අංශභාගය (Stroke) වැළදෙන්නට ඔබටත් අවදානමක් තිබේද?

අංශභාගය (Stroke) වැළදෙන්නට ඔබටත් අවදානමක් තිබේද

අංශභාගය (Stroke) හෙවත් ආඝාතය වැළඳෙන්නේ මොළයේ පවතින රුධිර වාහිනියක් අවහිර වීමෙන් හෝ පිපිරී යාමෙනි. එසේ වීම නිසා ස්නායු සෛල වලට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ නොලැබීමෙන් අවහිර වූ හෝ පිපිරී ගිය රුධිර වාහිනිය මගින් රුධිරය සපයන මොළයේ කොටස මිය යාමට පටන් ගනී. අංශභාගය නිසා හානි වූ මොළයේ ප්‍රදේශය මගින් පාලනය වන සිරුරේ කොටස් වල ක්‍රියාකාරීත්වය අකර්මණ්‍ය වීම දැකිය හැක.

මොළයේ රුධිර වාහිනියක් අවහිර වීමෙන් හෝ පිපිරී යාමෙන් පසුව විනාඩි කිහිපයක් තුළ අදාළ ප්‍රදේශයේ ස්නායු වලට හානි වීම ඇරඹේ. එමනිසා, අංශභාගය නිසා ඇතිවන රෝග ලක්ෂණ වහා හඳුනාගෙන, ඉක්මනින් ක්‍රියාකාරී වීම ඉතා වැදගත් වේ. ඉක්මනින් නිසි ප්‍රතිකාර කලහොත්, මොළයට සිදුවන හානිය අවම කරගැනීමට හැකිවන අතර, සම්පූර්ණයෙන් සුව වීමට ඇති හැකියාව වැඩිවේ.

අංශභාගය වැළඳෙන්නට ඇති අවදානම වැඩිකරන සාධක ගණනාවක් පවතී. පහත සඳහන් අවදානම් සාධක නිසා අංශභාගය වැළඳීමට ඇති ඉඩකඩ වැඩිවන අතර, විශේෂය වන්නේ එම අවදානම් සාධක වෙනස්කිරීම හෝ ඒවාට නිසි ප්‍රතිකාර කිරීම මගින් අංශභාගය වැළඳීමට පවතින අවදානම අවම කරගත හැකි වීමයි.

  • අධික රුධිර පීඩනය (Hypertension or high blood pressure)
  • Atrial fibrillation නැමැති හෘදයේ කර්ණිකාවේ විද්‍යුත් ක්‍රියාකාරීත්වයේ සහ සංකෝචනය වීමේ අක්‍රමවත් වීම නිසා ඇතිවන තත්ත්වය
  • දියවැඩියාව (Diabetes mellitus)
  • දුම්පානය
  • රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම (Hypercholesterolaemia)
  • අධික ලෙස මත්පැන් පානය කිරීම
  • බර වැඩිවීම (Overweight) සහ ස්ථුලතාවය (Obesity)
  • ශාරීරිකව ක්‍රියාකාරී නොවීම (Physical inactivity)

පහත සඳහන් අවදානම් සාධක, අංශභාගය වැළඳීමට ඇති අවදානම වැඩිකරන මුත්, ඒවා වෙනස් කිරීමට හෝ නිවැරදි කිරීමට හැකියාවක් නොමැත.

  • වයස. අංශභාගය වැළඳීමට ඇති අවදානම වයස සමග වැඩිවේ.
  • ස්ත්‍රී පුරුෂ භාවය. පුරුෂයන්ට සාපේක්ෂව ගැහැණු අයට අංශභාගය වැළඳීමට වැඩි අවදානමක් ඇත. වයස අවුරුදු 55 ත් 75 ත් අතර පුද්ගලයන් සැලකූ කල, ගැහැණු අය 10 දෙනෙකුගෙන් දෙදෙනෙකුට පමණ අංශභාගය වැළඳෙන අතර, පිරිමි අය 10 දෙනෙකුගෙන් අංශභාගය වැළඳෙන්නේ 1-2 කුට පමණි.
  • පවුලේ රෝග ඉතිහාසය. ඔබේ පියාට, මවට, සහෝදරයෙකුට, හෝ සහෝදරියකට අංශභාගය හෝ තාවකාලිකව ඇතිව නැතිව යන අංශභාග තත්ත්වයක් (Transient ischaemic attack or TIA) වැළඳී ඇත්නම්, ඔබට අංශභාගය වැළඳීමට වැඩි අවදානමක් ඇත.
  • ඔබට පෙර අංශභාගය හෝ තාවකාලිකව ඇතිව නැතිව යන අංශභාග තත්ත්වයක් වැළඳී ඇත්නම්, නැවත අංශභාගය වැළඳීමට වැඩි අවදානමක් ඇත.
  • ජාතිය. අප්‍රිකානු ඇමරිකානුවන් (African Americans), මුල් ඇමරිකානුවන් (Native Americans), ඇලස්කානු ජාතිකයන් (Alaskan natives) හට අංශභාගය වැළඳීමට වැඩි අවදානමක් ඇත.

(ඡායාරූප අනුග්‍රහය: yomo 13)

සබැඳි ලිපි:

අංශභාගය හෙවත් ආඝාතය යනු කුමක්ද?
අංශභාගය ඉක්මනින්ම හඳුනාගන්නේ කෙසේද?
යළි අංශභාගය වැළඳීම වළක්වා ගන්නේ කෙසේද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "අංශභාගය (Stroke) වැළදෙන්නට ඔබටත් අවදානමක් තිබේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*