ව්‍යායාම කිරීමේදී නිවැරදි ක්‍රමය අනුගමනය කල යුත්තේ ඇයි?

ව්‍යායාම කිරීමේදී නිවැරදි ක්‍රමය අනුගමනය කල යුත්තේ ඇයි

නිතිපතා ව්‍යායාම කිරීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම වගේම වැදගත් කමක් උසුලන දෙයක් ලෙස ව්‍යායාමයක් සිදුකරන තාක්ෂණය (Technique) සහ එය සිදුකරන ආකෘතිය (Form) නිවැරදි කරගැනීම දැක්විය හැක. ව්‍යායාම කිරීමේදී නිවැරදි තාක්ෂණය සහ ආකෘතිය අනුගමනය කිරීම මගින් ඔබේ ඉලක්කය කරා ගමන් කිරීම පහසු වන අතර, සිරුර නිසි පරිදි හැඩගැසීම ද සිදුවේ.

ව්‍යායාමයක තාක්ෂණය සහ ආකෘතිය යනු එකිනෙකට හාත්පසින් වෙනස් සංකල්ප දෙකක් ලෙස හැඳින්විය හැක. තාක්ෂණය යනු යම් මාංශ පේශි කාණ්ඩ (Muscle groups) සමූහයක් ඉලක්ක කරගැනීම සඳහා ව්‍යායාමයක් සිදුකරන ආකාරයයි. උදාහරණයක් වශයෙන්, පපුවේ එකිනෙකට වෙනස් මාංශ පේශීන් ඉලක්ක කරමින්, අවස්ථා දෙකකදී ලඟින් සහ ඈතින් අල්ලාගෙන (Close and wide grip) bench press ව්‍යායාමය සිදුකිරීම දැක්විය හැක. ආකෘතිය යනු අනතුරක් හෝ හානියක් (Injury) සිදුනොවන ලෙස යම් ව්‍යායාමයක් සිදුකරන ආකාරයයි. උදාහරණයක් වශයෙන්, bicep curls ව්‍යායාමය කිරීමේදී සිරුර පිටුපසට නැවීමෙන් තොරව කිරීම සහ බර එසවීම පහසු කරගැනීම සඳහා ඔබේ ගෙල භාවිතා නොකිරීම දැක්විය හැක.

ව්‍යායාම කිරීමේදී නිවැරදි තාක්ෂණය භාවිතා නොකලහොත්, ව්‍යායාම වැඩසටහනකින් ඔබ බලාපොරොත්තු වන ඉලක්කය කිසිසේත්ම ලඟාකර ගත නොහැක. එමෙන්ම, අසම්පූර්ණ ආකෘතියක් නිසා ඔබේ ශරීරය තුළ අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකි අතර, එමගින් ශාරීරික යෝග්‍යතා ඉලක්කය (Fitness goal) තවදුරටත් ඔබෙන් ඈත් වනු ඇත.

ව්‍යායාමයක අසම්පූර්ණ තාක්ෂණය සහ ආකෘතිය නිසා ඇතිවිය හැකි බලපෑම්:

අනතුරු සහ හානි

අසම්පූර්ණ තාක්ෂණය මගින් ඇතිවිය හැකි බරපතළම අනර්ථය වන්නේ අනතුරු සිදුවීමට ඇති අවදානම වැඩිවීමයි. නිවැරදි තාක්ෂණය අනුගමනය නොකිරීම නිසා යම්කිසි ව්‍යායාමයක් මගින් යොදාගැනීමට බළාපොරොත්තු නොවන මාංශ පේශි කාණ්ඩයක් මත අමතර ආතතියක් ඇතිවිය හැකි අතර, එමගින් අදාළ මාංශ පේශි කාණ්ඩය අනතුරට පත්වීම සිදුවිය හැක. ඇතැම් විට, අමතර බරක් භාවිතා කිරීම සහ ව්‍යායාමය සිදුකරන වාර (Reps) ගණන වැඩිකිරීම මගින් ඔබ වැඩි හෝ ඉක්මන් ප්‍රතිඵලයක් බළාපොරොත්තු වනවා විය හැක. නමුත්, නිවැරදි තාක්ෂණයක් හෝ ආකෘතියක් නොමැතිව එසේ කිරීමෙන් සැබැවින්ම සිදුවන්නේ අනතුරු සිදුවීමට ඇති අවදානම වැඩිවීම පමණි. ඒ වෙනුවට, නිවැරදි ආකෘතියට සහ තාක්ෂණයට අනුව අඩු වාර ගණනක් කිරීම ප්‍රතිඵල දායක වේ. එමනිසා, මුලදී වැඩි ප්‍රතිරෝධයක් යොදමින් වැඩි වාර ගණනක් කිරීම අපහසු නම්, අඩු ප්‍රතිරෝධයක් හා අඩු වාර ගණනක් සහිතව නිවැරදි තාක්ෂණය හා ආකෘතිය අනුගමනය කරමින් ව්‍යායාම කිරීම ආරම්භ කිරීම වඩාත් උචිත වේ. කාලයත් සමග ව්‍යායාම වැඩසටහනට සිරුර ක්‍රමයෙන් හුරුවන විට ප්‍රතිරෝධය සහ වාර ගණන අවශ්‍ය පරිදි වැඩිකරගැනීම සිදුකල හැක.

බළාපොරොත්තු වන ප්‍රතිඵල නොලැබීම

වැඩි තීව්‍රතාවයකින් ව්‍යායාම කර ඉක්මනින් ප්‍රතිඵල දැකීමට බළාපොරොත්තු වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. නමුත්, තීව්‍රතාවය වැඩිවූ පමණින් සහ ව්‍යායාම කරන පැය ගණන වැඩිවූ පමණින් ඔබ බළාපොරොත්තු වන ප්‍රතිඵල ලැබෙන බව ඉන් අදහස් නොවේ. ඔබ නිවැරදි තාක්ෂණයට සහ ආකෘතියට අනුව පැයක කාලයක් ව්‍යායාම කිරීම වුවද, අසම්පූර්ණ තාක්ෂණය හා ආකෘතියක් අනුගමනය කරමින් ව්‍යායාම කිරීමට වඩා ප්‍රතිඵල දායක වේ. ව්‍යායාමයක නිවැරදි ආකෘතිය මාංශ පේශි ඇදීමක් (Strain) ඇති නොකරමින් මාංශ පේශි වල ශක්තිය වැඩිකරයි.

දුර්වල තාක්ෂණයකට අනුව ව්‍යායාම කිරීමට වෙර දරන කෙනෙකුට එය කල යුතු නිවැරදි ක්‍රමය පෙන්වා දීම වැදගත් වේ. සැබැවින්ම, නිවැරදිව ව්‍යායාමයක් සිදුකිරීමට නොදන්නා අයෙක් සුදුසුකම් ලත් පුහුණුකරුවෙකුගේ හෝ ව්‍යායාම කිරීමෙහි අත්දැකීම් ඇති මිතුරෙකුගේ උදවු ලබාගැනීම ප්‍රතිඵලදායකය. ඔබව තවත් දිරිමත් කිරීමට මෙන්ම, ව්‍යායාම වැඩසටහන නිවැරදිව කරන ආකාරය පෙන්වා දීමට එවැන්නෙකුට හැකියාව ඇත. එවිට, ඔබ බළාපොරොත්තු වන ප්‍රතිඵල ඒ අයුරින්ම ලබාගැනීමට හැකිවනු නොඅනුමානය.

ව්‍යායාම වැඩසටහනක් තනිවම කරනවාට වඩා පෞද්ගලික උපදේශකයෙක් හෝ ශාරීරික යෝග්‍යතා පුහුණුකරුවෙක් සමග කිරීමෙන් තාක්ෂණය සහ ආකෘතිය නිවැරදි කරගැනීමට හැකිවන බැවින් අනතුරු හෝ හානි වළක්වා ගැනීමට හැකිවේ. එවැනි අයෙකුට ඔබගේ ශාරීරික යෝග්‍යතා සහ සෞඛ්‍ය ඉලක්කයන් සාක්ෂාත් කරගැනීමට උපකාර කල හැකි අතර, ඔහු හෝ ඇය ඔබට ඒ සඳහා උනන්දුවෙන් සහ වගකීමෙන් යුතුව කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙනු ඇත.

(ඡායාරූප අනුග්‍රහය: Tony Alter)

සබැඳි ලිපි:

ව්‍යායාම වැඩසටහනක ප්‍රතිඵල නැතිකරන වැරදි 11 ක්
ව්‍යායාම නොකරන විවේක දිනයක් අවශ්‍ය බවට සලකුණු 5ක්
බර එසවීමේ ව්‍යායාම පිළිබඳ ඇති වැරදි මත කිහිපයක්
ඇඟ උණුසුම් කිරීමේ ව්‍යායාම කිරීම වැදගත් වන්නේ ඇයි?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ව්‍යායාම කිරීමේදී නිවැරදි ක්‍රමය අනුගමනය කල යුත්තේ ඇයි?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*