ක්ෂය රෝගය දුරුකිරීම සඳහා සැවොම එක්වෙමු.

ක්ෂය රෝගය දුරුකිරීම සඳහා සැවොම එක්වෙමු

ක්ෂය රෝගය හෙවත් කාසය (Tuberculosis or TB) මයිකොබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් (Mycobacterium tuberculosis) නැමැති බැක්ටීරියාව නිසා ඇතිවේ. එය වාතය මගින් බෝවන රෝගයක් වන බැවින් පරම්පරාගත රෝගයක් නොවේ. සාමාන්‍යයෙන්, ක්ෂය රෝගය නිසා පෙනහළු වල පටක වලට හානි සිදුවන අතර, සිරුරේ වෙනත් ඕනෑම ස්ථානයකද ක්ෂය රෝගකාරක බැක්ටීරියාව නිසා ආසාදනය වීම සිදුවිය හැක. 2015 වසර වනවිට, ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 100,000 කට ක්ෂය රෝගීන් 103 බැගින් හමුවන බව සොයාගෙන ඇත. කෙසේ වුවත්, තවමත් හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4000 ක් පමණ අප අතර සිටින බවට ගණනය කර ඇත.

2014 වසර තුළදී, ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට රෝගීන් 9473 ක් ලියාපදිංචි වී ඇති අතර, ඉන් 7884 ක් හෙවත් 83.2% ක් සාර්ථකව ප්‍රතිකාර ගෙන අවසන් කර ඇත. නමුත්, සමස්ථ රෝගීන් සංඛ්‍යාවෙන් 657 ක් හෙවත් 6.9% ක් ක්ෂය රෝගය හේතුවෙන් මරණයට පත්ව ඇත.

ක්ෂය රෝගය බෝවන්නේ කොහොමද?

ප්‍රතිකාර නොගන්නා, පෙනහළු ආශ්‍රිතව ක්ෂය රෝගය තිබෙන පුද්ගලයෙක් කහින විට, කිවිසුම් හරින විට, සිනාසෙන විට, කතාකරන විට, සහ හුස්ම ගන්නා විට පියෙවි ඇසට නොපෙනෙන විෂ බීජ සහිත සෙම බිඳිති වාතයට එකතු වේ. මෙම විෂ බීජ සහිත බිඳිති ආශ්වාස කිරීමෙන් නිරෝගී පුද්ගලයෙක් ආසාදනය විය හැක.

ක්ෂය රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

  • සති දෙකකට වඩා පවතින කැස්ස
  • රාත්‍රී කාලයේ ඇතිවන මද උණ
  • සිරුරේ බර අඩුවීම
  • රාත්‍රී කාලයේ අධික ලෙස දහඩිය දැමීම
  • ආහාර අරුචිය
  • සෙම සමග රුධිරය පිටවීම
  • හුස්ම ගැනීම අපහසු වීම, පපුවේ වේදනාව
  • වෙහෙසකාරී බව

ඉහත සඳහන් රෝග ලක්ෂණ එකක් හෝ වැඩි ගණනක් පවතී නම්, ළඟම පිහිටි ළය රෝග සායනයට හෝ සෙම පටල පරීක්ෂණාගාරයට පැමිණ නොමිළේ සෙම පටල පරීක්ෂාවක් කරගන්න.

ක්ෂය රෝගයට ප්‍රතිකාර

නිසි ප්‍රතිකාර දිනපතා මාස හයක් ගැනීමෙන් ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැක. නමුත්, ප්‍රතිකාර පැහැර හැරීමෙන්:

  • ක්ෂය රෝගය සුව නොවේ.
  • ක්ෂය රෝගය අන් අයට බෝ කරන්නෙකු බවට පත්වේ.
  • සුව කළ නොහැකි බහු ඖෂධ ප්‍රතිරෝධී ක්ෂය රෝගී තත්ත්වයට (Multi drug resistant tuberculosis or MDRTB) වුවද පත්විය හැක.

ක්ෂය රෝගය වැළඳීමට වැඩි අවදානමක් ඇත්තේ කාටද?

ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය හෙවත් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව (Immunity) අඩුවීම ක්ෂය රෝගය වැළඳීමට පවතින අවදානම වැඩි කරයි. නමුත්, සාමාන්‍ය ප්‍රතිශක්තියක් ඇති අයෙකුට වුවද ක්ෂය රෝගය වැළඳීමට හැකියාව ඇත. පහත සඳහන් අවස්ථා වලදී සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල වන බැවින් ක්ෂය රෝගය වැළඳීමට ඇති අවදානම වැඩිවේ.

  • දියවැඩියාව වැනි පාලනය නොවූ නිදන්ගත රෝග
  • එච්. අයි. වී හෝ ඒඩ්ස් රෝග ආසාදනය
  • අවයව බද්ධ කිරීමකින් පසුව දිගුකාලීනව ප්‍රතිකාර ගන්නා රෝගීන්
  • මත්පැන්, දුම්වැටි, හෝ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්
  • මන්දපෝෂණය
  • වයස්ගත අය
  • වයස අවුරුදු පහට වඩා අඩුවීම

ක්ෂය රෝගය පැතිරීම වැළැක්වීමට ඔබට කළ හැක්කේ කුමක්ද?

ක්ෂය රෝගය පැතිරීම වළක්වා, එය තුරන් කිරීම සඳහා ඔබටද දායක විය හැකි බව අමතක නොකරන්න. ඒ සඳහා ඔබට පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කළ හැක.

  • ඔබට ක්ෂය රෝගය පවතින බවට සැක සහිත රෝග ලක්ෂණ කිසිවක් ඇත්නම්, වෛද්‍යවරයෙක් වෙත, ළඟම ඇති ළය රෝග සායනයට, හෝ සෙම පටල පරීක්ෂණාගාරයට ගොස් පරීක්ෂා කරගන්න.
  • ක්ෂය රෝගීන් කොන්කරන්න එපා. නිසි ප්‍රතිකාර ගැනීම ආරම්භ කර දින කිහිපයකින් ඔවුන්ගෙන් අන් අයට රෝගය බෝවීම නවතී. නමුත්, දිගටම එසේ ක්ෂය රෝගය අන් අයට බෝ නොවීමට නම් අදාළ රෝගියා නිසි ලෙස ප්‍රතිකාර ගෙන අවසන් කළ යුතුවේ.
  • කිවිසුම් යවන විට සහ කහින විට ලේන්සුවකින් මුව ආවරණය කරගැනීමට කටයුතු කරන්න.
  • තැන තැන කෙළ ගැසීමෙන් හෝ සෙම, සොටු සූරා දැමීමෙන් වළකින්න.
  • මත්පැන්, දුම්වැටි, හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න.
  • ඇදුම, දියවැඩියාව වැනි කල් පවතින රෝග, ප්‍රතිකාර ගැනීමෙන් නිසි ලෙස පාලනය කරගන්න.
  • ක්ෂය රෝගය පිළිබඳව අන් අය දැනුවත් කරන්න.
  • ක්ෂය රෝගීන්ට නිසි ලෙස ප්‍රතිකාර ගැනීමට සහාය වන්න.

මූලාශ්‍රය: ක්ෂය රෝග මර්ධන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන

(ඡායාරූප අනුග්‍රහය: Harsha K R)

සබැඳි ලිපි:

ඇදුම රෝගය (Bronchial Asthma) ගැන දැනගනිමු.
දියවැඩියාව පාලනය කිරීමට ඉඟි 10 ක්
දුම්පානය කලොත් ඔබේ ජීවිතයත් අනතුරේ…

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ක්ෂය රෝගය දුරුකිරීම සඳහා සැවොම එක්වෙමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*