අයහපත් පුරුදු වලින් වැළකී සුවදායී දිවියක් ගතකරමු.

අයහපත් පුරුදු වලින් වැළකී සුවදායී දිවියක් ගතකරමු

අප අතර පවතින ඇතැම් අයහපත් පුරුදු අපේ සෞඛ්‍යය කෙරෙහි දැඩි බලපෑම් ඇතිකරයි. එවැනි අයහපත් පුරුදු පැවතියද, ඔබට කිසිඳු රෝගයක ලක්ෂණයක් හෝ අපහසුතාවයක් නොදැනීම නිසා ඔබ නිරෝගී යැයි සිතාගෙන සිටිනවා විය හැක. කෙසේ වුවත්, කාලයක් තිස්සේ අයහපත් පුරුදු පැවතීම නිසා අනාගතයේදී හෘද රෝග, අංශභාගය, දියවැඩියාව, රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම, අධික රුධිර පීඩනය, ස්ථුලතාවය, ඇතැම් පිළිකා වැනි රෝග සහ වෙනත් සංකූලතා වැළඳීමට අවශ්‍ය පසුබිම ඔබේ ශරීර අභ්‍යන්තරයේ ක්‍රමයෙන් ගොඩනැගෙමින් පවතිනවා විය හැක. එමනිසා, අයහපත් පුරුදු වලින් වැළකෙමින් එවැනි බෝනොවන රෝග (Non-communicable diseases or NCDs) වැළඳීමට ඇති අවදානම අවම කරගෙන, ඒවායින් වැළකී සිටීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.

දුම්පානය (Smoking)

දුම්පානය සැලකීමේදී සක්‍රීය දුම්පානය මෙන්ම, අක්‍රිය දුම්පානයට නතුවීම ද එකලෙස හානිකර වේ. දුම්පානය කිරීම නිසා සිරුරේ ඇති සියළුම අවයව පාහේ ක්‍රමයෙන් විනාශ වීම සිදුවන බැවින්, ඔබේ ආයු කාලය සැලකිය යුතු ලෙස කෙටිවේ. එමෙන්ම, එය සිරුරේ බොහෝ ඉන්ද්‍රියයන් වල පිළිකා ඇතිකරයි. දුම්පානය නිසා පෙනහලු, මුඛය, ස්වරාලය, උගුර, ගලනාලය, මුත්‍රාශය, අග්න්‍යාශය, වකුගඩු, අක්මාව, ආමාශය, මහා බඩවැල, ගුද මාර්ගය, සහ ගැබ්ගෙල ආදී අවයව වල පිළිකා ඇතිවේ. එමෙන්ම, ලියුකීමියා හෙවත් ලේ පිළිකා ඇතිවීමට ද දුම්පානය හේතු විය හැක.

දුම්පානය හේතුවෙන් පෙනහලු රෝග ගණනාවක්ම ඇතිවේ. ඒවා අතර ඇදුම, පෙනහලු පටක විනාශ වීමෙන් ඇතිවන එම්ෆිසීමා (Emphysema) තත්ත්වය, දිගුකාලීන පෙනහලු රෝග, පෙනහලු ආසාදන, සහ ශ්වාසනාල ප්‍රදාහය හෙවත් බ්‍රොන්කයිටිස් (Bronchitis) වැනි රෝග පවතී. දුම්පානය සහ දුම්කොළ භාවිතය කරන්නෙකුට, එසේ නොකරන අයෙකුට වඩා හෘද රෝගයකින් මියයාමට ඇති අවදානම දෙගුණයකි. දුම්පානය කරන්නෙකුට ඇතිවිය හැකි අනෙකුත් රෝග සහ තත්ත්ව අතර අංශභාගය, ඇසේ සුද මතුවීම, ගබ්සා සිදුවීම, අඩුබර දරු උපත් සිදුවීම, ලිංගික බෙලහීනතාවය, වඳභාවය, ආමාශයේ තුවාළ හා ගැස්ට්‍රයිටිස්, හර්නියා, තුවාළ සුවවීම ප්‍රමාදවීම, පර්යන්ත වාහිනික රෝගය (Peripheral vascular disease or PVD), සහ දත් දිරායාම පවතී.

බුළත්විට සැපීම සහ දුම්කොළ භාවිතය

බුළත්විට සැපීම සහ දුම්කොළ භාවිතය නිසා පහත සඳහන් හානි ඔබේ සෞඛ්‍යයට සිදුවිය හැක.

  • මුඛය, ගලනාලය, අක්මාව, ආමාශය, පුරස්ථි ග්‍රන්ථිය, ගැබ්ගෙල, පෙනහලු, අග්න්‍යාශය ආදී අවයව වල පිළිකා ඇතිවීමට ඇති අවදානම වැඩිවේ.
  • ඇදුම රෝගය වර්ධනය වීම.
  • අධික රුධිර පීඩනය.
  • හෘද රෝග වැළඳීමට ඇති අවදානම වැඩිවීම.
  • අංශභාගය වැළඳීමට පවතින අවදානම වැඩිවීම.
  • හෘද ස්පන්දනය වේගවත් වීම (Tachycardia) සහ අක්‍රමවත් වීම (Arrhythmia).
  • දියවැඩියාව වැළඳීමට ඇති අවදානම ඉහළ යාම.
  • වකුගඩු රෝගය වැළඳීමට පවතින අවදානම වැඩිවීම.
  • මානසික රෝග උත්සන්න වීම.
  • නොමේරූ දරුවන් සහ අඩුබර දරුවන් ඉපදීම.
  • තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම (Hypothyroidism).
  • පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීම.
  • මදසරුභාවය හෝ නිසරුභාවය.
  • දත් දිරායාම සහ විදුරුමස් රෝගය.

මත්පැන් පානය

දිගුකලක් තිස්සේ මත්පැන් පානය කිරීම සහ එකවර අධිකව මත්පැන් පානය කිරීම ඔබේ හෘදයට හානි කරයි. එමගින්, හෘදයේ මාංශ පේශි දුර්වල වීම (Cardiomyopathy), හෘද ස්පන්දනය අක්‍රමවත් වීම, අංශභාගය, සහ අධික රුධිර පීඩනය වැනි ගැටළු ඇතිවිය හැක. එමෙන්ම, දිගුකාලීන මත්පැන් පානය අක්මාවට ද හානිකර වේ. අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty liver), අක්මා ප්‍රදාහය (Hepatitis), අක්මාවේ තන්තුමතාව (Fibrosis), සහ සිරෝසිස් (Cirrhosis) තත්ත්වය මත්පැන් නිසා අක්මාවට ඇතිවන අහිතකර ප්‍රතිඵල ලෙස දැක්විය හැක. දිගුකාලීන මත්පැන් භාවිතය නිසා උග්‍ර රෝග තත්ත්වයක් වන අග්න්‍යාශ ප්‍රදාහය (Pancreatitis) ඇතිවන අතර, මුඛයේ, ගලනාලයේ, උගුරේ, අක්මාවේ, සහ පියයුරු වල පිළිකා වැලඳීමට ඇති අවදානම ද වැඩිවේ. එමෙන්ම, දිගුකාලීන මත්පැන් භාවිතය රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව හෙවත් ප්‍රතිශක්තිය (Immunity) ද දුර්වල කරයි.

මානසික ආතතිය (Stress)

මානසික ආතතිය ද බොහොමයක් බෝනොවන රෝග වැළඳීමට ඇති අවදානම වැඩිකරයි. එමනිසා, මානසික ආතතිය නිසි පරිදි හසුරුවා ගැනීමට සහ පාලනය කරගැනීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.

ක්‍රියාශීලී නොවීම (Physical inactivity)

ක්‍රියාශීලී නොවීම අපගේ ජීවිත තුළ වර්තමානයේ දැකිය හැකි අයහපත්ම පුරුද්දක් ලෙස දැක්විය හැක. ඒ අතර, නිතර වාඩිවී සිටීම, නිතර රූපවාහිනිය හෝ පරිගණකය නැරඹීම වැනි අයහපත් පුරුදු පවතී. හෘදයාබාධයක් වැළඳීමට හේතුවන අවදානම් සාධක අතර නිතර වාඩිවී සිටීම දෙවැනි වන්නේ දුම්පානයට පමණක් බව පර්යේෂණ මගින් තහවුරු වී ඇති කරුණකි. එමනිසා, ක්‍රියාශීලී ජීවිතයක් ගතකිරීම ඔබේ සෞඛ්‍යයට වඩාත් ගුණදායක දෙයකි. සුවැති දිවියක් සඳහා දිනපතා කලහැකි ශාරීරික ක්‍රියාකාරකම් වලට උදාහරණ කිහිපයක් මෙසේ දැක්විය හැක.

  • කෙටි දුරක් ගමන්කිරීමට සැමවිටම පා ගමන තෝරාගන්න.
  • විදුලි සෝපානය වෙනුවට පඩිපෙල තෝරාගන්න.
  • එළවළු වැවීම, තණකොල කැපීම, උදළු ගෑම වැනි ගෙවත්තේ වැඩකිරීම.
  • යන්ත්‍ර සූත්‍ර භාවිතය අවම කරන්න. උදාහරණ වශයෙන්, දෑතින් රෙදි සේදීම, පිටි කෙටීම, කුල්ලෙන් පෙලීම ආදිය දැක්විය හැක.
  • ඇවිදීම හෝ සෙමෙන් දිවීම.
  • ගේ දොර පිරිසිදු කිරීම.
  • ව්‍යායාමයක් ලෙස බයිසිකල් පැදීම.
  • පිහිනීම, බැඩ්මින්ටන්, වොලිබෝල්, පාපන්දු වැනි ක්‍රීඩා කිරීමට යොමුවීම.
  • කඳු නැගීම.
  • විනෝදාංශයක් ලෙස නර්තනයට යොමුවීම.

(ඡායාරූප අනුග්‍රහය: home thods)

සබැඳි ලිපි:

අලස වීම අපගේ සෞඛ්‍යයට ගැටළුවක් වී ඇත්තේ කෙසේද?
නිතර ඉඳගෙන සිටීම හානිකර වන්නේ ඇයි?
පිළිකා රෝගය වළක්වාගැනීමට ඔබ කලයුත්තේ කුමක්ද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අයහපත් පුරුදු වලින් වැළකී සුවදායී දිවියක් ගතකරමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*