දරු උපත් අතර නිසි පරතරයක් තිබිය යුත්තේ ඇයි?

දරු උපත් අතර නිසි පරතරයක් තිබිය යුත්තේ ඇයි?

සැබැවින්ම, සෑම දරුවෙක්ම දෙමව්පියන්ට මෙන්ම දැයට ද ආශිර්වාදයකි. එමෙන්ම, සෑම දරුවෙක්ටම සෞඛ්‍ය සම්පන්න දිවියකට සහ උපරිම දක්ෂතාවයන් ලඟාකර ගැනීමට දෙමව්පියන්ගේ නිසි රැකවරණය ලැබිය යුතුමය. එමනිසා, සෑම දරුවෙක්ටම ආදරය සහ රැකවරණය නිසි ලෙස, සමව ලැබීමට දරු උපත් අතර නිසි පරතරයක් පැවතීම අත්‍යාවශ්‍ය සාධකයක් වේ.

ගර්භණී සමය යනු මවට මෙන්ම, කුස තුළ වැඩෙන දරුවාට ද ආවේණික වූ අවදානම් පවතින කාලයක් බැවින් සියළුම දරු උපත් සැලසුම් සහගත වීම වැදගත් වේ. මව්පිය යුවලක් ඊළඟ දරු පිළිසිඳ ගැනීම සැලසුම් කිරීමේදී, සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් මෙසේ සඳහන් කළ හැක.

  • සෞඛ්‍ය තත්ත්වය
  • වයස
  • දරුවන් ලැබීමේ සහ රැක බලා ගැනීමේ හැකියාව
  • සාමාජයීය සහ ආර්ථික ගැටළු
  • තමන්ට අවශ්‍ය වන දරුවන් ගණන

 

දරු උපත් අතර නිසි පරතරයක් තිබීමේ වැදගත්කම කුමක්ද?

දරු උපත් අතර නිසි පරතරයක් පැවතීම, අලුත උපන් දරුවාගේ යහ පවැත්මට, පවුලේ අනෙකුත් දරුවන්ගේ සහ විශේෂයෙන්ම මවගේ යහපත් සෞඛ්‍යය පිණිස හේතුවේ. එමගින්, මවට නැවත ශාරීරිකව යථා තත්ත්වයට පත්වීමට සහ පවුලේ ආර්ථික තත්ත්වය ගොඩනැගීම සඳහා කාලය ලබා දෙයි.

 

දරු උපත් අතර නිසි පරතරය මවට සහ දරුවාට බලපාන්නේ කොහොමද?

දරු ප්‍රසූතියකින් පසු ඊළඟ ගැබ් ගැනීම දක්වා අවම වශයෙන් වසර දෙකක වත් පරතරයක් පවත්වා ගැනීම, මවගේ මෙන්ම දරුවාගේ ද යහපත් සෞඛ්‍යය සඳහා වඩාත් වැදගත් බව වෛද්‍ය නිර්දේශයයි. මක්නිසාද, දරු උපත් අතර පරතරය අඩුවීම නොමේරූ දරු උපත් (Premature births), මළ දරු උපත් (Still births), සහ අඩු බර දරු උපත් (Low birth weight) සිදුවීමට පවතින අවදානම සැලකිය යුතු ලෙස ඉහළ දමයි. දරු උපත් අතර පරතරය අඩුවීම, මවගේ සහ දරුවාගේ රක්තහීනතාවය (Anaemia) සහ මන්දපෝෂණය (Malnutrition) හටගැනීමට පවතින අවදානම ද වැඩි කරයි.

 

දරු උපත් අතර නිසි පරතරය දැනට ජීවත්වන දරුවන්ට බලපාන්නේ කෙසේද?

අඩු පරතරයකින් යුතුව තවත් දරුවෙකු ඉපදීමේ ප්‍රධානතම අහිතකර බලපෑමක් වන්නේ, පෙර දරුවාට මවුකිරි දීමේ කාලය කෙටි වීමයි. සාමාන්‍යයෙන්, අලුත උපන් දරුවෙකුට වසර දෙකක් වත් සම්පූර්ණ වෙන තෙක් මවුකිරි ලබාදිය යුතු බව වෛද්‍ය නිර්දේශයයි. දරුවෙකුට නිසි ලෙස මව්කිරි ලබාදීම, දරුවාගේ සංවර්ධනය වැඩිදියුණු වීමට බෙහෙවින් උපකාරී වන සාධකයකි. විශේෂයෙන්ම, ගර්භණී සමය තුළදී වුවද මව්කිරි ලබාදීම නොකඩවා කළ හැකි බව අමතක නොකළ යුතුය.

තවද, ඔබගේ දැනට සිටින දරුවාට ලැබෙන ආදරය සහ අවධානය තවත් දරුවෙකුගේ ඉක්මන් පැමිණීමත් සමග අඩුවීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. එය, ඔබේ දරුවාගේ මානසික සහ කායික වර්ධනය කෙරෙහි අහිතකර බලපෑම් ඇතිකරනු ඇත.

 

දරු උපත් අතර පරතරය ඔබේ පවුලට බලපාන්නේ කෙසේද?

සැලසුම් කිරීමකින් තොරව සිදුවන කඩිනම් ගැබ්ගැනීමක් ඔබගේ පවුල් ජීවිතයට මෙන්ම, සාමාජයීය ඵලදායීතාවයට ද අහිතකර බලපෑම් ඇතිකරනු ඇත. එමෙන්ම, දරු උපත් අතර නිසි පරතරයක් පවත්වා ගැනීම ඔබේ පවුලේ ආර්ථිකයට ද ප්‍රතිලාභ අත්කර දේ. ශ්‍රී ලාංකීය සමාජය තුළ නීති විරෝධී ගබ්සාවන් වලට හේතුවන එක් ප්‍රධාන සාධකයක් වන්නේ දරු ප්‍රසූතියකින් පසුව නැවත ඉක්මනින් දරු ගැබක් පිහිටීමය.

 

පවුල් සැලසුම් ක්‍රම ආරම්භ කළ යුතු කාලය කුමක්ද?

දරු ප්‍රසූතියකට පසුව නැවත ඔසප්වීම ආරම්භ වීමට පෙර හෝ දරුවාට මව්කිරි ලබාදෙන කාලය තුළදී වුවද, නැවත පිළිසිඳ ගැනීමක් සිදුවිය හැක. සාමාන්‍යයෙන්, දරු උපතකින් පසු පළමු මාසයේදී නැවත දරු පිළිසිඳ ගැනීමක් සිදුවීම ඉතා දුර්ලභය. එමනිසා, දරු උපතකින් සති 6 ක් ඇතුළත පවුල් සැලසුම් ක්‍රමයක් ආරම්භ කිරීම වැදගත් වේ.

 

උපත් අතර නිසි පරතරයක් පවත්වා ගැනීමට භාවිතා කළ හැකි ක්‍රම මොනවාද?

දරු උපතක් සිදුවූ වහාම:

දරු උපතින් සති 6 කට පසුව:

 

විශේෂයෙන් සැලකිය යුතු කරුණු

මව්කිරි දීම නැවත පිළිසිඳ ගැනීම ප්‍රමාද කරන මුත්, එය කිසිවිටෙකවත් විශ්වාසනීය පවුල් සැලසුම් ක්‍රමයක් නොවේ. ස්වාභාවික පවුල් සැලසුම් ක්‍රම (Natural contraceptive methods) ද එතරම් සාර්ථක ඒවා නොවේ. විශේෂයෙන්ම, සරු දින ගණන් කිරීමේ ක්‍රමය දරු ප්‍රසූතියකින් පසුව භාවිතා කිරීම සුදුසු නොවේ. මක්නිසාද, දරු උපතකට පසුව ඔසප්වීම අක්‍රමවත් විය හැක.

මව්කිරි ලබාදෙන මවක් දරුවාට මාස 6 ක් ගතවන තුරු ගිලින පවුල් සැලසුම් පෙති (Oral contraceptive pills) භාවිතා නොකළ යුතුය.

එමෙන්ම, ඔබට තවත් දරුවෙක් අවශ්‍ය නම්, අනවශ්‍ය ලෙස දරු උපත් අතර පරතරය වසර දෙකකට වඩා දීර්ඝ කිරීම ද සුදුසු නොවේ. මක්නිසාද, එය මව වයස්ගත වීමට මෙන්ම, සමහර රෝග තත්ත්ව හටගැනීමට පවතින අවදානම වැඩිවීමට ද හේතු විය හැක.

ඔබ සහ ඔබේ සහකරු තවදුරටත් දරුවන් බලාපොරොත්තු නොවන බව නිශ්චිතවම තීරණය කර ඇත්නම්, ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයක් පිළිබඳව ඔබගේ සායනයේ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කරන්න. නමුත්, ස්ථිර පවුල් සැලසුම් ක්‍රමයක් සිදුකළ පසු එය නැවත හැරවීම ඉතාම දුෂ්කර කාර්යයක් බව අමතක නොකරන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Martin Cooper)

 

සබැඳි ලිපි:

පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව හොඳින් දැනුවත් වෙමු!

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරු උපත් අතර නිසි පරතරයක් තිබිය යුත්තේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*