මාංශ පේශි උළුක්කුවක් හඳුනාගන්නේ කොහොමද?

මාංශ පේශි උළුක්කුවක් හඳුනාගන්නේ කොහොමද?

එදිනෙදා වැඩකටයුතු, බර එසවීම, ව්‍යායාම කිරීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් කිරීමේදී ඇතැම් විට මාංශ පේශි උළුක්කු වීම් ඇතිවනු දැකිය හැක. මාංශ පේශි උළුක්කුවක්, ඇදීමක්, හෝ ඉරී යාමක් ලෙසින් අදහස් වන්නේ මාංශ පේශියකට හෝ එහි පේශි කණ්ඩරා (Tendons) වලට හානියක් සිදුවීමයි. ඔබ එදිනෙදා වැඩකටයුතු, බරක් එසවීම, ක්‍රීඩාවක්, හෝ වෙනත් කාර්යයක් සිදුකරන විටෙකදී මාංශ පේශියක් මත අධික ආතතියක් ඇතිවීම නිසා මාංශ පේශි උළුක්කුවක් ඇතිවිය හැක. මාංශ පේශි උළුක්කුවකදී පේශි තන්තු වල සහ පේශි කණ්ඩරාවේ කොටසක් හෝ ඒවා සම්පූර්ණයෙන්ම ඉරී යන අවස්ථා ද පවතී. මෙසේ මාංශ පේශියක් ඉරී යාමේදී එහි පවතින කුඩා රුධිර වාහිනී වලට හානි සිදුවීම මගින් ස්ථානීය රුධිර වහනයක් හෝ තැල්මක් මෙන්ම, අදාළ ප්‍රදේශයේ පවතින ස්නායු අන්ත උද්දීපනය වීමෙන් වේදනාවක් ද ඇතිවේ.

මාංශ පේශි උළුක්කුවකදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

  • උළුක්කුව සිදුවූ ප්‍රදේශය ඉදිමීම, තැල්ම, හෝ රතුවීම.
  • විවේකයෙන් සිටින විට පවා වේදනාකාරී වීම.
  • උළුක්කුව සිදුවූ මාංශ පේශිය හෝ එය සම්බන්ධ වන සන්ධි චලනය කිරීම වේදනාකාරී වීම.
  • මාංශ පේශිය හෝ පේශි කණ්ඩරාව දුර්වල වීම.
  • ඇතැම් විට, මාංශ පේශිය භාවිතා කිරීමට නොහැකි තරම් අපහසු වේ.

මාංශ පේශි උළුක්කුවක් ඇතිවූ විට කුමක් කළ යුතුද?

ඔබට සැලකිය යුතු තරම් මාංශ පේශි උළුක්කුවක් සිදුවී ඇති බව හැඟේ නම් හෝ නිවසේදී කරන ප්‍රතිකර්ම වලින් පැය 24 ක් තුළ මාංශ පේශි උළුක්කුව සමනය වන බවක් නොපෙනේ නම්, ඔබේ වෛද්‍යවරයා හමුවීමට කටයුතු කළ යුතුය.

මාංශ පේශි උළුක්කුවක් සිදුවීමත් සමග බිඳෙන ශබ්දයක් ඇසුනි නම්, ඇවිදීමට නොහැකි නම්, සැලකිය යුතු ඉදිමීමක් හෝ වේදනාවක් ඇත්නම්, උණ පවතී නම්, හෝ කැපුමක් හෝ තුවාළයක් පවතී නම්, ඉක්මනින් රෝහල් ගත වී ප්‍රතිකාර ගැනීම වැදගත් වේ.

මාංශ පේශි උළුක්කුවක් සිදුවන බොහොමයක් අවස්ථා වලදී, නිසි ප්‍රතිකර්ම සිදුකිරීමත් සමග සම්පූර්ණයෙන්ම සුවවීම සිදුවේ. කෙසේ වුවත්, සංකීර්ණ මාංශ පේශි උළුක්කු වීම් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අනිවාර්ය වේ.

මාංශ පේශි උළුක්කුවක් සිදුවීම වළක්වා ගන්නේ කොහොමද?

  • දිනපතාම ඇදීමේ ව්‍යායාම (Stretching exercises) කරන්න.
  • ව්‍යායාම වැඩසටහනක් ආරම්භ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
  • ව්‍යායාම වැඩසටහනක වැඩි තීව්‍රතාවයකින් යුතු ව්‍යායාම සිදුකිරීමට පෙර සැමවිටම ඇඟ උණුසුම් කරගැනීම (Warm up) සිදුකරන්න. උදාහරණයක් වශයෙන්, විනාඩි කිහිපයක් සෙමෙන් දිවීම හෝ එකතැන දිවීම දැක්විය හැක.
  • ව්‍යායාම වැඩසටහනක් ආරම්භ කිරීමට පෙර සහ ව්‍යායාම කිරීමෙන් පසුව ද ඇදීමේ ව්‍යායාම සිදුකරන්න.

(ඡායාරූප අනුග්‍රහය: Oscar Rethwill)

සබැඳි ලිපි:

ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?
ව්‍යායාම නොකරන විවේක දිනයක් අවශ්‍ය බවට සලකුණු 5ක්
ව්‍යායාම සහ නිතර වේදනා නාශක භාවිතය

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මාංශ පේශි උළුක්කුවක් හඳුනාගන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*