දරුවාට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

දරුවාට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

ඇතැම් විට, දරුවන් පපුවේ වේදනාවන් පිළිබඳව පැමිණිලි කරනු දැකිය හැක. සැබැවින්ම, ඔබේ දරුවාට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද? දරුවෙකුගේ පපුවේ වේදනාවන් හටගැනීමට හේතු විය හැකි තත්ත්වයන් ගණනාවක් පවතී. ඇතැම් විට, දරුවෙකුට මාංශ පේශි වල ඇදීමක් හෝ ඇදුම වැනි තත්ත්වයක් නිසා ද පපුවේ වේදනාව ඇති විය හැක. එමනිසා, පපුවේ වේදනාව හටගැනීමට හේතු වන තත්ත්වය මත රෝග ලක්ෂණ එකිනෙකට වෙනස් වේ. දරුවෙකුට ඇතිවන පපුවේ වේදනාවක්, හෘදයේ ඇතිවන උග්‍ර ගැටළුවක් නිසා ඇතිවන්නේ කලාතුරකිනි.

පපුවේ වේදනාවක් සමග දරුවාට ඇති විය හැකි රෝග ලක්ෂණ මොනවාද?

  • පපුවේ තද ස්වභාවයක් හෝ තදවීමක් (Tightness).
  • පපුවේ ඇතිවන අපහසුතාවයක් (Discomfort).
  • පපුවේ දැවිල්ලක් (Burning sensation).
  • ගැඹුරින් හුස්ම ගන්නා විට ඇතිවන වේදනාවක්.
  • කැස්සක්.
  • හතිය (Wheezing).

ඔබේ දරුවාට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

දරුවාට පපුවේ වේදනාවක් පවතී නම්, දරුවා ඔබේ වෛද්‍යවරයා වෙත රැගෙන ගොස් උපදෙස් ලබාගැනීම වඩාත් උචිත වේ.

පහත සඳහන් ලක්ෂණ සමග දරුවාට පපුවේ වේදනාවක් ඇතිවුවහොත්, වහාම ලඟම ඇති රෝහලට දරුවා රැගෙන යන්න.

  • හුස්ම ගැනීමේ අපහසුතාවයක් පැවතීම හෝ හුස්ම ගැනීම වේගවත් වීම.
  • පපුව ගැහෙන බව දරුවා පැවසීම හෝ හෘද ස්පන්දනය වේගවත් බව ඔබට දැනීම (Palpitation).
  • පපුව තුළ පීඩනයක් (Pressure) දැනීම.
  • කරකැවිල්ල (Dizziness) හෝ ක්ලාන්තය (Faintness).
  • දරුවාගේ තොල් නිල් පැහැ වීම හෝ අඳුරු පැහැයක් ගැනීම.
  • ව්‍යායාම, ශාරීරික ක්‍රියාකාරකම් සමග හෝ වෙහෙසෙන විට පපුවේ වේදනාව ඇතිවීම.

ඔබේ දරුවාට පපුවේ වේදනාවක් ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද?

දරුවාට පපුවේ වේදනාවක් ඇතිවන සෑම අවස්ථාවක්ම වළක්වා ගැනීමට අපහසුය. නමුත්, පපුවේ වේදනාව ඇතිවීමට හේතු සලකා බලන විට ඇතැම් අවස්ථා වළක්වා ගැනීමට හැකියාව පවතින බව කිව හැක.

  • ඇතැම් ආසාදන නිසා ඇතිවන පපුවේ වේදනාවන් වළක්වා ගැනීම සඳහා ඔබේ දරුවා නිසි පරිදි එන්නත් කරගැනීමට කටයුතු කරන්න.
  • ඔබේ දරුවාට ඇදුම පවතී නම්, ඔබේ වෛද්‍යවරයා දරුවාට නියම කරන ප්‍රතිකාර සැලසුම නියමිත පරිදි අනුගමනය කිරීමට කටයුතු කරන්න.
  • ඔබේ දරුවාට ආහාර අජීරණයක් හෝ ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් ඇතිවීමට හේතුවන බවට හඳුනාගත් ආහාර පාන ලබාදීමෙන් වළකින්න.
  • යම් ක්‍රීඩාවකට හෝ ව්‍යායාම පුහුණු වැඩසටහනකට සහභාගී කරවීමට පෙර ඔබේ දරුවා ඒ සඳහා සුදුසු දැයි වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගැනීමට කටයුතු කරන්න.

(ඡායාරූප අනුග්‍රහය: Steve Sellers)

සබැඳි ලිපි:

දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?
දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?
දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?
දරුවාට ක්ලාන්තයක් සෑදුනහොත් කුමක් කල යුතුද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාට පපුවේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*