කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද?

කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද?

ශ්‍රී ලාංකීය අපට ආහාර පිසීමේදී කරපිංචා යනු නැතිවම බැරි ස්වාභාවික රසකාරකයකි. කරපිංචා ආහාරයට ගන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ. එය, ඉන්දියාව ඇතුළු ඇතැම් ආසියාතික රටවල ද රසකාරකයක් ලෙස බහුලව භාවිතා වේ. බොහෝවිට, කරපිංචා පමණක් ආහාරයක් ලෙස පිසීම දක්නට නොලැබෙන අතර, ආහාර පිසීමේදී අනෙකුත් ස්වාභාවික රසකාරක සමග මිශ්‍රව භාවිතා කරනු දැකිය හැක. කෙසේ වුවත්, ඇතැම් අය කරපිංචා කැඳ වැනි ආහාර පිළියෙල කරනු දක්නට ලැබේ. සැබැවින්ම, කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද?

ඔක්සිකාර ආතති අධ්‍යයනය (Oxidative stress study)

2007 වසරේදී රසායන-ජෛව අන්තර්ක්‍රියා (Chemico-Biological Interactions) සඟරාවේ පල වූ සත්ත්වයන් යොදාගෙන සිදුකල පර්යේෂණයක ප්‍රතිඵල අනුව කරපිංචා පත්‍ර වල යුෂ ඔක්සිකාර ආතතිය (Oxidative stress) අඩුකරන බව සොයාගෙන ඇත. මෙම ක්‍රියාවලිය විශේෂයෙන්ම අග්න්‍යාශය හෙවත් ඇලදිව (Pancreas) තුළ සිදුවන බව සොයාගෙන ඇත. සැබැවින්ම, ඔක්සිකාර ආතතිය වැඩි අගයක් ගැනීම සන්ධි ප්‍රදාහ (Arthritis), කොලෙස්ටරෝල් තැන්පත් වී රුධිර නාල සිහින් වීමේ රෝගය (Atherosclerosis), සහ දියවැඩියාව ඇති බවට ඉඟියක් ලෙස දැක්විය හැක. එමෙන්ම, කරපිංචා පත්‍ර වල යුෂ නිතිපතා ආහාරයට ගැනීමෙන්, දියවැඩියාව වැළඳුනු පර්යේෂණාගාර මීයන්ගේ අග්න්‍යාශය තුළ ඔක්සිකාර ආතතිය ඇතිවීම වැළකෙන බවද, ඔක්සිකාර ආතතිය නිසා සිදුවන පටක හානි සුවවන බවද එම පර්යේෂණය මගින් පෙන්වා දී ඇත. සැබැවින්ම, කරපිංචා පත්‍ර වල යුෂ වල ක්‍රියාකාරීත්වය, දියවැඩියාව පාලනය කිරීම සඳහා නිර්දේශ කරන ග්ලිබෙන්ක්ලමයිඩ් (Glibenclamide) ඖෂධයේ ක්‍රියාකාරීත්වයට තරමක් සමාන වන බව එම පර්යේෂණය මගින් පෙන්වා දී ඇත. කෙසේ වුවත්, පර්යේෂකයන් පවසන්නේ මිනිසුන් යොදාගෙන වැඩිදුර අධ්‍යයනයන් කිරීමට අවශ්‍ය වන බවයි.

පිළිකා වැළැක්වීමට ඇති හැකියාව (Potential Anti-Carcinogen)

2000 වසරේදී මානව පෝෂණය උදෙසා ශාඛමය ආහාර (Plant Foods For Human Nutrition) සඟරාවේ පල වූ අධ්‍යයනයකට අනුව, කරපිංචා පත්‍ර වල ස්වාභාවිකවම මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරක (Antioxidants) බහුළව ඇත. මුක්ත ඛණ්ඩක (Free radicals) හෝ වෙනත් විෂ සහිත රසායන ද්‍රව්‍ය (Toxins) වලට නිරාවරණය වීම නිසා සිදුවන හානි වලින් සහ මරණයට පත්වීමෙන් සිරුරේ සෛල ආරක්ෂා කිරීමට මෙම ප්‍රතිඔක්සිකාරක වලට හැකියාව ඇත. සත්ත්වයන් යොදාගෙන සිදුකල එම පර්යේෂණයේදී ඩයිමෙතිල්හයිඩ්‍රසීන් හයිඩ්‍රොක්ලෝරයිඩ් (Dimethylhydrazine hydrochloride) නම්වූ පිළිකා කාරක (Carcinogen) රසායන ද්‍රව්‍යය මගින් සිදුවන අහිතකර සෞඛ්‍ය ප්‍රතිඵල අඩුකිරීමට කරපිංචා යුෂ වලට හැකියාව ඇති බව සොයාගෙන ඇත. කෙසේ වෙතත්, මිනිසුන් තුළ සහ අනෙකුත් පිළිකා කාරක කෙරෙහි කරපිංචා යුෂ වල ක්‍රියාකාරීත්වය තවදුරටත් පර්යේෂණයට ලක් කළ යුතු බව පර්යේෂකයන්ගේ අදහසයි.

ප්‍රති-ප්‍රදාහමය වාසි (Anti-Inflammatory Benefits)

2009 වසරේදී ඖෂධ විද්‍යා සහ පර්යේෂණ සඟරාවේ (Journal of Pharmaceutical Sciences and Research) පල වූ පර්යේෂණයකට අනුව කරපිංචා පත්‍ර වල, ප්‍රබල ප්‍රති-ප්‍රදාහ ගුණාංග එනම්, ප්‍රදාහයන් සමනය කිරීමේ ගුණාංග ඇති බව පෙන්වා දී ඇත. මෙම පර්යේෂණයේදී, පිළිකා වැළඳුණු මීයන්ගේ ප්‍රදාහයන් නිසා සිරුර ඉදිමීම සැලකිය යුතු ලෙස අඩුකිරීමට කරපිංචා යුෂ වලට හැකි බව තහවුරු විය. එමෙන්ම, කරපිංචා යුෂ මගින් සිරුරේ ඇති ගැටිති හා ගෙඩි (Tumors) වල සංඛ්‍යාව, ඒවායේ ප්‍රමාණය හා බර විශාල වශයෙන් අඩුකරන බව පෙන්වා දී ඇත. මෙම පර්යේෂණය දින 16 ක් තිස්සේ කරන ලද අතර, මිනිසුන් යොදාගෙන තවදුරටත් පර්යේෂණ කිරීම අවශ්‍ය බව පර්යේෂකයන්ගේ අදහසයි.

පෝෂ්‍ය පදාර්ථ

කරපිංචා පත්‍ර වල විටමින් B වර්ග සහ විටමින් A ඇතුළු විටමින් සහ ඛණිජ ලවණ වර්ග සුළු ප්‍රමාණ වලින් අඩංගු වේ. එමෙන්ම, එය ප්‍රෝටීන්, ඇමිනෝ අම්ල (Amino acids), සහ ඇල්කලොයිඩ (Alkaloids) නැමැති පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර ප්‍රභවයකි. නමුත්, ආහාර පිසීමේදී කරපිංචා භාවිතා කරන්නේ සුළු වශයෙන් බැවින්, කරපිංචා මගින් ලැබෙන පෝෂණ ගුණය ස්වල්ප විය හැක.

(ඡායාරූප අනුග්‍රහය: Dharmesh Patel)

සබැඳි ලිපි:

මහදුරු වලින් ලැබෙන අප්‍රකට වාසි රැසක් ගැන දැනගනිමු.
සුදුලූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි
කහ වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැන දැනගනිමු.
කුරුඳු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක්

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*