ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම නැතිකර ගන්නේ කෙසේද?

ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම නැතිකර ගන්නේ කෙසේද?

ඇතැම් ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම නිතැතින්ම සිදුවන්නකි. නමුත්, මෙසේ දැඩි කැමැත්තක් පවතින ආහාර නිතර ගැනීමට පෙළඹීම ඔබේ සෞඛ්‍යයට එතරම් හිතකර නොවේ. මක්නිසාද, සාමාන්‍යයෙන් අපට දැඩි ආශාවක් ඇතිවන්නේ සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර කෙරෙහිය. කෙසේ වුවත්, ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම වළක්වා ගැනීමට නම්, ඔබ දැඩි ආශාවක් දක්වන ආහාර සහ එම ආහාර කෙරෙහි ඔබ දක්වන කැමැත්ත නිසි පරිදි හඳුනා ගැනීමට අවශ්‍ය වේ. එමනිසා, ඔබේ ආහාර රටාව වෙනස් කිරීම සඳහා උත්සාහ කිරීමට පෙර, ඔබ වැඩියෙන්ම ආහාරයට ගැනීමට කැමති ආහාර සහ එම ආහාර ගැනීමට පෙළඹෙන වේලාවන් හඳුනාගත යුතුය. ඇතැම් අය පැණිරස ආහාර වලට වැඩි කැමැත්තක් දක්වන අතර, සමහරෙක් ලුණු හෝ තෙල් අධික ආහාර ගැනීමට වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම, ඇතැම් අයට කුසගින්න හටගැනීමත් සමග ආහාර සඳහා දැඩි ආශාවක් ඇතිවන අතර, සමහරෙක්ට එසේ වන්නේ මානසික පීඩනයක් හෝ ආතතියක් ඇති විටය. ආහාර සඳහා දැඩි ආශාවක් ඇතිවන්නේ කුමන අවස්ථා වලදී ද යන්න ඔබටම වටහා ගැනීම අපහසු නම්, ආහාර දිනපොතක් පවත්වා ගෙන යාමට කටයුතු කරන්න.

පළමු පියවර

කුසගින්න ඇතිවන විට, ඇතැම් ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම වළක්වා ගැනීම ඉතා අපහසු දෙයකි. එමනිසා, කුසගින්න ඇතිනොවන පරිදි, ඔබේ උදරය පිරුණු ස්වභාවයකින් පවත්වා ගැනීම වැදගත් වේ. ප්‍රධාන ආහාර වේල් තුනක් වෙනුවට දවස පුරා ගැනීමට හැකිවන පරිදි කුඩා ආහාර වේල් ගණනාවක් සකස් කරගන්න. කිසිඳු ආහාරයක් නොගෙන පැය හතරකට වඩා කාලය ගතකරන්න එපා.

දෙවන පියවර

ඔබේ සිරුර විජලනය නොවන පරිදි දවස පුරා ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. මක්නිසාද, ඔබේ සිරුර පිපාසය සහ කුසගින්න පටලවා ගන්නා අවස්ථා ඇතිවිය හැක. ඔබට දිනකට ජලය වීදුරු 8 ක් පානය කිරීම අපහසු නම්, තේ, සීනි එකතු නොකරන ලද පළතුරු හෝ එළවළු යුෂ වැනි පානයන් තෝරාගැනීමේ වරදක් නැත.

තෙවන පියවර

සෞඛ්‍ය සම්පන්න කෙටි ආහාර පමණක් නිවස තුළ තබාගන්න. බිස්කට්, රසකැවිලි, සීනි එකතු කරන ලද පානයන් වෙනුවට පළතුරු වැනි සෞඛ්‍ය සම්පන්න ආහාර පමණක් නිවස තුළ තබාගන්න. එවිට, කෙටි ආහාරයක් ලෙස සෞඛ්‍ය සම්පන්න ආහාරයකට යොමුවන අවස්ථා වැඩිවේ. එමනිසා, ඔබට කුසගින්නක් ඇතිවීමට පවතින අවස්ථා අවම වන බැවින්, ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම වැළකේ. එබැවින්, කුරුට්ට සහිත ධාන්‍ය වර්ග සහ පළතුරු වැනි ආහාර නිවසේ ගබඩා කර තබාගැනීම වැදගත්ය.

සිව්වන පියවර

ආහාර සඳහා දැඩි ආශාවක් ඇතිවන අවස්ථා වලදී හැකිනම් කෙටි නින්දක් ලබාගන්න. ඔබේ සිරුර වෙහෙසට පත්ව තිබෙන අවස්ථා වළදී සීනි සහ පිටි සහිත ආහාර වලට වැඩි කැමැත්තක් ඇතිවනු දැකිය හැක. එයට හේතුව, එවන් අවස්ථා වලදී ඉක්මනින් සිරුරට ශක්තිය ලබාගැනීමට අවශ්‍ය වීමයි. ඔබ නිවසේ නොසිටින අවස්ථාවකදී හෝ නිසි ලෙස විවේක ගැනීමට නොහැකි විටෙක වුවද, විනාඩි 5 ක පමණ නින්දක් ලබාගැනීමට හැකිනම් එය ප්‍රමාණවත් ය.

පස්වන පියවර

ආහාරයට ගන්නා සීනි ප්‍රමාණය අවම කරන්න. මක්නිසාද, සීනි මගින් ඔබේ රුධිරගත සීනි මට්ටම ඉක්මනින් ඉහළ දැමීම් වලට සහ පහළ දැමීම් වලට ලක්කරයි. එමගින්, තවදුරටත් පැණිරස ආහාර ගැනීමට පෙළඹවීමක් ඇතිවේ. එමනිසා, සීනි වැඩිපුර අඩංගු වන රසකැවිලි, පානයන්, සහ වෙනත් ආහාර වර්ග වලින් වැළකීමට කටයුතු කරන්න. වෙළඳපොලෙන් ආහාර මිළදී ගන්නා විට ඒවායේ ලේබල් කියවා අඩංගු සීනි ප්‍රමාණයන් පිළිබඳව දැනුවත්ව සිටීම, ඒ සඳහා වැදගත් විය හැක.

(ඡායාරූප අනුග්‍රහය: Daniel Max)

සබැඳි ලිපි:

පැණිරස කෑමට ඇති ආශාවෙන් මිදෙන්නේ කොහොමද?
සකස් කරන ලද ආහාර ගැන ඔබ දැනුවත්ද?
සීනි, රසකැවිලි, සහ රසකල පානයන් අඩුවෙන් ගතයුත්තේ ඇයි?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ආහාර සඳහා දැඩි ආශාවක් හටගැනීම නැතිකර ගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*