මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු

මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු

මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු ගණනාවක් ඇති අතර, ඒවා මවගේ මෙන්ම අලුත උපන් දරුවාගේ සෞඛ්‍යයට ඉතාම වැදගත් වේ. ඔබේ අලුත උපන් දරුවාට ඉතාම සුදුසු සහ ආරක්ෂිත ආහාරය මව්කිරි වේ. එහි දරුවාට අවශ්‍ය සියළුම පෝෂණ කොටස් අන්තර්ගත වේ. දරු ප්‍රසූතියකින් පසුව මුල් දින කිහිපය තුළදී මවගේ පියයුරු වලින් කුඩා ප්‍රමාණ වලින් නිපදවෙන ලා කහ පැහැති මුල් කිරි හෙවත් කොලොස්ට්‍රම් (Colostrum), අලුත උපන් දරුවාට ප්‍රමාණවත් වේ. මෙම මුල් කිරි සියළු පෝෂණ සංඝටක වලින් අනූන වන අතර, අලුත උපන් දරුවා ආසාදන රෝග වලට ගොදුරු වීම වළක්වයි. එමනිසා, නිපදවෙන මුල් කිරි සියල්ල දරුවාට ලබාදීම ඉතාම වැදගත් වේ. අලුත උපන් දරුවාට වයස මාස හයක් සම්පූර්ණ වනතුරු මව්කිරි පමණක් ලබාදීම අනිවාර්ය වන අතර, මාස හයෙන් පසුව දරුවාට අමතර ආහාර ක්‍රමයෙන් හුරුකල යුතුවේ. ඔබේ දරුවාට මව්කිරි ලබාදීම අවුරුදු දෙකක් දක්වා හෝ ඊට වැඩි කාලයක් කළ හැක.

ඔබේ දරුවාට මාස හයක් ගතවන තුරු මව්කිරි පමණක් ලබාදිය යුත්තේ ඇයි?

ඔබේ අලුත උපන් දරුවාට මාස හයක් සම්පූර්ණ වන තෙක් වර්ධනය නිසි අයුරින් සිදුවීමට ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ මව්කිරි වල අඩංගු වේ. සාමාන්‍යයෙන්, මව විසින් නිපදවන මව්කිරි ප්‍රමාණය ද දරුවාගේ වර්ධනය සඳහා ප්‍රමාණවත් වේ. හොඳින් මව්කිරි ලබාදීම මගින් දරුවාට අවශ්‍ය ජලය ද ප්‍රමාණවත් ලෙස ලැබෙන බැවින්, දරුවාගේ මුල් මාස හය තුළ ජලය හෝ වෙනත් අමතර දියර වර්ග ලබාදීම කිසිසේත්ම අවශ්‍ය නොවේ. එමෙන්ම, දරුවාට මාස හයක් සම්පූර්ණ වනතෙක් මව්කිරි පමණක් ලබාදීමෙන් දරුවා ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගැනීමට හැකිවන අතර, ආසාත්මිකතා (Allergies) හටගැනීමට ඇති අවදානම ද අවම වේ.

ඔබේ දරුවාට කොපමණ කාලයක් මව්කිරි ලබාදිය යුතුද?

ඔබේ දරුවා ඉපිද පැයක කාලයක් ඇතුළත මව්කිරි ලබාදීම ආරම්භ කල යුතුවේ. දරුවාට මව්කිරි අවශ්‍ය වන සෑම විටෙකම මව්කිරි ලබාදීම වැදගත් වේ. එමෙන්ම, දරුවාගේ බර මාසයකට වරක් මැන බැලිය යුතු අතර, එමගින් දරුවාගේ වර්ධනය පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට හැකිය. ඔබේ දරුවාගේ බර වැඩිවීම ප්‍රශස්ථ අයුරින් සිදු නොවන බව හැඟේ නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කල යුතුවේ. දරුවාට මාස හයක් සම්පූර්ණ වූ පසු ක්‍රමයෙන් අමතර ආහාර හඳුන්වා දිය යුතු අතර, මව්කිරි ලබාදීම අවුරුදු දෙකක් හෝ ඊට වැඩි කාලයක් දක්වා සිදුකල හැක.

මව්කිරි ලබාදෙන ළදරුවන්ට විටමින් පරිපූරක ලබාදිය යුතුද?

මව්කිරි පමණක් ලබාදෙන ළදරුවන්ට අමතරව විටමින් සහ ඛණිජ ලවණ ලබාදීමට අවශ්‍ය නොවේ. නොමේරූ සහ අඩුබර දරුවන් හට වෛද්‍ය උපදෙස් මත පමණක් පරිපූරක විටමින් සහ ඛණිජ ලවණ ලබාදීම සිදුකල හැක.

අසනීප වූ දරුවෙක්ට මව්කිරි ලබාදිය යුත්තේ ඇයි?

ඔබේ දරුවා අසනීප වූ විටෙක ප්‍රමාණවත් ලෙස පෝෂණය පවත්වා ගැනීම ඉතාම වැදගත් වේ. එමගින්, දරුවා සුවවීම ඉක්මනින් සිදුවන අතර, රෝගීව සිටින කාලය තුළදී දරුවාගේ වර්ධනය අඩාල වීමද වැළකේ. එමනිසා, දිගටම මව්කිරි ලබාදීම කල යුතු අතර, මව්කිරි ලබාදෙන වාර ගණන වැඩිකිරීම මගින් දරුවාට ඉක්මණින් සුවවීම සහ නිසි පෝෂණය යන වාසි දෙකම අත්වේ.

වැඩකරන මව්වරුන් මව්කිරි ලබා දිය යුත්තේ කෙසේද?

මව දරුවා සමග නොමැති විටෙක, මවගෙන් දොවාගත් කිරි දරුවා පෝෂණය කිරීම සඳහා යොදාගත හැක. මවගෙන් දොවාගත් කිරි කාමර උෂ්ණත්වයේ පැය හයක කාලයක් ද, ශීතකරණයක (අධිශීතකරණය නොවන කොටසේ) පැය 24 ක කාලයක් ද සුරක්ෂිතව ගබඩා කල හැක. දොවාගත් කිරි නැවත දරුවාට ලබාදීමේදී කිසිවිටෙක රත්කිරීම නොකළ යුතු අතර, දරුවාට කිරි පෙවීම සඳහා පිරිසිදු කෝප්පයක් සමග පිරිසිදු කුඩා හැන්දක් භාවිතා කිරීම වඩාත් සුදුසු වේ. ඔබේ දරුවාට සූප්පු සහිත කිරි බෝතල් කිසිසේත්ම ලබාදෙන්න එපා.

දරුවාට මාස හය සම්පූර්ණ වනතෙක් දිගටම මව්කිරි ලබාදීම කළ නොහැකි අවස්ථාවක හෝ කිරි දොවා ගැනීමේ සහ ගබඩා කිරීමට අපහසුතා ඇති අවස්ථාවක පමණක් වෛද්‍ය උපදෙස් මත දරුවා පෝෂණය කිරීම සඳහා අමතර ආහාර මාස හතරෙන් ආරම්භ කල හැකි අතර, කිසිවිටෙක දරුවාට පිටිකිරි ලබාදීම නොකළ යුතුවේ.

මූලාශ්‍රය: පෝෂණ අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය

(ඡායාරූප අනුග්‍රහය: Hamish Darby)

සබැඳි ලිපි:

මව්කිරි දීමෙන් දරුවාට සහ මවට ලැබෙන වාසි ගැන දැනගනිමු.

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මව්කිරි ලබාදෙන මවක් දැනගත යුතු වැදගත් කරුණු" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*