එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?

එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?

එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) යනු ගැබ්දැරීමේ හැකියාව පවතින කාන්තාවන්ගෙන් ඇතැමෙකුට වැළඳෙන රෝග තත්ත්වයක් බව පෙර ලිපියෙන් ඔබට පැහැදිලි වන්නට ඇත. බොහෝවිට, මද වශයෙන් එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇති කාන්තාවන් හට කිසිඳු රෝග ලක්ෂණයක් ඇති නොවේ. නමුත්, මෙම රෝගය වැළඳුනු ඇතැම් අයට, වේදනාව සහ වෙනත් ගැටළු ඇති වනු දැකිය හැක. එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේ දැයි පැහැදිළි කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

ඔබට එකවරම යටිබඩ ආශ්‍රිතව දැඩි වේදනාවක් එකවරම ඇතිවුණි නම්, හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුවේ. ඔබට පහත සඳහන් රෝග ලක්ෂණ පවතී නම්, ඔබේ වෛද්‍යවරයා හෝ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වී උපදෙස් ලබාගැනීමට කටයුතු කරන්න.

  • පෙර වේදනාවකින් තොරව සිදු වූ ඔසප්වීම, වේදනාකාරී වීමට පටන්ගැනීම.
  • වේදනාව ඔබේ දෛනික කටයුතු කරගැනීමට නොහැකි වන තරම් බාධාකාරී වීම.
  • ලිංගිකව එක්වීම ක්‍රමයෙන් වේදනාකාරී වීම.
  • මුත්‍රා පහකිරීම වේදනාකාරී වීම, මුත්‍රා සමග ලේ පිටවීම, හෝ මුත්‍රා ගලායාම පාලනය කිරීමට අසීරු වීම.
  • මළපහ සමග රුධිරය පිටවීම, මළපහ කිරීම වේදනාකාරී වීම, හෝ මළපහ පිටවන රටාව සහ ආකාරය වටහා ගැනීමට නොහැකි ආකාරයට සැලකිය යුතු ලෙස වෙනස්වීම.
  • කිසිඳු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා නොකර නිතිපතා ලිංගිකව එක්වන විටෙකදී පවා වසරකට වැඩි කාලයක් ගැබ්ගැනීමක් සිදු නොවීම.

ඔබට ඔසප් වීමේදී හටගන්නේ මද වේදනාවක් නම් සහ වෙනත් රෝග ලක්ෂණයක් හෝ ගැටළුකාරී තත්ත්වයක් නොමැති නම්, තවත් ඔසප් චක්‍ර කිහිපයක් වෛද්‍යවරයෙක් හමු නොවී, මදක් පරීක්ෂාකාරීව සිටීම ගැටළුවක් නොවේ. එයට පසු, ඊළඟ වෛද්‍ය හමුවේදී ඔබේ වේදනාව පිළිබඳව ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන්න.

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය නිර්ණය කරන්නේ කෙසේද?

විවිධ හේතූන් සහ ගැටළු හේතුවෙන් වේදනාකාරී ඔසප්වීම හෝ අධිකව ඔසප්වීම ඇතිවිය හැක. ඔබට එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය වැළඳී ඇත්දැයි නිර්ණය කිරීම සඳහා ඔබේ වෛද්‍යවරයා:

  • ඔබගේ රෝග ලක්ෂණ, ඔසප් චක්‍රය, ඔබගේ පෙර සෞඛ්‍ය තත්ත්වය, සහ පවුලේ රෝග ඉතිහාසය පිළිබඳව ප්‍රශ්න කිහිපයක් අසනු ඇත. මක්නිසාද, එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය කාන්තාවන් අතර පරම්පරාවෙන් පරම්පරාවට හටගැනීම සිදුවේ.
  • ශ්‍රෝණි කුහරය පරීක්ෂා කිරීමක් (Pelvic examination) සිදුකරනු ඇත. ඔබේ යෝනි මාර්ගය සහ ගුද මාර්ගය පරීක්ෂා කිරීම ද එයට ඇතුළත් වේ.

ඔබට එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය පවතින බවට සාධක පවතී නම්, ඔබේ වෛද්‍යවරයා ඒ සඳහා ප්‍රතිකාර ලෙස මාස කිහිපයක් ඖෂධ භාවිතා කිරීමට උපදෙස් ලබාදෙනු ඇත. එම ඖෂධ භාවිතයත් සමග ඔබේ රෝග ලක්ෂණ සමනය වේ නම්, ඔබට වැළඳී ඇත්තේ එන්ඩොමෙට්‍රියෝසිස් බව සිතිය හැක. ඔබගේ ඩිම්බ කෝෂයක් මත කෝෂ්ඨ (Cysts) හෙවත් දියර පිරි බුබුළු හෝ චොකලට් සිස්ට් (Chocolate cysts) පවතිනවා දැයි පරීක්ෂා කිරීම සඳහා අතිධ්වනි තරංග ස්කෑන් පරීක්ෂණයක් (Ultrasound scan), MRI ස්කෑන් පරීක්ෂණයක්, හෝ CT ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමට ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරනු ඇත.

ඔබට එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය පවතිනවා දැයි නිශ්චිතවම නිර්ණය කිරීමට කලයුතු පරීක්ෂණය වන්නේ ලැපරොස්කොපි (Laparoscopy) පරීක්ෂණයයි. මෙය එක්තරා ආකාරයට පරීක්ෂණයක් මෙන්ම ශල්‍යකර්මයක් ලෙසද හැඳින්විය හැක. මෙම පරීක්ෂාවේදී, ඔබේ වෛද්‍යවරයා ඔබේ උදර කුහරයේ ඇතිකරන සෙන්ටිමීටරයක් පමණ වූ කුඩා සිදුරක් ඔස්සේ ආලෝක ප්‍රභවයක් සහ කැමරාවක් සහිත සිහින් නලයක් ඇතුළුකර පරීක්ෂා කරනු ඇත. මෙම පරීක්ෂණය මගින් ඔබේ වෛද්‍යවරයාට ඔබේ උදර සහ ශ්‍රෝණි කුහර තුළ පවතින අවයව වල ස්වභාවය පහසුවෙන් පරීක්ෂා කිරීමට හැකියාව ලැබෙන අතර, රෝපණ (Implants), කැලැල් සාදන පටක (Scar tissues), හෝ කෝෂ්ඨ (Cysts) පවතී නම්, ලැපරොස්කොපි පරීක්ෂණය සිදුකරන අවස්ථාවේදීම ඒවා ඉවත් කිරීමට ද හැකියාව ඇත.

එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය නිට්ටාවටම සුවකල නොහැකි මුත්, තත්ත්වය සමනය කිරීම සඳහා සාර්ථක ප්‍රතිකර්ම පවතී. ඇතැම් විට, ඔබට වඩාත් ගැලපෙන ප්‍රතිකර්මය සොයාගැනීම සඳහා ප්‍රතිකාර ගණනාවක් උත්සාහ කර බැලීමට අවශ්‍ය විය හැක. ඕනෑම ප්‍රතිකාරයකින් පසුව වුවද, රෝග ලක්ෂණ නැවත හටගැනීමට හැකියාව ඇත.

ඔබට අවශ්‍ය වන්නේ එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය සමග ඇතිවන වේදනාව සමනය කරගැනීමද, නැතහොත් දරු පිළිසිඳ ගැනීමක්ද යන කාරණා මත ලබාදෙන ප්‍රතිකර්ම මදක් වෙනස් වේ. වේදනාව සහ රුධිර වහනය සමනය කිරීම සඳහා ඔබේ වෛද්‍යවරයා ඖෂධ හෝ ශල්‍යකර්මයක් නිර්දේශ කරනු ඇත. ඔබට අවශ්‍ය වන්නේ දරු පිළිසිඳ ගැනීමක් නම්, ලැපරෝස්කොපි ශල්‍යකර්මයක් තුළින් රෝපණ ඉවත් කිරීමට අවශ්‍ය විය හැක.

එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ලබාදෙන ප්‍රතිකාර:

ස්ටෙරොයිඩ නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ (Non-steroidal anti-inflammatory drugs or NSAIDs) කාණ්ඩයට අයත් වේදනා නාශක. මෙම ඖෂධ තාවකාලිකව වේදනාව මෙන්ම, රුධිර වහනය වීම ද අඩුකරයි.

පවුල් සැලසුම් පෙති. බොහෝ අවස්ථා වලදී, එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කිරීමට පවුල් සැලසුම් පෙති යොදාගනී. බොහොමයක් කාන්තාවන්ට පවුල් සැලසුම් පෙති ආරක්ෂාකාරීව වසර ගණනාවක් වුවද භාවිතා කළ හැක. නමුත්, ඔබට දරු පිළිසිඳ ගැනීමක් අවශ්‍ය නම්, මෙම ප්‍රතිකර්මය සුදුසු නොවේ.

හෝමෝන ප්‍රතිකාර (Hormone therapy). මෙම ප්‍රතිකර්මය මගින් ඔබගේ ඔසප්වීම නවතින අතර, රෝපණ ක්‍රමයෙන් ක්ෂයවීම සිදුවේ. නමුත්, හෝමෝන ප්‍රතිකාර වලින් අතුරු ආබාධ ඇතිවීමට ඉඩ ඇති අතර, ප්‍රතිකාරය නැවැත්වීමෙන් පසුව වේදනාව යලි ඇතිවිය හැක. පවුල් සැලසුම් පෙති ගැනීමේදී මෙන්ම, හෝමෝන ප්‍රතිකාර මගින් ද ගැබ්ගැනීම වැළකේ.

ලැපරොස්කොපි ශල්‍යකර්මය. මෙම ශල්‍යකර්මය මගින් රෝපණ, කැලැල් සාදන පටක, සහ කෝෂ්ඨ හෙවත් දියර පිරුණු බුබුළු ඉවත් කළ හැක. එමගින්, වේදනාව අඩුවන අතර, ෆැලෝපීය නාල ආශ්‍රිතව පවතින අවහිරතා ද ඉවත් කළ හැකි බැවින් දරු පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව ද වැඩිවේ. මෙම ලැපරොස්කොපි ශල්‍යකර්මය මගින් සිරුරට හානි සිදුවීම අවම නිසා, උදර කුහරය විවර කර සිදුකරන විවෘත ශල්‍යකර්ම වර්තමානයේ සිදුකරනු නොලැබේ.

මද සරුභාවය (Subfertility) සඳහා ප්‍රතිකාර කරන විට එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයේදී ඇතිවන රෝපණ ලැපරොස්කොපි ශල්‍යකර්මයක් ආධාරයෙන් ඉවත් කරන අතර, ඉන් අනතුරුව මාස කිහිපයක් හෝමෝන ප්‍රතිකාර ගැනීමට නිර්දේශ කෙරේ. මෙම ප්‍රතිකාර වලින් පසුව බොහොමයක් කාන්තාවන්ට සාර්ථක ප්‍රතිඵල ලැබේ.

ඇතැම් කාන්තාවන් සඳහා දැඩි වේදනාව සමනය කිරීමට ඇති අවසාන විකල්පය ලෙස ශල්‍යකර්මයක් මගින් ගර්භාෂය සහ ඩිම්බකෝෂ ඉවත් කිරීමට සිදුවිය හැක. මෙම ශල්‍යකර්මය ලැපරොස්කොපි ශල්‍යකර්මයක් ලෙස කිරීමටද හැකියාව ඇත. ඩිම්බකෝෂ ඉවත් කළ පසු, සිරුරේ ඊස්ට්‍රජන් (Oestrogen) හෝමෝන මට්ටම පහළ යන බැවින්, රෝග ලක්ෂණ පහව යෑම සිදුවේ. නමුත්, එමගින් ආර්තවාභාවය (Menopause) සමග ඇතිවන රෝග ලක්ෂණ ඇතිවිය හැකි අතර, ගැබ් ගැනීමට ඇති හැකියාව අහිමි වේ.

ඔබ ආර්තවාභාවය සිදුවීමට ආසන්න කාන්තාවක් නම්, එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය සමනය කිරීම සඳහා ශල්‍යකර්මයක් සිදුකිරීම වෙනුවට ඖෂධීය ප්‍රතිකාර නිර්දේශ කිරීම සිදුවනු ඇත. සාමාන්‍යයෙන්, එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය සමග ඇතිවන රෝග ලක්ෂණ ආර්තවාභාවයත් සමග ක්‍රමයෙන් පහව යයි.

(ඡායාරූප අනුග්‍රහය: Always Shooting)

සබැඳි ලිපි:

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ගැන මදක් දැනගනිමු.
වේදනාකාරී ඔසප්වීම (Dysmenorrhoea) ගැන දැනගනිමු.
මද සරුභාවය (Subfertility) ගැන මදක් දැනගනිමු.

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*