කහ වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැන දැනගනිමු.

කහ වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැන දැනගනිමු

කහ යනු ශ්‍රී ලාංකීය ගෘහණියන්ට ආහාර පිසීමේදී නැතිවම බැරි සංඝටකයක් ලෙස හැඳින්වුවහොත් එය නිවැරදිය. අප ආහාර පිසගැනීමේදී කහ භාවිතා කරන්නේ ස්වාභාවික වර්ණ කාරකයක්, රස කාරකයක්, සහ සුවඳ කාරකයක් ලෙසය. කෙසේ වෙතත්, මෙම ලිපියෙන් බළාපොරොත්තු වන්නේ ආහාර පිසීමේදී කහ භාවිතා කරන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට නොව, කහ වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් පිළිබඳව හෙළි කිරීමටය.

කහ වල ප්‍රබල ඖෂධීය ගුණ සහිත ජෛව-සක්‍රීය සංඝටක (Bio-active compounds) අඩංගු වේ.

කහ වල කර්කියුමිනොයිඩ් (Curcuminoid) කාණ්ඩයට අයත් ඖෂධීය රසායනික සංඝටක අඩංගු වන අතර, එයින් කර්කියුමින් (Curcumin) යනු ප්‍රධානතම සංඝටකයයි. කහ අලයක බරෙන් 3% ක් පමණ ප්‍රමාණයක් කර්කියුමින් අඩංගු වන අතර, එය ප්‍රබල ප්‍රති-ප්‍රදාහ (Anti-inflammatory) ගුණාංග සහිත ශක්තිමත් මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරකයක් (Antioxidant) වේ.

කර්කියුමින් යනු ස්වාභාවික ප්‍රති-ප්‍රදාහ සංඝටකයකි.

දිගුකාලීනව සිරුරේ හටගන්නා ප්‍රදාහයන් (Inflammations) නිසා ඇතිවන රෝග කිහිපයක් ලෙස හෘද රෝග, පිළිකා, පරිවෘත්තීය සහලක්ෂණය (Metabolic syndrome), සන්ධි ප්‍රදාහ (Arthritis), සහ ඇල්ෂයිමර්ගේ රෝගය (Alzheimer’s disease) නැමැති ස්නායු රෝගය ඇතුළු ක්‍රමයෙන් වයස්ගත වීමත් සමග ඇතිවන රෝග හැඳින්විය හැක. කහ වල අඩංගු කර්කියුමින් යනු ප්‍රති-ප්‍රදාහ ඖෂධයකට (Anti-inflammatory drug) සාපේක්ෂව අතුරු ආබාධ ඉතාම අවම, ස්වාභාවික ප්‍රති-ප්‍රදාහ සංඝටකයකි.

කහ වලට සිරුරේ ඇති ප්‍රතිඔක්සිකාරක ධාරිතාවය (Antioxidant capacity) සැලකිය යුතු ලෙස වැඩිකල හැක.

සිරුර තුළ පවතින ඇතැම් සංඝටක ඔක්සිකරණය (Oxidation) වීමෙන්, සෛල වලට සහ පටක වලට හානි සිදුවේ. බොහොමයක් රෝග වැළඳීමට සහ වයස්ගත වීමට හේතුව වන්නේ මෙම ඔක්සිකරණ ක්‍රියාවලියයි. ඔක්සිකරණ ක්‍රියාවලියේදී සෛල තුළ පවතින මේද අම්ල, ප්‍රෝටීන්, සහ ජාන වලට හානි සිදුවේ. කහ වල අඩංගු කර්කියුමින්, මෙම ඔක්සිකරණ ක්‍රියාවලිය අඩු කිරීමට සමත් ප්‍රබල ප්‍රති-ඔක්සිකාරකයක් වන අතර, එය සිරුරේ අඩංගු වන වෙනත් ප්‍රතිඔක්සිකාරක එන්සයිම වල ක්‍රියාකාරීත්වය ද වැඩිදියුණු කිරීමට සමත් වේ.

කර්කියුමින් මගින් මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වන අතර, ස්නායු රෝග වැළඳීමට පවතින අවදානම අඩුකරයි.

කර්කියුමින් වලට මොළය ආශ්‍රිතව නිපදවෙන ස්නායුපෝෂී සාධකය (Brain-Derived Neurotrophic Factor or BDNF) නැමැති වර්ධක හෝමෝන මට්ටම වැඩි කිරීමට හැකියාව පවතී. ඇල්ෂයිමර්ගේ රෝගය සහ විෂාදය (Depression) වැනි ස්නායු ආශ්‍රිත රෝග බොහොමයකදී මෙම වර්ධක හෝමෝන සාන්ද්‍රණය අඩු වනු දැකිය හැක. එමනිසා, කර්කියුමින් වලට ඇතැම් ස්නායු ආශ්‍රිත රෝග වැළඳීම ප්‍රමාද කිරීමට හැකියාව පවතින අතර, ඇතැම් ස්නායු රෝග සමනය කිරීමට ද කර්කියුමින් සමත් වේ. එමෙන්ම, මෙම ස්වාභාවික රසායනයට මතක ශක්තිය වැඩිකිරීමට ද හැකියාව ඇති බව ඇතැම් පර්යේෂකයන්ගේ අදහසයි.

කර්කියුමින් වලට හෘද රෝග වැළඳීමට පවතින අවදානම අඩුකල හැක.

හෘද රෝග හටගැනීමේදී සිදුවන රසායනික ක්‍රියාවලිය තුළ පවතින ඇතැම් පියවර වැළැක්වීමට කර්කියුමින් වලට හැකියාව පවතින බව ඇතැම් පර්යේෂකයන් විශ්වාස කරයි. හෘද රෝග හටගැනීමේදී හෘදයේ සහ රුධිර නාල වල ආස්තරයේ (Endothelium) සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට හානි සිදුවීම දැකිය හැක. කහ වල පවතින කර්කියුමින් වලට මෙම ආස්තරයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කළ හැකි අතර, එය හෘද රෝග වැළැක්වීම සඳහා ව්‍යායාම කිරීමට සහ ඇටෝවාස්ටැටින් (Atorvastatin) නැමැති ඖෂධය ගැනීමට සමාන බව එක් පර්යේෂණයකින් පෙන්වා දී ඇත. එමෙන්ම, හෘද රෝග වැළැක්වීම සඳහා කර්කියුමින් වල පවතින ප්‍රබල ප්‍රති-ප්‍රදාහ ගුණ සහ ප්‍රතිඔක්සිකාරක ගුණ ද වැදගත් වේ.

කර්කියුමින් වලට පිළිකා වැළැක්වීමට හැකියාව ඇත.

කර්කියුමින් නැමැති ස්වාභාවික සංඝටකයට පිළිකා වැළැක්වීම සඳහා හැකියාව පවතින බවට ඇතැම් පර්යේෂණාත්මක සාධක පවතී. කර්කියුමින් සිරුරේ හටගන්නා ගෙඩි සහ ගැටිති වල රුධිර වාහිනී හටගැනීම අඩුකරන බව, පිළිකා සෛල පැතිරීම වළක්වන බව, සහ පිළිකා සෛල මරණයට පත්කිරීමට දායකත්වය දක්වන බව සොයාගෙන ඇත. විශේෂයෙන්ම, ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත පිළිකා ඇතුළු ඇතැම් පිළිකා හටගැනීම වැළැක්වීම සඳහා කර්කියුමින් වලට හැකියාව පවතින බව ඇතැම් පර්යේෂණ වළදී පෙනීගිය කාරණයකි.

ඇල්ෂයිමර්ගේ රෝගය වැළැක්වීමට සහ එම රෝගය සුවකිරීමට කර්කියුමින් උපකාර කරගත හැක.

ඇල්ෂයිමර්ගේ රෝගය යනු ස්නායු ආශ්‍රිත රෝගයක් වන අතර, විශේෂයෙන් වයස්ගත වීමත් සමග ඇතිවී ක්‍රමයෙන් මතකය දුර්වල කරයි. මෙම රෝගය සමග ඇතිවන ප්‍රදාහයන් සහ ඔක්සිකරණ ක්‍රියාවලිය සමනය කිරීමට කර්කියුමින් වලට හැකියාව පවතී. ඇල්ෂයිමර්ගේ රෝගයේදී මොළය ආශ්‍රිතව ප්‍රෝටීන් වර්ගයක් තැන්පත් වීමෙන් සැදෙන ඇමිලොයිඩ් ඵලක (Amyloid plaques) හටගන්නා අතර, කර්කියුමින් වලට මෙම ඵලක ඉවත් කිරීමට හැකියාවක් පවතී.

සන්ධි ප්‍රදාහ සමනය කිරීමට ද කර්කියුමින් වලට හැකියාව ඇත.

සන්දි ප්‍රදාහ සඳහා ප්‍රතිකර්ම ලෙස භාවිතා කරන ඇතැම් ප්‍රති-ප්‍රදාහ ඖෂධ වලට වඩා කාර්යක්ෂමව ප්‍රදාහය සමනය කිරීමට කහ වල පවතින කර්කියුමින් වලට හැකියාව පවතින බව පර්යේෂණයකින් පෙන්වා දී ඇත.

කර්කියුමින් විෂාදය සමනය කරයි.

කර්කියුමින්, විෂාදය සමනය කිරීම සඳහා ලබාදෙන ප්‍රති-විෂාද ඖෂධයක් (antidepressant) වන ෆ්ලුවොක්සෙටින් (Fluoxetine) නැමැති ඖෂධය තරම්ම කාර්යක්ෂම වන බව එක් පර්යේෂණයක් මගින් හෙළිකර ඇත. විෂාදය සෑදුනු අයගේ මොළයේ ඉගෙනීම සහ මතකය සඳහා තරමක් වැදගත් වන කොටසක් වන හිපෝකැම්පස් (Hippocampus) නමැති කොටස හැකිලෙනු දැකිය හැකි අතර, මොළය ආශ්‍රිතව සෑදෙන ස්නායුපෝෂී සාධකය අඩුවනු දැකිය හැක. කර්කියුමින්, මෙම ක්‍රියාවලි දෙකම යථා තත්ත්වයට පත්කිරීමට උපකාරී වේ.

කර්කියුමින් වයස්ගත වීම ප්‍රමාද කරන අතර, වයස්ගත වීමත් සමග වැළඳෙන දිගුකාලීන රෝග වැළඳීම අවම කරයි.

හෘද රෝග, පිළිකා, සහ ඇල්ෂයිමර්ගේ රෝගය වැනි රෝග වැළැක්වීමට උපකාරී වන බැවින්, කර්කියුමින් වලට දිගු සුවැති දිවියක් ගතකිරීමට උපකාරී විය හැකි බව විස්මයට හේතුවක් නොවේ. එමෙන්ම, වයස්ගත වීමේ ක්‍රියාවලිය සඳහා වැදගත් වන ඔක්සිකරණ ක්‍රියාවලිය සහ ප්‍රදාහයන් සමනය කරන බැවින් කහ වල අඩංගු කර්කියුමින් නැමැති ස්වාභාවික සංඝටකයට වයස්ගත වීමද මදක් ප්‍රමාද කල හැකි බව සිතිය හැක.

(ඡායාරූප අනුග්‍රහය: Steven Jackson)

සබැඳි ලිපි:

සුදුලූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි
කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද?
මහදුරු වලින් ලැබෙන අප්‍රකට වාසි රැසක් ගැන දැනගනිමු.
කුරුඳු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක්

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "කහ වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැන දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*