ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැති බව හඟවන සලකුණු

ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැති බව හඟවන සලකුණු

නින්ද යනු අපේ ජීවිතයේ වැදගත් අංගයකි. එය කොතරම් වැදගත් දැයි පවසනවා නම්, නින්ද නොමැතිව ජීවිතයක් පැවතිය නොහැකිය. එමෙන්ම, සුවදායක නින්දක් අපගේ සෞඛ්‍යයට ද ඉතාම වැදගත් වේ. ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැත්නම්, එය ඔබේ සෞඛ්‍යයට මෙන්ම, එදිනෙදා ජීවිතයට ද අහිතකර ලෙස බලපානු ඇත. සැබවින්ම, ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැති බව හඳුනාගන්නේ කොහොමද?

සමේ ඇතිවන වෙනස්කම්

ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැත්නම්, ඉක්මනින්ම ඒ බව හඟවන අවයවයක් ලෙස ඔබේ සම දැක්විය හැක. ප්‍රමාණවත් ලෙස නින්දක් නොලැබීම සහ සමේ කුරුළෑ හටගැනීම අතර සම්බන්ධයක් පවතින බව පර්යේෂණ කිහිපයකින්ම පෙන්වා දී ඇත. එයට හේතුව ලෙස පර්යේෂකයන් දක්වන්නේ සිරුරේ හොමෝන ක්‍රියාකාරීත්වය පාලනය කිරීම, නින්ද නොයාම නිසා අක්‍රමවත් වන බවයි. එමෙන්ම, නිදි වැරීමෙන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Immune system) ද දුර්වල වන බැවින්, ගැටළු රාශියක් උද්ගත විය හැක.

ඇස් වල ඇතිවන වෙනස්කම්

ඔබේ ඇස් පියවීම සඳහා ප්‍රමාණවත් ලෙස නින්දක් නොලබන බවට සලකුණු ලෙස ඇස් රතුවීම, ඇසිපිය හා ඇස් අවට ඉදිමීම, ඇස් වටා අඳුරු පැහැවීම, සහ යටි ඇසිපිය එල්ලා වැටීම දැක්විය හැක. එමෙන්ම, නිදි වැරීමත් සමග ඇස් වටා රැලි හටගැනීම, ඉදිමීම, සහ ඇස් අවඩන් වීම වැනි ලක්ෂණ ද දැකිය හැක. එසේ වීමට හේතුව ලෙස පර්යේෂකයන් අනුමාන කරන්නේ, නිදි වැරීම නිසා තද නින්දේ පසුවන විට සිදුවන හෝමෝන ක්‍රියාකාරීත්වය පාලනය වීම සහ සිරුරේ පටක අලුත්වැඩියා කරගැනීමේ යාන්ත්‍රණ හරිහැටි සිදුනොවීමයි.

බර වැඩිවීම

ඔබේ කුසගින්න පාලනය කරන ලෙප්ටින් (Leptin) සහ ග්‍රෙලින් (Ghrelin) නැමැති හෝමෝන වල ක්‍රියාකාරීත්වය නිසි පරිදි පාලනය වන්නේ හොඳ නින්දක් ලබාගන්නා විටය. එමනිසා, ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැත්නම්, ආහාර සඳහා වැඩි රුචියක් ඇතිවන අතර, එමගින් ඔබේ බර වැඩිවීම සිදුවිය හැක.

නිශ්ඵල ආහාර (Junk food) සඳහා කෑදරකමක් ඇතිවීම

නිදි වැරූ රාත්‍රියකට පසුදින, සෞඛ්‍ය සම්පන්න ආහාර වෙනුවට සෞඛ්‍ය සම්පන්න නොවන නිශ්ඵල ආහාර සඳහා වැඩි කැමැත්තක් ඇතිවීම සාමාන්‍යයෙන් දැකිය හැකි දෙයකි. එයට හේතුව, නිදි වැරීමෙන් විඩාපත් වූ මොළය සෞඛ්‍ය සම්පන්න නොවන කෙටි ආහාර පාන සඳහා වැඩි රුචියක් දැක්වීමයි. එසේ වීම සඳහා තවත් හේතුවක් ලෙස පර්යේෂකයන් දක්වන්නේ, විඩාවට පත්වුණු පසුව ගන්නා තීරණ එතරම් නිවැරදි සහ තියුණු නොවන බවයි. එමනිසා, ආහාර තෝරාගැනීම පවා ව්‍යාකූල වන බව ඔවුන්ගේ අදහසයි.

වැඩිපුර කැෆේන් අඩංගු ආහාර පාන වලට යොමුවීම

නිදි වැරීමෙන් ඇතිවන විඩාපත් බවට පිළිතුරක් ලෙස ඇතැම් අය කැෆේන් අඩංගු ආහාර පාන වලට යොමුවනු දැකිය හැක. නමුත්, එයින් සිදුවන්නේ ඔබේ වත්මන් ගැටළුවට තවත් අංගයක් එකතුවීම පමණි. කෙටි කාලීනව කැෆේන් අඩංගු ආහාර පාන වලින් ඔබේ අවධානය මදක් දියුණු වුවත්, දිගුකාලීනව එසේ කිරීමෙන් නින්ද නොයාම (Insomnia) හෝ අනිසි බිය (Anxiety) හටගැනීමට වැඩි අවදානමක් ඇත.

නොසන්සුන් හෝ නොරුස්සනා සුළු බව

නොරුස්සනා සුළු බව, නින්ද නොයාම සමග ඇතිවන ප්‍රධාන ලක්ෂණයකි. එක් පර්යේෂණයකදී, පුද්ගලයන් පිරිසකට දිනකට පැය 4.5 බැගින් සතියක කාලයක් නිදාගැනීමට සලස්වා, ඉන් පසුව ඔවුන්ගේ හැසිරීම නිරීක්ෂණය කරන ලදි. ප්‍රතිඵලය වූයේ, එම පර්යේෂණයට සහභාගි වූ පුද්ගලයන්ගෙන් කුපිත වූ, මානසික ආතතියකට ලක්වූ, සහ මානසික ලෙස විඩාවට පත්වූ ස්වභාවයක් දක්නට ලැබීමයි. කෙසේ වුවත්, නැවත සාමාන්‍ය ලෙස නිදාගැනීමෙන් අනතුරුව ඔවුන් යථා තත්ත්වයට පත්වීම සිදුවිය.

මානසික අවපීඩනය

සුවදායක නින්දක් නොලැබීම සහ විෂාදය (Depression) හටගැනීම අතර සමීප සම්බන්ධතාවයක් ඇත. එය විෂම චක්‍රයක් ලෙසද ක්‍රියාත්මක වනු දැකිය හැක. මක්නිසාද, විෂාදය නිසා ද නින්ද නොයාම ඇතිවන අතර, නින්ද නොයාම නිසා ද විෂාදය හටගැනීම සිදුවිය හැක.

මානසික ඒකාග්‍රතාවය සහ මතකය දුර්වල වීම

දිනකට පැය 8 ක් නිදාගැනීමට හුරුවූ අයෙක් පැය දෙකක් අඩුවෙන් නිදාගැනීමෙන් වුවද, මානසික ඒකාග්‍රතාවය සහ මතකය සැලකිය යුතු ලෙස දුර්වල වනු දැකිය හැක. එමගින්, වැඩකිරීමේ කාර්‍යක්ෂමතාවය අඩුවන අතර විශේෂයෙන්ම, රිය පැදවීමේදී එය දැකිය හැක. නිදි වැරීමෙන් පසුව රිය පදවන අයගෙන් තුනෙන් එකකට වඩා රිය පදවන විට නින්ද යාම සිදුවනු දැකිය හැක.

උදෑසන අප්‍රසන්න ලෙස හැඟීම

උදෑසන අවදි වන විට උගුරේ වේදනාව, මුඛය වියලි ස්වභාවයක් ගැනීම, හෝ හිසරදය ඇත්නම්, නින්ද නොයාම සඳහා හේතුවන රෝග සහ තත්ත්ව පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ. අවරෝධක නිදි ඇප්නියාව/නෛරානය (Obstructive sleep apnoea), නින්දෙන් ගෙරවීම, හෝ උගුරට ආමාශයික අම්ලය ගලා ඒම (Acid reflux) වැනි තත්ත්ව උදාහරණ ලෙස දැක්විය හැක. ඔබට දිගින් දිගටම ඉහත කී ලක්ෂණ ඇතිවේ නම්, ඔබේ වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කිරීම වැදගත් වේ.

බොහොමයක් වැඩිහිටියන්ට දිනකට පැය 7-9 ක් නිදාගැනීමට අවශ්‍ය වේ. හොඳ නින්දක් ලබාගැනීමෙන්, ඔබේ සිරුර සහ මනස හොඳින් අලුත්වැඩියා වන අතර, ඔබේ එදිනෙදා කටයුතු සාර්ථකව කරගැනීමට එය ඉතාම වැදගත් වේ.

(ඡායාරූප අනුග්‍රහය: Skeyndor)

සබැඳි ලිපි:

හොඳ නින්දක් ලබාගැනීමෙන් ඇති වාසි
නින්ද ගැන අලුත් තොරතුරු කිහිපයක්…
හොඳ නින්දක් ලබාගන්නේ කෙසේද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබ ප්‍රමාණවත් ලෙස නිදාගන්නේ නැති බව හඟවන සලකුණු" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*