පිරිසිදු ජලය පානය කිරීමෙන් සුවැති දිවියකට මග පාදාගන්න.

පිරිසිදු ජලය පානය කිරීමෙන් සුවැති දිවියකට මග පාදාගන්න

අපගේ ශරීරයේ මුළු බරෙන් තුනෙන් දෙකකටත් වඩා, එනම් 70% ක් පමණ පවතින්නේ ජලයයි. එමෙන්ම, සිරුර තුළ සිදුවන පරිවෘත්තීය ප්‍රතික්‍රියා නිසි පරිදි සිදුවීම සඳහා ජලය අත්‍යාවශ්‍ය වේ. ජලය මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බවට පත්වී ඇත්තේ එබැවිනි. සැබැවින්ම, හොඳින් පිරිසිදු ජලය පානය කිරීමෙන් සුවැති දිවියකට මග පාදාගැනීමට හැකිවේ.

අප ජලය පානය කළ යුත්තේ ඇයි?

උණුකර නිවාගත් ජලය පානය කරන්නේ නම් වඩාත් සුදුසුය. එමෙන්ම, දිනකට අවශ්‍ය වන ජලය ප්‍රමාණය දවස පුරා සමානව බෙදී යන අයුරින් පානය කළ යුතුය. බොහෝ අය ජලය පානය කිරීම සඳහා පිපාසය දැනෙන තුරු සිටින මුත්, එසේ කිරීමට අවශ්‍ය නොවේ. මක්නිසාද, ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් බැවින්, සිරුරෙන් ඉවත්වන ජලය ප්‍රමාණය සාපේක්ෂව මදක් වැඩිය. එබැවින්, මුත්‍රා පද්ධතිය ආශ්‍රිත විවිධ රෝග වැළඳීමේ අවදානම අඩු කරගැනීමට, දිනකට අවශ්‍ය වන ජලය ප්‍රමාණය පානය කිරීම වැදගත් වේ. සාමාන්‍යයෙන්, වැඩිහිටි අයෙක් දිනකට ජලය ලීටර් 1.5-2 ක් පමණ එනම්, ජලය වීදුරු 7-8 ක් පමණ පානය කළ යුතු අතර, සිරුරේ බර අනුව පානය කළ යුතු දියර ප්‍රමාණය වෙනස් වේ.

ජලය පිරිසිදු කරන්නේ කොහොමද?

පානය කිරීම සඳහා පිරිසිදු ජලය භාවිතා කිරීම වැදගත් වේ. මක්නිසාද, ජලය විවිධ ක්‍රම වලින් අපවිත්‍ර වනු දැකිය හැක. බැක්ටීරියා, වෛරස, පරපෝෂිතයන් වැනි රෝගකාරක නිසාද, කාර්මික අපද්‍රව්‍ය, කෘෂි රසායන, බැර ලෝහ, නයිට්‍රේට හා ෆ්ලුවොරයිඩ වැනි රසායනික ද්‍රව්‍ය නිසාද ජලය අපවිත්‍ර වේ. ජලය පිරිසිදු කරගැනීමට යොදාගත හැකි සරලම ක්‍රමයක් වන්නේ හොඳින් උණුකර නිවා ගැනීමයි. එමගින්, රෝගකාරක විෂබීජ විනාශ වන අතර, ජලයේ පවතින තාවකාලික කඨිනතාවය ද අඩුවේ. එහෙත්, ජලයට එකතු වී ඇති රසායන ද්‍රව්‍ය ඉවත් කිරීමට මෙය එතරම් සුදුසු ක්‍රමයක් නොවේ. ජලයේ ෆ්ලුවොරයිඩ අධිකව පවතින ප්‍රදේශ වල ජීවත් වන අය ජලය පිරිසිදු කරගැනීම සඳහා ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් විශේෂයෙන්ම මෙම කාර්යය සඳහා නිෂ්පාදනය කරන ලද හෝ ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය මගින් නිර්දේශිත වතුර පෙරණය භාවිතා කළ යුතුය.

තේ සහ කෝපි

තේ සහ කෝපි උත්තේජක පානයන් ලෙස ශ්‍රී ලාංකිකයන් අතර ඉතාම ජනප්‍රිය ය. තේ වල අඩංගු මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරක සහිත ෆ්ලේවනොයිඩ මගින් රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරන අතර, රුධිර පීඩනය අඩුකිරීම නිසාවෙන් හෘද රෝග වැළඳීමට ඇති අවදානම අඩුවේ. කෙසේ වුවත්, තේ වල අඩංගු ටැනින් වැනි සංඝටක මගින් ආහාරයේ ඇති යකඩ අවශෝෂණය වළක්වන බැවින්, ආහාර ගැනීමට පෙර සහ ආහාර ගැනීමට පසු පැය දෙකක පමණ කාලයක් තේ පානය කිරීම සුදුසු නොවේ. නිතර කෝපි පානය කිරීම සුදුසු නොවන අතර, එය රුධිර පීඩනය ඉහළ යාමට සහ හෘද ස්පන්දනයේ අසාමාන්‍යතා ඇතිවීමට හේතු විය හැක.

ස්වාභාවික පාන වර්ග

තැඹිලි, කුරුම්බා වැනි ස්වාභාවික පාන වර්ග ද, රණවරා, බෙලිමල්, ඉරමුසු, හා කොළ කැඳ වැනි ඖෂධීය පාන වර්ග ද, ශරීරයට හිතකර වන අතර, ඒවා මගින් ශරීරයට අවශ්‍ය ඛණිජ ලවණ මෙන්ම, ඖෂධීය ගුණයද ලැබේ.

කෘතිම බීම වර්ග

වෙළඳපොලේ ඇති කෘතිම සිසිල් බීම හා කෘතිම පළතුරු යුෂ බොහොමයක සීනි අධිකව අඩංගු වේ. එමෙන්ම, මෙම කෘතිම බීම වර්ග පිළියෙල කිරීම සඳහා කල් තබාගැනීමට යොදාගන්නා රසායන ද්‍රව්‍ය, රසකාරක, වර්ණ කාරක, සහ සුවඳකාරක යොදාගනු ලබයි. මෙම කෘතිම රසායන ද්‍රව්‍ය අසාත්මිකතාවය, හතිය, ඇදුම, පීනස, සහ පිළිකා වැනි රෝග වැළඳීමට හේතු විය හැක. එමෙන්ම, කෝලා වර්ගයේ බීම වර්ග දත්වල එනමලයට හානිකරන බැවින් දත් දිරායාම වැඩිවේ. විශේෂයෙන්ම, මෙවැනි රසකල බීම වලට කුඩා දරුවන් පුරුදුවීම නිසා ප්‍රධාන ආහාර වේල් මගහැරීමෙන්, දරුවන්ගේ වර්ධනයේ ගැටළු මතුවිය හැක.

මූලාශ්‍රය: පෝෂණ අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය

(ඡායාරූප අනුග්‍රහය: r. nial bradshaw)

සබැඳි ලිපි:

ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය කරනවාද?
ආහාරයේ ඇති ෆ්ලේවොනොයිඩ වලින් ඇති ප්‍රයෝජන

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "පිරිසිදු ජලය පානය කිරීමෙන් සුවැති දිවියකට මග පාදාගන්න." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*