යළි අංශභාගය වැළඳීම වළක්වා ගන්නේ කෙසේද?

යළි අංශභාගය වැළඳීම වළක්වා ගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ රෝහල් ගතවීමෙන් අනතුරුව සිදුවන මරණ වලින් 8.4% ක් සිදුවන්නේ අංශභාගය හෙවත් ආඝාතය (Stroke) නිසාවෙනි. සැබැවින්ම, එය දෙවැනි වන්නේ හෘද රෝග සහ පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාවට පමණි. එමෙන්ම, එක් වරක් අංශභාගය වැළඳුනහොත්, නැවත වරක් අංශභාගය වැළඳීමට ද වැඩි අවදානමක් පවතී. නමුත්, ඇතැම් වැදගත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මගින්, අංශභාගය වැළඳීමට ඇති අවදානම අඩු කරගැනීමට හැකිවනවා මෙන්ම, ඔබේ සෞඛ්‍ය තත්ත්වය ද තවදුරටත් වැඩිදියුණු කරගැනීමට හැකිවේ. එක්වරක් අංශභාගය වැළඳුන අයෙක් යළි අංශභාගය වැළඳීම වළක්වා ගැනීම සඳහා කුමක් කළ යුතුදැයි මෙම ලිපියෙන් මදක් විමසා බලමු.

ඔබගේ සෞඛ්‍ය ගැටළු වලට නිසිලෙස ප්‍රතිකාර ලබාගන්න.

  • ඔබට දැනටමත් අධික රුධිර පීඩනය (Hypertension or high blood pressure) හෝ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම (Hypercholesterolaemia) පවතිනවා නම්, ඔබේ වෛද්‍යවරයාගේ සහාය ඇතිව ඒවා නිසි පරිදි පාලනය කරගන්න.
  • ඔබට දියවැඩියාව පවතී නම්, නිසි ලෙස ප්‍රතිකාර ලබාගෙන රුධිරගත සීනි මට්ටම වෛද්‍යවරයා විසින් නිර්දේශ කරන ලද ඉලක්කගත පරාසය තුළ පවත්වා ගැනීමට කටයුතු කරන්න.
  • ඔබේ වෛද්‍යවරයා ඇස්පිරින් (Aspirin) සහ/හෝ වෙනත් රුධිරය කැටිගැසීම අඩුකරන ඖෂධ ලබාගැනීමට නිර්දේශ කර ඇත්නම්, ඒවා නිසිලෙස නිසි මාත්‍රාවෙන් ලබාගන්න.
  • ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කර ඇති පරිදිම ඖෂධ ලබාගැනීමට කටයුතු කරන්න. ඔබගේ ඖෂධ පිළිබඳව යම් ගැටළුවක් ඇති බව හැඟේ නම්, ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න.

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට හුරුවන්න.

  • දුම්පානය කිරීමෙන් සහ බුළත්විට සැපීමෙන් වළකින්න. ඔබ අවට සිටින්නන්ට ඔබ අසළ දුම්පානය කිරීමට ඉඩදෙන්න එපා. නැතහොත්, අන් අය දුම්පානය කරන ස්ථාන වලින් හැකිතරම් ඉවත්ව සිටින්න.
  • හැකිතරම් මත්පැන් භාවිතයෙන් වළකින්න.
  • ඔබේ උසට සරිලන සෞඛ්‍ය සම්පන්න බර පරාසය පිළිබඳව දැනුවත් වී, එම පරාසය තුළ ඔබේ බර පවත්වා ගැනීමට කටයුතු කරන්න. මෙහිදී, ඔබේ ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) 18.5 සහ 22.9 අතර පවත්වා ගැනීමට කටයුතු කරන්න. අධිබර (Overweight) හෝ තරබාරු (Obese) වීම, අධික රුධිර පීඩනය, හෘද රෝග, සහ දියවැඩියාව වැළඳීමට අවදානම වැඩිකරයි. මෙම රෝග තත්ත්ව වැළඳීමෙන් සිදුවන්නේ අංශභාගය වැළඳීමට ඇති අවදානම ඉහළ යාමයි.
  • ඔබේ හෘද ස්පන්දනය (Heart rate) ඉහළ දමන ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න. දවසකට අවම වශයෙන් විනාඩි 30 ක් බැගින්, සතියකට අවම වශයෙන් දින පහක් වත් ව්‍යායාම කිරීමට පුරුදුවන්න. මේ සඳහා ඇවිදීම හොඳ තේරීමක් ලෙස දැක්විය හැක. ඔබේ අභිමතය පරිදි දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම, බැඩ්මින්ටන් ක්‍රීඩා කිරීම, හෝ කණ්ඩායම් ක්‍රීඩාවක නිරතවීම ද කළ හැක.
  • ඔබේ හෘදයට හිතකර ආහාර ගැනීමට හුරුවන්න. උදාහරණ වශයෙන් පළතුරු, එළවළු, වෙනත් තන්තු බහුළ ආහාර, සහ මාළු දැක්විය හැක. සැමවිටම, ලුණු, සංතෘප්ත මේදය (Saturated fat), ට්‍රාන්ස් මේදය (Trans fat), සහ කොලෙස්ටරෝල් (Cholesterol) අඩු ආහාර තෝරාගැනීමට කටයුතු කරන්න.

යළි අංශභාගය වැළඳීම වළක්වා ගැනීමට මෙන්ම, මුල්වරට අංශභාගය වැළඳීම වළක්වා ගැනීමට ද මෙහි සඳහන් උපදෙස් බොහොමයක් අනුගමනය කළ හැක.

(ඡායාරූප අනුග්‍රහය: Arne Halvorsen)

සබැඳි ලිපි:

අංශභාගය හෙවත් ආඝාතය යනු කුමක්ද?
අංශභාගය ඉක්මනින්ම හඳුනාගන්නේ කෙසේද?
අංශභාගය (Stroke) වැළදෙන්නට ඔබටත් අවදානමක් තිබේද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "යළි අංශභාගය වැළඳීම වළක්වා ගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*