එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ගැන මදක් දැනගනිමු.

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ගැන මදක් දැනගනිමු

එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) යනු ගැබ් දැරිය හැකි වයසේ සිටින කාන්තාවන්ගෙන් ඇතැමෙකුට (10% කට පමණ) උද්ගත වන ගැටළුකාරී තත්ත්වයකි. මෙහිදී, ගර්භාෂයේ ආස්තරය සාදන පටක ගර්භාෂයෙන් පිටත ද වර්ධනය වීම දැකිය හැක. මෙම තත්ත්වයේදී සැමවිටම රෝග ලක්ෂණ ඇතිවීමක් දක්නට නොලැබෙන අතර, සාමාන්‍යයෙන් එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය භයානක හෝ අනතුරුදායක තත්ත්වයක් නොවේ. මෙම තත්ත්වය සුළු වශයෙන් පවතින විට කිසිඳු රෝග ලක්ෂණයක් ඇති නොවේ. කෙසේ වුවත්, අන් අවස්ථා වලදී වේදනාව සහ වෙනත් ගැටළු ඇතිවීමට ඉඩ ඇත.

ගර්භාෂ ආස්තරයේ පටක ගර්භාෂයෙන් පිටත වර්ධනය වීම, රෝපණ (Implants) ලෙස හැඳින්වේ. බොහෝවිට, මෙසේ ගර්භාෂ ආස්තරයේ පටක වර්ධනය වන්නේ ඩිම්බ කෝෂ, ෆැලෝපීය නාල (Fallopian tubes), ගර්භාෂයේ පිටත පෘෂ්ඨය, බඩවැල්, සහ උදර කුහරය තුළැති වෙනත් අවයව මතය. ඉතාමත් කලාතුරකින්, මෙම පටක සිරුරේ උදර කුහරයෙන් පිටත ස්ථාන වල වර්ධනය වීම දක්නට ලැබේ.

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ගැටළුකාරී වන්නේ කෙසේද?

ඔබගේ ගර්භාෂ කුහරය ආස්තරය වී ඇත්තේ අන්තෝමාතෘකය (Endometrium) නැමැති පටක ස්තරයකිනි. සෑම මසකම, ඔබේ සිරුරෙන් නිපදවෙන කාන්තා හෝමෝන වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ගර්භාෂ ආස්තරය ඝනකම් වීමට පටන් ගනී. ඒ ඔබේ ඩිම්බ කෝෂයකින් නිපදවෙන ඩිම්බයක් සංසේචනය වුවහොත්, එය එහි රෝපණය කරගනිමින් රැකබලා ගැනීම සඳහාය. ඔබ ගර්භණී වුවහොත්, සංසේචනය වූ ඩිම්බය ගර්භාෂ ආස්තරයට සම්බන්ධ වී ක්‍රමයෙන් වර්ධනය වේ. ඔබ ගර්භණී නොවුනහොත්, ඝනකම් වූ ගර්භාෂ ආස්තරය බිඳී, රුධිරය සමග යෝනි මාර්ගයෙන් පිටවේ. මෙම ක්‍රියාවලිය ඔසප්වීම ලෙස හැඳින්වේ.

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇතිවිට, ගර්භාෂයෙන් පිටත පවතින ගර්භාෂ ආස්තරයේ රෝපණ වලද, ඔසප්වීමේදී ගර්භාෂ ආස්තරය ක්‍රියාකරන ආකාරයටම බිඳවැටීම සහ රුධිරය වහනය වීම සිදුවේ. එනම්, ඔසප් චක්‍රය තුළදී ගර්භාෂයෙන් පිටත පවතින ගර්භාෂ ආස්තරයේ රෝපණ වලද ක්‍රමයෙන් ඝනකම් වීම, ඔසප්වීමේදී එහි පටක බිඳවැටීම, සහ රුධිර වහනය වීම දැකිය හැක. නමුත්, ගර්භාෂයට පිටතින් පවතින රෝපණ වලින් වහනය වන රුධිරයට, ඔසප් රුධිරයට මෙන් සිරුරෙන් පිටතට ගලායාමට හැකියාවක් නොමැත. එමනිසා, එම රෝපණ උද්දීපණය වී වේදනාකාරී වීම සිදුවිය හැක. ඇතැම් විට, එවැනි ස්ථාන වල තුවාළ කැලැල් සාදන පටක (Scar tissues) වර්ධනය වීම හෝ දියර පිරි බුබුළු (cysts) වර්ධනය වීම සිදුවේ. උදාහරණයක් ලෙස, ඩිම්බ කෝෂ මත එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය වර්ධනය වීමෙන්, එන්ඩොමෙට්‍රියෝමා (Endometrioma) හෙවත් චොකලට් සිස්ට් (Chocolate cyst) නැමැති තත්ත්වය ඇතිවනු දැකිය හැක. මෙසේ තුවාළ කැලැල් සාදන පටක වර්ධනය වීම මගින් බඩවැල්, ඩිම්බ කෝෂ සහ ෆැලෝපීය නාල සමග එකිනෙක ඇලීම නිසා ගැබ්ගැනීමට ඇති හැකියාව ක්‍රමයෙන් අඩුවිය හැක. මක්නිසාද, මෙහිදී ෆැලෝපීය නාල අවහිර වීම සිදුවිය හැක.

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය වැළඳීමට හේතු මොනවාද?

ගර්භාෂයෙන් පිටත ස්ථාන වල ගර්භාෂ ආස්තරයේ පටක රෝපණය වී වර්ධනය වීමට හේතුව තවමත් සොයාගෙන නොමැත. නමුත්, කාන්තා හෝමෝනයක් වන ඊස්ට්‍රජන් (Oestrogen) වල ක්‍රියාකාරීත්වය එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය උග්‍ර කරන බව සොයාගෙන ඇති අතර, ගැබ් දැරීමට හැකි වයස් වල සිටින කාන්තාවන් තුළ ඊස්ට්‍රජන් හෝමෝනය වැඩි සාන්ද්‍රණයකින් පවතී. නව යොවුන් වියේ සිට වයස 40 ගණන් වල සිටින කාන්තාවන් දක්වා පරාසය තුළ එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය බහුළව දක්නට ලැබෙන්නේ ඒ නිසා විය හැක. සාමාන්‍යයෙන්, ආර්තවාභාවය සමග එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයේ රෝග ලක්ෂණ ක්‍රමයෙන් පහව යාම සිදුවේ.

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය වැළඳීමට වැඩි අවදානමක් ඇත්තේ කාටද?

  • වැඩිවිය පැමිණි සහ ආර්තවාභාවය නොවුණු ගැබ්දැරීමේ හැකියාව ඇති කාන්තාවන්ට.
  • මවට හෝ සහෝදරියකට එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය පවතින කාන්තාවන්ට. මෙහිදී, දැඩිව රෝග ලක්ෂණ හටගැනීමට වැඩි අවදානමක් පවතී.
  • ඔසප් චක්‍රය දින 28 කට වඩා අඩු කාන්තාවන්ට.
  • ඔසප්වීම දින 7 කට වඩා පවතින කාන්තාවන්ට.
  • වයස අවුරුදු 12 ට පෙර වැඩිවිය පැමිණි කාන්තාවන්ට.
  • ගැබ්ගැනීමක් සිදු නොවුණු කාන්තාවන්ට.
  • ඔසප් රුධිරය ගලායාම අවහිර වන පරිදි හෝ සෙමෙන් සිදුවන පරිදි ගර්භාෂයේ, ගැබ්ගෙලෙහි, හෝ යෝනි මාර්ගයේ හැඩය අසාමාන්‍යව පිහිටා ඇති කාන්තාවන්ට.

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වයේදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

මෙම රෝගය මගින් බහුළව ඇතිවන රෝග ලක්ෂණ:

  • වේදනාව

වේදනාව ඇතිවන ස්ථානය, ගර්භාෂයෙන් පිටත රෝපණ පවතින ස්ථානය අනුව වෙනස් වේ. යටිබඩ, යෝනි මාර්ගය, ගුද මාර්ගය, හෝ කොන්දේ පහළ ප්‍රදේශය ආශ්‍රිතව වේදනාව ඇතිවිය හැක. මෙම වේදනාව, ඔසප්වීමට පෙර, ඔසප්වීම අතරතුර, හෝ සැමවිටම පවතිනු දැකිය හැක. ඇතැම් කාන්තාවන්ට ලිංගිකව එක්වන විට, මළපහ පිටකරන විට, හෝ ඩිම්බ කෝෂයකින් ඩිම්බයක් නිදහස් වනවිට තද වේදනාවක් ඇතිවනු දැකිය හැක.

  • අසාමාන්‍ය රුධිර වහනය

ඇතැම් කාන්තාවන්ට අධික ලෙස ඔසප්වීම, ඔසප්වීම් දෙකක් අතරතුර ඉතා මද වශයෙන් හෝ සාමාන්‍ය ලෙස රුධිරය වහනය වීම, ලිංගිකව එක්වීමෙන් අනතුරුව රුධිර වහනය වීම, හෝ මුත්‍රා හෝ මළපහ සමග රුධිරය පිටවීම දැකිය හැක.

  • මද සරුභාවය (Subfertility)

එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය නිසා ගැබ්ගැනීමට ඇති හැකියාව අඩුවීම සිදුවිය හැක. ඇතැම් කාන්තාවන්ට මෙම රෝග තත්ත්වය නිසා ඇතිවන එකම රෝග ලක්ෂණය මද සරුභාවය වේ. සාමාන්‍යයෙන්, මද සරුභාවය පවතින කාන්තාවන්ගෙන් 20% – 40% කට පමණ එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය පවතිනු දැකිය හැක.

(ඡායාරූප අනුග්‍රහය: Yu-Chan Chen)

සබැඳි ලිපි:

එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?
වේදනාකාරී ඔසප්වීම (Dysmenorrhoea) ගැන දැනගනිමු.
මද සරුභාවය (Subfertility) ගැන මදක් දැනගනිමු.

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ගැන මදක් දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*