මත්පැන් භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ කිහිපයක් ගැන දැනගනිමු.

මත්පැන් භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ කිහිපයක් ගැන දැනගනිමු

නිතර මත්පැන් භාවිතයෙන් විෂාදය (Depression), විජලනය මෙන්ම, අධිකව මත්පැන් පානය කිරීම මගින් අක්මාව තුළ සිරෝසිස් තත්ත්වය ඇතිවිය හැක. එමෙන්ම, මත්පැන් මගින් ඇතිවන වෙරිමත, වෙරිමතින් පසුව එන අසනීපමය ස්වභාවය (Hangover), සහ උදරයේ ඇතිවන අපහසුතා ද අමතක කළ නොහැක. කෙසේ වුවත්, මත්පැන් භාවිතයෙන් ඔබ නොසිතන ආකාරයේ සෞඛ්‍ය ගැටළු ද ඇතිවන බව අමතක නොකළ යුතුය. මෙම සෞඛ්‍ය ගැටළු හටගැනීම සඳහා අතිශයින් බීමත් වීමද අත්‍යාවශ්‍ය කාරණයක් නොවේ. සාමාන්‍යයෙන්, ඇල්කොහොල් මගින් සිරුරේ හටගන්නා විෂ රසායන (Toxins) මුළුමනින්ම සිරුරෙන් ඉවත් වීම සඳහා දින 7-10 ක් පමණ ගතවන බව පර්යේෂණ මගින් පෙනීගොස් ඇති කරුණකි. මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට බළාපොරොත්තු වන්නේ මත්පැන් භාවිතයෙන් ඇතිවන එතරම් ප්‍රචලිත නොවන අතුරු ආබාධ කිහිපයක් පිළිබඳවය.

හෘද ස්පන්දනය අක්‍රමවත් වීම (Arrhythmia)

ඔබ යම් අවස්ථාවකදී, පමණ ඉක්මවා මත්පැන් පානය කළහොත්, ඔබේ හෘද ස්පන්දනයේ අක්‍රමවත් වීමක් ඇතිවීමට අවදානමක් පවතී. ඔබ නිතිපතා මත්පැන් පානය නොකරන අයෙක් නම්, එසේ වීමට ඇති අවදානම තවත් ඉහළ යයි. මිනිස් හෘදය ක්‍රමවත්ව සහ නිවැරදිව ස්පන්දනය වීම සඳහා වැදගත් වන විද්‍යුත් සංඥා නිපදවන කොටසක් හදවතේ පවතී. ඇල්කොහොල් වලට එම කොටසේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට බාධාකිරීමට හැකියාව පවතින අතර, ඇල්කොහොල් මගින් හෘද ස්පන්දනය වේගවත් වීම (Tachycardia) හෝ අක්‍රමවත් වීම (Arrhythmia) ඇතිවන්නේ එබැවිනි. දිගුකාලීනව, වැඩිපුර මත්පැන් පානය කිරීමට හුරුවීම මගින් හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය දැඩි ලෙස වෙනස් වී හෘද ස්පන්දනය අක්‍රමවත් වීම සිදුවේ. කෙසේ වුවත්, මෙවැනි හෘද ස්පන්දනය අක්‍රමවත් වීම් දරුණු සෞඛ්‍ය ගැටළු වලට මෙන්ම, ජීවිතයට අනතුරක් සිදුවීමට වුවද හේතුවිය හැක.

මද සරුභාවය (Subfertility)

විශේෂයෙන්ම, මත්පැන් පානය කරන පුරුෂයන් අතර ලිංගික බෙලහීනතාවය හටගැනීමට යම් අවදානමක් පවතී. එමෙන්ම, මත්පැන් අධිකව භාවිතා කිරීමෙන් පුරුෂ ලිංගික හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් (Testosterone) හෝමෝන මට්ටම අඩුවීම ද සිදුවන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. සතියකට දින පහක් පමණ මත්පැන් පානය කරන පුරුෂයන්ගේ ශුක්‍රාණු සෛල සංඛ්‍යාව සහ ඒවායේ නිරෝගීභාවය සැලකිය යුතු ලෙස පහළ වැටෙන බවද පර්යේෂණ මගින් පෙනීගිය කරුණකි. එමෙන්ම, මත්පැන් මගින් සිරුරට අත්‍යාවශ්‍ය වන සින්ක් අවශෝෂණය කරගැනීමට ද බාධා පැමිණෙන අතර, එමගින් ශුක්‍රාණු සෛල වල හිස සහ වලිගය කොටස විකෘති වීම මෙන්ම, සංසේචනය වූ කලලය මියයාම සහ ගබ්සා වීම ද සිදුවේ. මත්පැන් නිසා මද සරුභාවය හටගන්නේ පුරුෂයන්ගේ පමණක් නොවේ. මක්නිසාද, ඇල්කොහොල් මගින් කාන්තාවන්ගේ ද සරුභාවය පහත වැටෙන බව සොයාගෙන ඇත.

අක්මාවේ මේදය තැන්පත් වීම (Fatty liver)

ඇල්කොහොල් මගින් කාන්තා සහ පිරිමි දෙපාර්ශවයේම අක්මාවේ මේදය තැන්පත් වීම සිදු වුවද, පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන්ගේ වැඩිපුර සිදුවනු දැකිය හැක. අක්මාවේ තෙල් මදක් තැන්පත් වීම සාමාන්‍යයෙන් ගැටළුකාරී නොවූවද, අක්මාවේ 5-10% කට වඩා තෙල් තැන්පත් වීම සෞඛ්‍ය සම්පන්න දෙයක් නොවේ. අක්මාවේ තෙල් තැන්පත් වීම නිතිපතා මත්පැන් භාවිතා කරන්නන්ගේ නිතර හමුවන දෙයක් වුවද, බොහෝවිට සිරුරට මදක් වෙහෙසකාරී බවක් දැනීම හැර වෙනත් රෝග ලක්ෂණයක් හටගැනීම සිදුනොවේ. උග්‍ර ලෙස අක්මාවේ තෙල් තැන්පත් වීමක් හැරුණු කොට, අනෙක් සෑම අවස්ථාවකදීම මත්පැන් පානය කිරීම නතර කිරීම මගින් අක්මාවේ තෙල් තැන්පත් වීම යථා තත්ත්වයට පත්වේ. කෙසේ වුවත්, අක්මාවේ තෙල් තැන්පත් වීම සිරෝසිස් තත්ත්වය දක්වා වර්ධනය වීමට අවදානමක් ඇති බව අමතක නොකළ යුතුය.

ඇස් විවර කිරීමට නොහැකි වීම

ඇස් විවර කිරීමට නොහැකි වන පරිදි ඇසිපිය ඉදිමීම, හැකිලීම, සහ විඩාවට පත්වීම ඇතිකිරීමට හේතුවන ප්‍රධාන සාධක අතර මත්පැන් පානය කිරීම ද පවතී. මෑතක සිට ගන්නා මත්පැන් ප්‍රමාණය වැඩිකළ පුද්ගලයෙකුට එසේ වීමට වැඩි අවදානමක් පවතී. නමුත්, ඇස් විවර කිරීමට නොහැකි වීම උග්‍ර ගැටළුවක් වන්නේ ඉතාමත් කලාතුරකින් වීම වාසනාවකි. මත්පැන් පානය කිරීම නැවැත්වීමෙන් එය යථා තත්ත්වයට පත්වේ.

සන්ධි ප්‍රදාහය (Arthritis)

මත්පැන් මගින් සිරුරේ ප්‍රදාහයන් (Inflammations) හටගැනීම වැඩිවේ. එමනිසා, ඔබට සන්ධි ප්‍රදාහය ඇත්නම්, මත්පැන් භාවිතයෙන් එහි රෝග ලක්ෂණ උග්‍රවීම සිදුවිය හැක. නමුත්, එසේ වීමට අවශ්‍ය වන ඇල්කොහොල් ප්‍රමාණය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

හෝමෝන අසමතුලිතතා

මිනිස් සිරුර තුළ පවතින අධිවෘක්ක ග්‍රන්ථි (Adrenal glands) හෝමෝන ගණනාවක්ම ශ්‍රාවය කරන ඉතා වැදගත් අවයවයක් ලෙස හැඳින්විය හැක. එහි කුඩා ප්‍රමාණ වලින් ලිංගික හෝමෝන නිපදවෙන අතර, රුධිරගත සීනි මට්ටම, ප්‍රදාහය, හා ප්‍රතිශක්තිය පාලනය කිරීමට සමත් කෝටිසෝල් (Cortisol) වැනි ග්ලූකොකෝටිකොයිඩ් (Glucocorticoid) කාණ්ඩයට අයත් හෝමෝන සහ සිරුරේ රුධිර පීඩනය හා දියර පරිමාව පාලනය කරන ඇල්ඩොස්ටෙරෝන් (Aldosterone) වැනි මිනරලෝකෝටිකොයිඩ් (mineralocorticoid) කාණ්ඩයට අයත් හෝමෝන නිපදවීම ද සිදුවේ. ඇල්කොහොල් මගින් අධිවෘක්ක ග්‍රන්ථි මත ආතතියක් ඇතිවන අතර, එමගින් අධිවෘක්ක ග්‍රන්ථි වල ක්‍රියාකාරීත්වය අඩුවීම සිදුවේ. ඔබ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට පුරුදු වූ අයෙක් වුවද, එක් රාත්‍රියක මත්පැන් පානය කිරීම මගින් විශේෂයෙන්, සීනි අඩංගු පානයන් සහිතව මත්පැන් ගැනීම හා ප්‍රමාණවත් ලෙස ආහාර නොගැනීම මගින් රුධිරගත සීනි මට්ටම ගැටළුකාරී ලෙස පහත වැටීම (Hypoglycaemia) සිදුවිය හැක. විශේෂත්වය වන්නේ, මෙහිදී එම ක්‍රියාවලිය යථා තත්ත්වයට පත්කිරීමට උපකාරී වන හෝමෝන ක්‍රියාකාරීත්වය ද අඩපණ වීමයි. එමෙන්ම, මත්පැන් එක් වීදුරුවක් පානය කිරීමෙන් වුවද, රුධිරගත සීනි මට්ටම අඩුවිය හැකි අතර, එමගින් සෞඛ්‍ය සම්පන්න නොවන සීනි හා වෙනත් කාබෝහයිඩ්‍රේට අධිකව අඩංගු වන ආහාර ගැනීමට දැඩි පෙළඹවීමක් ඇතිවේ.

කැන්ඩිඩා (Candida) නැමැති යීස්ට් වර්ගය අනිසි ලෙස වර්ධනය වීම

මිනිස් ආහාර ජීර්ණ පද්ධතියේ ආස්තරය මත සහජීවීව වෙසෙන හානිකර නොවන දිලීර වර්ගයක් ලෙස කැන්ඩිඩා දැක්විය හැක. මත්පැන් භාවිතයෙන් කැන්ඩිඩා දිලීරය අනිසි ලෙස වර්ධනය වන අතර, එමගින් සීනි අඩංගු ආහාර පාන වලට දැඩි රුචියක් ඇතිවීම සිදුවේ. එමෙන්ම, නිතිපතා මත්පැන් පානය කිරීමෙන් කැන්ඩිඩා දිලීරය ආසාදනයක් මෙන් අධිකව වර්ධනය වීම සිදුවිය හැක. එමනිසා මත්පැන්, සීනි, සහ වෙනත් කාබෝහයිඩ්‍රේට වලට අධික රුචිකත්වයක් ඇතිවිය හැකි අතර, එමගින් සිරුරේ බර වැඩිවීම, පටක ඉදිමීම, ආසාත්මිකතා (Allergies), සමේ ආසාදන, ගැස්ට්‍රයිටිස්, බඩ පුරවා දැමීම, දියර ලෙස මළපහ පිටවීම (Diarrhoea), මළබද්ධය (Constipation), වෙහෙසකර බව, නිතර ආසාදන ඇතිවීම, සහ කෝටර අවහිරවීම වැනි සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැක.

අම්ල උගුරට ගලා ඒම (Acid reflux)

දිනකට මත්පැන් වීදුරු දෙකක් තුනක් පමණ පානය කිරීමෙන් ආමාශයේ පවතින අම්ලය උගුරට ගලා ඒම සිදුවිය හැක. එමගින්, පපුවේ දැවිල්ල, උදරයේ දැවිල්ල, සහ වෙනත් උදරයේ අපහසුතා ඇතිවේ. කෙසේ වුවත්, පානය කරන මත්පැන් වර්ගය අනුව රෝග ලක්ෂණ වල තීව්‍රතාවය එකිනෙකට වෙනස් වේ.

සමේ ගැටළු

මත්පැන් භාවිතයෙන් සමේ රෝග තත්ත්ව ගණනාවක් හටගැනීමට ඇති අවදානම වැඩිවන බව පර්යේෂණ මගින් පෙන්වා දී ඇත. සොරායසිස් (Psoriasis) නැමැති චර්ම රෝගය ඇති ඇතැම් අයට මත්පැන් භාවිතයෙන් එය උග්‍ර වනු දැකිය හැක. එමෙන්ම, සොරායසිස් වැළඳීමට වැඩි අවදානමක් ඇති අයෙක් මත්පැන් භාවිතා කළහොත්, එම රෝගය වැළඳීම ද සිදුවිය හැක. රොසාසියා (Rosacea) නැමැති චර්ම රෝගය ඇතිවිට මත්පැන් පානය කිරීමෙන් එහි රෝග ලක්ෂණ උග්‍ර වීම සිදුවිය හැක. ඇතැම් විට, එක් මත්පැන් වීදුරුවක් ගැනීමෙන් වුවද, සමේ කුඩා රුධිරය වහනය වීම් සහ රුධිරය කැටිගැසීම ප්‍රමාද වීම ඇතිවනු දැකිය හැක. අධිකව මත්පැන් භාවිතයෙන්, මත්පැන් පානය කර පැය ගණනාවක් ගතවන තුරු රුධිරය කැටිගැසීම ප්‍රමාද වීම දක්නට ලැබේ.

(ඡායාරූප අනුග්‍රහය: Lindsey G)

සබැඳි ලිපි:

මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි!
දුම්පානය කලොත් ඔබේ ජීවිතයත් අනතුරේ…
බුළත්විට සැපීම ඔබට හානිකර වන්නේ කොහොමද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මත්පැන් භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ කිහිපයක් ගැන දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*