ඔබේ බරෙන් 5% ක් අඩු වුනොත් ඔබේ සෞඛ්‍යයට කුමක් සිදුවෙයිද?

ඔබේ බරෙන් 5% ක් අඩු වුනොත් ඔබේ සෞඛ්‍යයට කුමක් සිදුවෙයිද?

ඔබේ බරෙන් කිලෝග්‍රෑම් කිහිපයක් අඩු වුවද, එය ඔබේ සිරුර තුළ සැලකිය යුතු වෙනසක් කිරීමට සමත් වේ. එසේ නම්, ඔබේ බරෙන් 5% ක් අඩු වුනොත් ඔබේ සෞඛ්‍යයට කුමක් සිදුවෙයිද? උදාහරණයක් වශයෙන්, ඔබේ වත්මන් බර කිලෝග්‍රෑම් 80 ක් නම්, එයින් 5% ක් අඩු කරගැනීම සඳහා ඔබ අඩු කරගත යුත්තේ කිලෝග්‍රෑම් 4 ක් පමණි. සැබැවින්ම, ඔබේ බරෙන් 5% ක් අඩු කරගැනීමෙන්, සියළුම ආකාරයේ සෞඛ්‍ය ගැටළු නිරාකරණය කරගැනීමට හැකිවනවා මෙන්ම, ඔබේ සිරුරට පහසුවක් ද දැනෙනු ඇත. කෙසේ වුවත්, බර අඩු කරගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අමතක නොකරන්න.

සන්ධි ආබාධ සමනය වීම

කිලෝග්‍රෑම් 4-5 ක් බර වැඩිවීම වුවද, ඔබේ දණහිස් සහ පාද වල අනෙක් සන්ධි මත ඇතිවන පීඩනය සැලකිය යුතු මට්ටමකින් වැඩිකරයි. එමගින්, සන්ධි වල කාටිලේජ ගෙවීම වේගවත් කෙරේ. එමෙන්ම, අමතර මේදය මගින් ප්‍රදාහයන් (Inflammations) හටගැනීම වැඩිකරන බැවින්, සන්ධි ප්‍රදාහයන් (Arthritis) ද වැළඳීමට ඇති අවදානම වැඩිවේ. එමනිසා, ඔබේ බර ස්වල්පයකින් අඩු කරගැනීම වුවද, සන්ධි වලට හානිකර වන මෙම ක්‍රියාදාමයන් සමනය කිරීමට ඉවහල් වේ. ඔබේ බර පාලනය කරගෙන පවත්වා ගැනීමෙන්, ජීවිතයේ පසු කලකදී වුවද සන්ධි ප්‍රදාහ හටගැනීමට පවතින අවදානම බෙහෙවින් අඩු කරගත හැක.

දෙවන ආකාරයේ දියවැඩියාව (Type 2 diabetes mellitus) වැළඳීම වැළකේ.

ඔබට දෙවන ආකාරයේ දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් ඇත්නම්, එය වළක්වා ගැනීමට හෝ වැළඳීම ප්‍රමාද කිරීමට පවතින හොඳම ක්‍රමවේද දෙකෙන් එකක් ලෙස බර අඩු කරගැනීම දැක්විය හැක. අනෙක් ක්‍රමය වන්නේ සතියකට දින පහක්, දිනකට විනාඩි 30 බැගින් මධ්‍යම තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම (Moderate-intensity exercises) කිරීමයි. ඔබේ බරෙන් 5% ක් අඩු කරගැනීමෙන් වුවද, මෙම වාසිය ඔබට ලබාගත හැකිවේ. ඔබට දැනටමත් දියවැඩියාව ඇත්නම්, බර අඩු කරගැනීමෙන් ඔබට රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට අවශ්‍ය වන ඖෂධ ප්‍රමාණය අඩුවන අතර, රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමද පහසු වේ. එමෙන්ම, බර පාලනය කිරීමෙන් දියවැඩියාව නිසා සංකූලතා හටගැනීමට පවතින අවදානම ද අඩුවේ.

සිරුරට හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩිවේ.

ඔබේ රුධිරගත අඩු-ඝනත්ව ලිපෝප්‍රෝටීන් (Low-density lipoprotein or LDL) නැමැති සිරුරට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගැනීමට සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ඖෂධ භාවිතය උපයෝගී කරගත හැක. නමුත්, සිරුරට හිතකර අධි-ඝනත්ව ලිපෝප්‍රෝටීන් (High-density lipoprotein or HDL) නැමැති කොලෙස්ටරෝල් වර්ගය වැඩි කරගැනීම එතරම් පහසු නැත. රුධිරගත HDL ප්‍රමාණය වැඩිවීමෙන්, රුධිරගත LDL ප්‍රමාණය අඩුවන බැවින්, HDL මට්ටම වැඩියෙන් පැවතීම වඩාත් හිතකර වේ. ව්‍යායාම කිරීම සහ අමතර මේදය දහනය කිරීම මගින්, HDL කොලෙස්ටරෝල් මට්ටම වැඩි වන අතර, එමගින් හෘද රෝග වැළඳීමට පවතින අවදානම අඩුවේ.

රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් (Triglyceride) මට්ටම අඩුවීම.

ට්‍රයිග්ලිසරයිඩ් යනු ශක්තිය ලබාගැනීම සඳහා සිරුරේ මේදය ගබඩා කිරීමට උපකාරී වන රුධිරයේ පවතින මේදය වර්ගයකි. රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම වැඩිවීමෙන් හෘදයාබාධය සහ අංශභාගය වැළඳීමට පවතින අවදානම වැඩිවේ. රුධිරගත ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩුවීමට සිරුරේ බර අඩු කරගැනීම උපකාරී වේ.

රුධිර පීඩනය අඩුවේ.

සිරුරේ බර වැඩිවන විට ධමනි නැමැති රුධිර වාහිනී ඔස්සේ රුධිරය සංසරණය වීමට එරෙහිව ඇතිවන ප්‍රතිරෝධය වැඩිවේ. එමනිසා, සිරුරේ බර වැඩිවන විට ඔබේ හෘදයට වැඩි බලයකින් රුධිරය පොම්ප කිරීමට සිදුවේ. ඔබේ බරෙන් 5% ක් අඩු කරගතහොත්, රුධිර පීඩනය ආසන්න වශයෙන් 5 mmHg කින් පමණ අඩුවනු දැකිය හැක. ලුණු පරිභෝජනය අඩුකිරීම, සිරුරට හිතකර එළවළු, පළතුරු, පලා වර්ග, හා මේදය අඩු කිරි ආහාර අනුභවය වැනි සෞඛ්‍ය සම්පන්න පුරුදු එක්කර ගැනීමෙන් රුධිර පීඩනය තවත් අඩු කරගත හැක.

ඉන්සියුලින් ප්‍රතිරෝධය (Insulin resistance) අඩුකරයි.

මේදය, විශේෂයෙන් උදරය ආශ්‍රිත මේදය, රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට වැදගත් වන ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට බාධා ඇතිකරයි. ඔබේ බර වැඩිනම්, ඔබේ අග්න්‍යාශය හෙවත් ඇලදිව (Pancreas) වැඩිපුර ඉන්සියුලින් නිපදවුවද, ඔබේ රුධිරගත සීනි මට්ටම වැඩිවිය හැක. කෙසේ වුවත්, සිරුරේ බර මදක් අඩු කරගැනීමෙන් මෙම ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කරගත හැක.

පිළිකා වැළඳීමට ඇති අවදානම අඩුවේ.

සිරුරේ බර වැඩිවත්ම ඇතැම් පිළිකා වැළඳීමට ඇති අවදානම ඉහළ යයි. උදාහරණ වශයෙන්, පියයුරු, මහා අන්ත්‍රය, වකුගඩු, ඩිම්බ කෝෂ, ගැබ්ගෙල, සහ පුරස්ථි ග්‍රන්ථිය වැනි අවයව ආශ්‍රිතව පිළිකා වැළඳීමට පවතින අවදානම සිරුරේ බර වැඩිවීමත් සමග ඉහළ යනු දැකිය හැක. බර අඩු කරගැනීමත් සමග පිළිකා වැළඳීමට ඇති අවදානම අඩුවන බවට සාධක හමුවී ඇත. එයට හේතුව ලෙස පර්යේෂකයන් පවසන්නේ බර අඩුවීමෙන් පිළිකා වැළඳීමට හේතුවන හෝමෝන අසමතුලිතතාවයන් නිවැරදි වීම විය හැකි බවයි.

නිදි ඇප්නියාව (Sleep apnoea) අඩුවේ.

නිදි ඇප්නියාව යනු සිරුරේ බර වැඩිවීමත් සමග උගුරේ පසුපස ප්‍රදේශයේ පටක මහත් වීම නිසා ඇතිවන තත්ත්වයකි. ඔබ නිදාගෙන සිටින විට සිරුර ලිහිල් වන අතර, උගුර ආශ්‍රිතව පවතින මහත් වූ පටක ලිහිල් වී වැටීම නිසා ශ්වාස නාලය අවහිර වීම සිදුවේ. එමනිසා, රැය පුරා වරින් වර හුස්ම ගැනීම නැවතීම සිදුවන අතර, එය සෞඛ්‍ය ගැටළු රැසකට හේතුවේ. විශේෂයෙන්ම, නිදි ඇප්නියාව දිගුකලක් පැවතීම හෘදය දුර්වල කර එය අකර්මණ්‍ය කිරීමට හේතුවිය හැක. ඔබේ සිරුරේ බර මදක් අඩු කරගැනීම, නිදි ඇප්නියාව සමනය කරගැනීමට බෙහෙවින් වැදගත් වේ.

සුවදායක නින්දක් ලැබේ.

සිරුරේ බර අඩු කරගැනීමෙන් නින්ද වඩාත් සුවදායක වන බැවින්, ඔබේ සිරුරට හොඳ විවේකයක් ලැබේ. නමුත්, මේ සඳහා ඔබේ බරෙන් 5% ක් වත් අවම වශයෙන් අඩු කරගත යුතුවේ.

මානසික තත්ත්වය වැඩිදියුණු වේ.

සිරුරේ බර අඩු කරගැනීම, මානසික පීඩනය අවම කරගැනීමට හේතුවේ. ඒ සඳහා එක් හේතුවක් ලෙස පර්යේෂකයන්ගේ අදහස වනුයේ බර අඩුවීමෙන් සිරුර පිළිබඳ යහපත් හැඟීමක් ඇතිවීම සහ සුවදායක නින්දක් ලැබීමයි. එක් අධ්‍යයනයකදී, විෂාදය (Depression) වැළඳුන අධිබර පුද්ගලයන් සිරුරේ බරෙන් 8% ක් අඩු කරගැනීමෙන් මානසික තත්ත්වය වැඩිදියුණු වන බව සොයාගන්නා ලදි. තවත් පර්යේෂණයකදී, බර පාලනය දිගටම පවත්වා ගැනීමෙන් වසර දෙකකට පසුව වුවද, වැඩිදියුණු වූ මානසික තත්ත්වය දිගටම පවතින බව සොයාගන්නා ලදි.

ප්‍රදාහයන් සමනය වීම

මේද සෛල, විශේෂයෙන් උදරය ආශ්‍රිතව පවතින මේද සෛල, සිරුරේ පටක වල ප්‍රදාහයන් හටගැනීමට හේතුවන රසායන ද්‍රව්‍යයන් මුදාහරියි. මෙම ක්‍රියාවලිය සන්ධි ප්‍රදාහ (Arthritis), හෘද රෝග, හෘදයාබාධ, සහ අංශභාගය ඇතිකිරීමට හේතුවිය හැක. ඔබේ සිරුරේ බරෙන් 10% ක් අඩු කරගැනීමට ඉලක්කයක් ඇතිකරගැනීමෙන්, ප්‍රදාහයන් සඳහා හේතුවන රසායන ද්‍රව්‍ය නිපදවීම අඩුවන අතර, එමගින් ඉහත ආකාරයේ උග්‍ර සෞඛ්‍ය ගැටළු හටගැනීමට පවතින අවදානම අවම වේ.

ලිංගිකව එක්වන වාර ගණන වැඩිවේ.

සිරුරේ බර වැඩිවන විට, ලිංගිකව එක්වන වාර ගණන අඩුවන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. පර්යේෂකයන්ගේ අදහස වනුයේ බර වැඩිවන විට සිරුර පිළිබඳව යහපත් හැඟීමක් නොමැති වීම ඒ සඳහා හේතු විය හැකි බවයි. එමෙන්ම, බර වැඩිවීමත් සමග ලිංගිකව එක්වීමට උවමනාවක් ඇතිවන අවස්ථා වලදී, ඒ සඳහා ආශාව අඩුවීම සහ සිරුර අඩු ප්‍රතිචාරයක් දැක්වීම ද හේතුවක් විය හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි. එමනිසා, සිරුරේ බර අඩු කරගැනීම, ඔබේ සිරුර පිළිබඳව යහපත් හැඟීමක් ඇතිකිරීමට මෙන්ම, ලිංගිකව එක්වන වාර ගණන වැඩිකිරීමට ද හේතුවිය හැක.

(ඡායාරූප අනුග්‍රහය: MIKI Yoshihito)

සබැඳි ලිපි:

ඇතැම් අයගේ බර වේගයෙන් වැඩිවන්නේ ඇයි?
ඔබ කොපමණ ඉක්මනින් බර අඩුකරගත යුතුද?
ඔබ තරබාරු අයෙක් නම්, පහසුවෙන් බර අඩුකර ගන්නේ කොහොමද?
කිලෝග්‍රෑම් 18-20 ක් අඩුකර ගැනීමට හැකි ආහාර සැලසුමක්

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබේ බරෙන් 5% ක් අඩු වුනොත් ඔබේ සෞඛ්‍යයට කුමක් සිදුවෙයිද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*