary). එමගින්, ඔබට ඉරුවාරදය වැළඳීමට හේතුවන සාධක පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමට හැකිවේ.

මානසික ආතතිය පාලනය කරගැනීම සහ සිරුර හා මනස ලිහිල් කරගැනීමට පුහුණුවීම (Relaxation training) තුළින්, ඉරුවාරදය වළක්වා ගැනීමට හෝ ඉරුවාරදය උග්‍ර වීමෙන් වළක්වා ගැනීමට හැකිවේ. එමෙන්ම, දිනපතා ප්‍රමාණවත් සහ සුවදායක නින්දක් ලබාගැනීම තුළින් ද ඉරුවාරදය වැළඳීම වළක්වා ගැනීමට හැකියාව ලැබේ.

විජලනය වීම නිසාද හිසරදයන් හටගැනීම උද්දීපනය වන බැවින්, දවස පුරා නිසි පරිදි ජලය පානය කරන්න. සීනි අධික ආහාර පාන ගැනීමෙන් පසු කෙටි කාලයකදී රුධිරගත සීනි මට්ටම වැඩිවී, යලි අඩුවන බැවින් හිසරදයන් හටගැනීම උද්දීපනය විය හැක. එබැවින්, සීනි අධික ආහාර පාන සීමා කිරීම ඉරුවාරදයෙන් වැළකීමට වැදගත් වේ.

ඔසප්වීම ආශ්‍රිතව ඉරුවාරදය වැළඳෙන කාන්තාවන්ට සෑම මාසයකම ඔසප්වීම සිදුවන කාලයේදී, ඉරුවාරදය හටගැනීම වැළැක්වීම සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගත හැක.

නිසි කාල පරතරයක් සහිතව ආහාර ගැනීමට හුරුව සිටින අයට සහ නිසි පරිදි විවේක ගන්නා අයට ඉරුවාරදය වැළඳෙන අවස්ථා අඩුය. එමෙන්ම, නිතිපතා මධ්‍යම තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම හෝ ශාරීරික ක්‍රියාකාරකම් (Moderate-intensity physical activities) සිදුකරන අයට ද ඉරුවාරදය වැළඳෙන්නේ අඩු වශයෙනි. අධික තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම (High-intensity physical activities) කිරීම මෙන්ම, ඉඳහිට ව්‍යායාම කිරීම මගින් ද, ඉරුවාරදය හටගැනීම උද්දීපනය විය හැක.

ඉරුවාරදය හටගැනීම වැළැක්වීම සඳහා ජීවන චර්යාවේ වෙනස්කම් (Lifestyle changes) සිදුකිරීම පමණක් ප්‍රමාණවත් නොවන විට, වෙනත් විකල්ප ක්‍රම ද පවතී. එවැනි අවස්ථා වලදී, ජීවන රටාවේ වෙනස්කම් වලට අමතරව ඉරුවාරදය වැළැක්වීමට යොදාගන්නා ඖෂධ දිගටම ගැනීමෙන්, ඉරුවාරදය උග්‍ර තත්ත්වයට පත්වීම වළක්වාගෙන, ඉරුවාරදය වැළඳෙන වාර ගණන අවම කරගැනීමට ද හැකියාව ලැබේ.

(ඡායාරූප අනුග්‍රහය: Mislav Marohnić)

සබැඳි ලිපි:

ඉරුවාරදය (Migraine) ගැන මදක් දැනගනිමු.

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඉරුවාරදයට ප්‍රතිකාර කරන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*