ඉරුවාරදය (Migraine) ගැන මදක් දැනගනිමු.

ඉරුවාරදය (Migraine) ගැන මදක් දැනගනිමු

ඉරුවාරදය (Migraine), බොහෝවිට ඔක්කාරය, වමනය, සහ ආලෝකයට සංවේදී වීම වැනි රෝග ලක්ෂණ සමග හටගන්නා තද හිසරදයක් ලෙස හැඳින්විය හැක. එම හිසරදය සාමාන්‍යයෙන් පැය 4 සිට දින 3 ක් දක්වා පැවතිය හැකි අතර, ඇතැම් අවස්ථා වලදී එයට වඩා වැඩි කාලයක් පවතින අවස්ථා ද ඇත.

ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද?

සැබැවින්ම, එක් එක් හිසරදයන් හටගැනීමට හේතුවන සාධක තවමත් නිසි අයුරින් හඳුනාගෙන නැති බව කිවහොත්, එය නිවැරදිය. කෙසේ වෙතත්, මොළයේ හටගන්නා ඇතැම් වෙනස්කම් මෙන්ම, පරම්පරාවෙන් පරම්පරාවට ගමන් ගන්නා ඇතැම් ජාන සමග හිසරදයන් වල සම්බන්ධතාවයක් ඇති බව පෙනේ. එමෙන්ම, ඇතැම් අයට වෙහෙසකර බව, දීප්තිමත් ආලෝකයන්, කාළගුණ වෙනස්වීම්, සහ වෙනත් සාධක මගින් ඉරුවාරදය හටගැනීම උද්දීපනය වන අවස්ථා ද පවතී.

වසර ගණනාවක් තිස්සේ, ඉරුවාරදය හටගැනීමට හේතුවන්නේ මොළයේ රුධිර සංසරණයේ වෙනස්වීම් බව බොහොමයක් විද්‍යාඥයින් විශ්වාස කරන ලදි. නමුත්, වර්තමාන විද්‍යාඥයින් බොහොමයක් විශ්වාස කරන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරන මොළයේ දුර්වලතාවයන් හෝ දෝෂයන් නිසාවෙන් ඉරුවාරදය හටගන්නා බවයි.

ඉරුවාරදය ආරම්භ වන්නේ මොළයේ ඇතැම් ස්නායු සෛල අධි ක්‍රියාකාරී වී සංඥා නිකුත් කිරීමත් සමගය. එම සංඥා මගින්, හිස සහ මුහුණ ප්‍රදේශයේ සංවේදන හඳුනාගැනීමට වැදගත් වන ත්‍රිශාඛ ස්නායුව (Trigeminal nerve) සක්‍රීය වේ. මෙහිදී, එම ස්නායුවේ සෛල මගින් ඇතැම් සම්ප්‍රේෂක රසායන ද්‍රව්‍යයන් (Neurotransmitters) නිදහස් වන අතර, එමගින් මොළයේ ආස්තර වල පවතින රුධිර වාහිනී විස්තාරණය වීම සිදුවේ. මෙම ක්‍රියාවලිය තවදුරටත් සම්ප්‍රේෂක රසායන ද්‍රව්‍යයන් නිදහස් කිරීමට හේතුවන අතර, ඒ නිසාවෙන් ප්‍රදාහයක් (Inflammation) සමග වේදනාව ඇතිවේ.

ඉරුවාරදය හටගැනීම උද්දීපනය කරන සාධක මොනවාද?

ඉරුවාරදය හටගැනීමට බහුළව හේතුවන සාධක මෙසේ දැක්විය හැක.

  • මානසික ආතතිය (Stress): මෙය ඉරුවාරදය හටගැනීම උද්දීපනය කරන ප්‍රධානතම සාධක වලින් එකකි.
  • ඇතැම් ආහාර පාන: චීස්, ඇල්කොහොල්, නයිට්‍රේට් වැනි ආහාර ආකලන (Food additives), සහ මොනෝසෝඩියම් ග්ලූටමේට් (Monosodium glutamate or MSG) ඉරුවාරදය හටගන්නා අවස්ථා වලින් 30% දක්වා ප්‍රමාණයකට හේතුවේ.
  • කැෆේන් (Caffeine): කැෆේන් අඩංගු ආහාර පාන අධිකව ගැනීම මෙන්ම, කැෆේන් අඩංගු ආහාර පාන නිතර ගනිමින් සිට එකවරම නැවැත්වීමෙන් ද හිසරදයන් ඇතිවේ. රුධිර වාහිනී කැෆේන් වලට හුරුවීමෙන් අනතුරුව, එය නොලැබීමෙන් හිසරදය ඇතිවිය හැක. ඇතැම් විට, ඉරුවාරදය පවතින අවස්ථා වලදී කැෆේන් ප්‍රතිකර්මයක් ලෙසද භාවිතා කළ හැක.
  • කාලගුණය සහ පරිසර වෙනස්කම්: කුණාටු, වායු පීඩනයේ වෙනස්වීම්, තද සුළං, හෝ මුහුදු මට්ටමේ සිට සිටින උස වෙනස්වීම් ආදිය ඉරුවාරදය හටගැනීම උද්දීපනය කරයි.
  • ඔසප්වීම.
  • අධික වෙහෙසකර බව.
  • ආහාර වේල් මගහැරීම සහ ආහාර ගන්නා වේලාවන් වෙනස්වීම.
  • නින්ද වෙනස්වීම: පමණ ඉක්මවා නිදාගැනීම මෙන්ම, නිදිවැරීම ද ඉරුවාරදය ඇතිවීමට හේතු විය හැක.

ඉරුවාරදය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරනවාද?

ඉරුවාරදය වැළඳෙන සෑම පස්දෙනෙක්ගෙන් හතරදෙනෙකුටම ඉරුවාරදය වැළඳෙන පවුලේ සාමාජිකයෙක් සිටිනු දැකිය හැක. මවට හෝ පියාට ඉරුවාරදය පවතී නම්, දරුවාට ඉරුවාරදය හටගැනීමට 50% ක හැකියාවක් පවතින අතර, මව සහ පියා යන දෙදෙනාටම ඉරුවාරදය පවතී නම්, දරුවාට ඉරුවාරදය හටගැනීමට පවතින හැකියාව 75% ක් දක්වා ඉහළ යයි.

ඉරුවාරදයේ රෝග ලක්ෂණ මොනවාද?

රෝග ලක්ෂණ සමූහයක් ලෙස ඉරුවාරදය ඇතිවේ. ප්‍රධාන රෝග ලක්ෂණ මෙසේ දැක්විය හැක.

  • හිසරදය: මද හිසරදයක් ලෙස මුලින් ආරම්භ වී, පුපුරණ ආකාරයේ හිසරදයක් දක්වා වර්ධනය වේ. මෙම හිසරදය ශාරීරික ක්‍රියාකාරකම් සමග උග්‍ර වනු දැකිය හැක. ඇතැම් විට, හිසරදය හිසේ එක් පැත්තක සිට අනෙක් පැත්තට මාරුවනු දැකිය හැක. සමහර අයගේ හිසේ ඉදිරිපස හෝ මුළු හිස පුරාම වේදනාව ඇතිවිය හැක.
  • ආලෝකයට, ශබ්දයට, සහ ගන්ධයන්ට සංවේදී වීම.
  • ඔක්කාරය හා වමනය, උදරාබාධය.
  • ආහාර අරුචිය.
  • සිරුරට දැඩි උණුසුමක් හෝ සීතලක් දැනීම.
  • සම සුදුමැළි වීම.
  • කරකැවිල්ල.
  • වෙහෙසකර බව.
  • පෙනීම බොඳවීම.
  • දියර ලෙස මළපහ පිටවීම.
  • කලාතුරකින් උණ ඇතිවිය හැක.

බොහෝ විට, ඉරුවාරදයත් සමග ඇතිවන හිසරදය පැය 4 ක් පමණ පවතින අතර, ඇතැම් උග්‍ර අවස්ථා වලදී සතියක් දක්වා කාලයක් වුවද පැවතිය හැක. ඉරුවාරදය හටගන්නා වාර ගණන ද පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. නමුත්, බොහෝ විට මාසයකට වාර දෙකක සිට හතරක් දක්වා ඇතිවනු දැකිය හැක. ඇතැම් අයට දින කිහිපයකට වරක් ඉරුවාරදය ඇතිවන අතර, සමහරෙකුට වසරකට වරක් හෝ දෙවරක් ඇතිවේ.

ඉරුවාරදයේ වර්ග මොනවාද?

ප්‍රධාන වශයෙන් ඉරුවාරදයේ වර්ග දෙකක් දැකිය හැක.

  • පෙර නිමිති (Aura) සහිත ඉරුවාරදය (Classic migraine)
  • පෙර නිමිති රහිත ඉරුවාරදය (Common migraine)

ඉරුවාරදයේ පෙර නිමිති යනු ඉරුවාරදය ආරම්භ වන බවට සංඥා කරන, එය හටගැනීමට පෙර ඇතිවන රෝග ලක්ෂණ සමූහයකි. හිසරදය හටගැනීමට පැයකට පමණ පෙර පෙර නිමිති ඇතිවිය හැකි අතර, එය විනාඩි 15 ක සිට පැයක දක්වා කාලයක් පැවතිය හැක.

දෘෂ්‍ය පෙර නිමිති (Visual auras):

  • නිවි නිවී දිදුලණ දීප්තිමත් තිත් හෝ ආලෝකයන් පෙනීම.
  • දෘෂ්‍ය පථයේ පෙනීම රහිත ලප හෝ ස්ථාන හටගැනීම.
  • පෙනීම බොඳවීම.
  • තාවකාලිකව පෙනීම නැතිවීම.
  • තරංග හෝ දැති ආකාරයට රේඛා දර්ශනය වීම.

ඉරුවාරදයත් සමග ඇතිවන අනෙකුත් පෙර නිමිති වලදී වෙනත් සංවේදන වලට ද බළපෑම් ඇතිවිය හැක. ඇතැම් අවස්ථා වලදී හටගන්නා සංවේදනය විස්තර කළ නොහැකි විය හැක. උදාහරණ වශයෙන්, කණ තුළ අසාමාන්‍ය නාදයන් ඇසීම, ගන්ධය වෙනස් වී දැනීම, රස දැනීම වෙනස්වීම, හෝ ස්පර්ශය වෙනස් වී දැනීම දැක්විය හැක.

දුර්ලභ ඝනයේ ඉරුවාරදයන් වලදී වෙනස් ආකාරයේ පෙර නිමිති ඇතිවිය හැක.

තාවකාලිකව සිරුරේ පැත්තක් පණ නැතිවීම හෝ හිරිවැටීම. මෙය කරකැවිල්ල හෝ පෙනීමේ හටගන්නා වෙනස්කම් සහිතව ඇතිවිය හැක. අංශභාගය (Stroke) හටගැනීමේදී ද මෙවැනිම රෝග ලක්ෂණ ඇතිවිය හැකි බැවින්, ඒ පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාම වැදගත් වේ.

තාවකාලිකව අසම්පූර්ණ ලෙස පෙනීම නැතිවීම හෝ තාවකාලිකව මුළුමනින්ම එක් ඇසක පෙනීම නැතිවීම. මෙහිදී ඇස පිටුපස වේදනාවක් ඇතිවිය හැකි අතර, එය හිස පුරා පැතිරිය හැක.

කරකැවිල්ල, මානසික ව්‍යාකූල බව, හෝ සමබරතාවය නැතිවීම. මෙහිදී හිසේ පිටුපස ප්‍රදේශයේ හිසරදය ඇතිවිය හැකි අතර, කතා කිරීමට අපහසු වීම, කණ තුළ අසාමාන්‍ය ශබ්ද හටගැනීම, සහ වමනය හටගැනීම ද දැකිය හැක. සිරුරේ හොමෝන වෙනස්වීම් සමග සම්බන්ධ බැවින්, ඉරුවාරදයේ මෙම ආකාරය තරුණ කාන්තාවන්ට වැඩිපුර වැළඳේ.

එක දිගට පැය 72 ක් හෝ එයට වැඩි කාලයක් පවතින දුර්ලභ මෙන්ම උග්‍ර වර්ගයේ ඉරුවාරදයක් ද පවතී. එහිදී ඇතිවන හිසරදය සහ ඔක්කාරය ප්‍රබල බැවින්, රෝගියාට බොහෝ අවස්ථා වලදී රෝහල්ගත වීමට සිදුවේ. ඇතැම් ඖෂධ ගැනීමේදී හෝ ඇතැම් ඖෂධ දිගටම ගැනීමෙන් පසුව එකවර නැවැත්වීමේදී ද මෙම ආකාරයේ ඉරුවාරදයන් ඇතිවනු දැකිය හැක.

ඇස් අවට වේදනාව සහ ඇසේ මාංශ පේෂි අක්‍රීය වීම සමග හටගන්නා ඉරුවාරදයන් පවතී. එසේ හටගන්නා අවස්ථා වලදී හැකි ඉක්මනින් රෝහල්ගත වීම ඉතාම වැදගත් වේ. මක්නිසාද, ඇසේ දෘෂ්ටික ස්නායුව (Optic nerve) මත පීඩනයක් ඇතිවීම හෝ රුධිර වාහිනියක උපුලුවක් (Aneurysm) ඇතිවීම වැනි දරුණු රෝග තත්ත්වයකදී ද එවැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක. මෙම ඉරුවාරදය ආකාරයේදී ඇසිපිය බරවී පහතට හැලීම, දෘෂ්ටි පථය තුළ වස්තූන් දෙක දෙක පෙනීම (Double vision), හෝ වෙනත් පෙනීමේ වෙනස්කම් ඇතිවිය හැක.

සාමාන්‍යයෙන්, පෙර නිමිති රහිත ඉරුවාරදය,  ඉරුවාරදයේ බහුළව දැකිය හැකි ආකාරයයි. මෙහිදී, පහත සඳහන් නොපැහැදිලි රෝග ලක්ෂණ ඇතිවිය හැක.

  • අනිසි බිය (Anxiety).
  • විෂාදය (depression).
  • අධික වෙහෙසකර බව.

(ඡායාරූප අනුග්‍රහය: Jose Navarro)

සබැඳි ලිපි:

ඉරුවාරදයට ප්‍රතිකාර කරන්නේ කොහොමද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඉරුවාරදය (Migraine) ගැන මදක් දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*