දරුවාගේ නාසයෙන් ලේ ගලනවා නම් කුමක් කළ යුතුද?

දරුවාගේ නාසයෙන් ලේ ගලනවා නම් කුමක් කළ යුතුද?

දරුවාගේ නාසයෙන් ලේ ගැලීම, බොහොමයක් දෙමව්පියන් හා වැඩිහිටියන් කලබලයට මෙන්ම, බියට පත්කරන සිදුවීමකි. කෙසේ වුවත්, නාසයෙන් ලේ ගැලීම දරුවන් අතර සුලබව දක්නට ලැබෙන තත්ත්වයක් වන අතර, එය බොහෝ අවස්ථා වලදී බරපතළ ගැටළුවක් නොවේ. නාසයෙන් ලේ ගැලීම් සිදුවන අවස්ථා බොහොමයක් ඉබේම සමනය වන අතර, ඒ සඳහා ආරක්ෂාකාරී ලෙස නිවසේදීම ප්‍රතිකාර කිරීමට හැකියාව පවතී. නාසයෙන් ලේ ගැලීම් සිදුවන අවස්ථා බොහොමයක් සිදුවන්නේ පරිසරය වියළි වන විට සහ අධික ලෙස සිසිල් වන විටය.

දරුවාගේ නාසයෙන් ලේ ගලනවා නම් කුමක් කළ යුතුද?

  • දරුවාට ඉඳගැනීමට සලස්වා දරුවාගේ හිස මදක් ඉදිරියට ඇල කරන්න. දරුවාට හිස පිටුපසට ඇල කරන්න දෙන්න එපා. හිස පිටුපසට ඇල කලහොත්, හුස්ම ගැනීමට අපහසු වීම, කැස්ස, හෝ වමනය ඇති විය හැක.
  • දරුවාට මුඛයෙන් සෙමෙන් හුස්ම ගැනීමට සලස්වා, දරුවාගේ නාසයේ ඉදිරිපස මෘදු කොටස විනාඩි 10 ක පමණ කාලයක් වේදනාවක් ඇති නොවන ලෙස ඔබේ මහපටැඟිල්ල සහ දබරැඟිල්ල යොදාගනිමින් තදකරගෙන සිටින්න.

වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ කුමන අවස්ථා වලදී ද?

ඔබේ දරුවාට පහත සඳහන් කරන ලක්ෂණ එකක් හෝ පවතී නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන්න.

  • නිතර නාසයෙන් ලේ ගැලීම.
  • නාසය තුළට යමක් ඇතුළු කරගෙන ඇත්නම් හෝ එසේ කරගෙන ඇති බවට සැකයක් පවතී නම්,
  • සමේ පහසුවෙන් රතු පැහැයට හෝ අඳුරු පැහැයට හුරු තැළුම් ආකාරයේ ලප හටගැනීම.
  • කුඩා තුවාළයකින් හෝ සීරීමකින් පවා අධිකව රුධිරය වහනය වීම.
  • මෑතකදී ආරම්භ කළ ඖෂධයක් ගැනීමෙන් පසුව නාසයෙන් රුධිරය ගැලීම.

දරුවාගේ නාසයෙන් ලේ ගලන විට වහාම රෝහල් ගත කර හදිසි ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළයුතු අවස්ථා මොනවාද?

  • නාසයෙන් අධිකව ලේ ගැලීම.
  • නාසයෙන් ලේ ගැලීමත් සමග කරකැවිල්ල ඇතිවීම හෝ දරුවා සුදුමැළි ස්වභාවයක් ගැනීම.
  • එක් වරකට විනාඩි 10 බැගින් වාර දෙකක්, තුනක් නාසය තද කරගෙන සිටියද, දිගටම රුධිරය වහනය වීම.
  • හිසට හෝ මුහුණට පහරක් වැදීමෙන් අනතුරුව හෝ වැටීමකින් අනතුරුව නාසයෙන් ලේ ගැලීම.

දරුවාගේ නාසයෙන් ලේ ගැලීම වළක්වා ගන්නේ කෙසේද?

නාසය ඇතුළත වියළීම වැළැක්වීම සඳහා වියළි පරිසර තත්ත්ව වලදී සේලයින් බිංදු හෝ සේලයින් දියර ඉසිනයක් භාවිතා කරන්න. නැතහොත්, නාස්පුඩු වල දාරය ඇතුළත පෙට්‍රෝලියම් ජෙලි ස්වල්පයක් ආලේප කළ හැක. නාසය තුළට ඇඟිලි තුඩු නොදමන ලෙස ඔබේ දරුවාට උපදෙස් දෙන්න. එමෙන්ම, දරුවාගේ දෑත් වල නියපොතු කොට කර කැපීම සිදුකරන්න.

(ඡායාරූප අනුග්‍රහය: Joseph Devon)

සබැඳි ලිපි:

දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?
දරුවාගේ උගුරේ යමක් සිරවුවහොත් කුමක් කල යුතුද?
දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?
දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?
දරුවෙකු වැටුනොත් කුමක් කල යුතුද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාගේ නාසයෙන් ලේ ගලනවා නම් කුමක් කළ යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*