පාසල් යාමට තරම් ඔබේ දරුවා සුවවී ඇත්දැයි හඳුනාගන්නේ කොහොමද?

පාසල් යාමට තරම් ඔබේ දරුවා සුවවී ඇත්දැයි හඳුනාගන්නේ කොහොමද?

තම දරුවා අසනීප වීමෙන් පසුව, යලි පාසල් යැවීමට සුදුසු අවස්ථාව කුමක් දැයි යන්න පිළිබඳ නිසි අවබෝධයක් බොහෝ දෙමව්පියන්ට නැති බව පෙනේ. ඇතැම් දෙමව්පියන් දරුවා අසනීප තත්ත්වයෙන් සිටියදීම පාසල් යවන්නට උත්සුක වන අතර, ඇතැම් අය අසනීපය හොඳින් සුවවීමට පෙර පාසල් යවන අවස්ථාද පවතී. කෙසේ වුවත්, එය දරුවා අසනීපයෙන් පසු යථා තත්ත්වයට පත්වීමට ගතවන කාලය වැඩිකිරීමට හේතුවිය හැකි අතරම, ඇතැම්විට දරුවාගේ අසනීපය තවදුරටත් උග්‍ර වීමටද හේතුවිය හැක. වඩාත්ම ගැටළුකාරී වන්නේ බෝවෙන රෝගයකින් පෙලෙන දරුවෙක් සමග ගැවසෙන අනෙක් නිරෝගී දරුවන්ට ද රෝගය බෝවීමට ඇති අවදානම වැඩිවීමයි. එමනිසා, පාසල් යාමට තරම් ඔබේ දරුවා සුවවී ඇත්දැයි වටහා ගැනීමට අත්වැලක් ලෙස මෙම ලිපිය ඉදිරිපත් කෙරේ.

ඇතැම් දෙමව්පියන් අසනීපයකින් පෙලෙන දරුවා පාසලට යැවීමට උත්සුක වන්නේ දරුවාගේ අධ්‍යාපන කටයුතු වලට රෝගය බාධාවක් වීම වැළැක්වීම අරමුණු කරගෙනය. ඇතැමෙක් අසනීපයකින් පෙලෙන දරුවා පාසලට යැවීමට සුදුසු අවස්ථාව කුමක් දැයි හඳුනාගැනීමට අවබෝධයක් නොමැතිකම නිසා එසේ කරනු දැකිය හැක.

කෙසේ වුවත්, අසනීපයකින් පසු දරුවා පාසලට යැවීමට සුදුසු අවස්ථාව තීරණය කිරීම ඔබ සිතන තරම් අපහසු දෙයක් නොවේ. එය තීරණය කිරීමට ඔබ පිළිතුර දැනසිටිය යුත්තේ එක් ප්‍රශ්නයකට පමණි: තවමත් ඔබේ දරුවාට පාසල් ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට පුළුවනිද? උගුරේ වේදනාවක්, කැස්ස, හෝ නාසයෙන් මදක් සොටු දියර ගැලීම තිබූ පමණින් දරුවාට ක්‍රියාකාරී වීමට සහ පාසල් ක්‍රියාකාරකම් වලට සහභාගී වීමට නොහැකි බවක් අදහස් නොවේ.

ඔබේ සහජ බුද්ධිය භාවිතා කරන්න. ඔබේ දරුවාට නාසයේ මද සොටු දියර තත්ත්වයක් හෝ කිවිසුම් කිහිපයක් ගියේ යැයි සිතමු. එවන් විටෙක, නිවසේදී ඔබේ දරුවාගේ සක්‍රීය බවෙහි වෙනසක් නොමැති නම්, ඔහු හෝ ඇය පාසලට යැවීමට හැකියාව ඇත. සාමාන්‍යයෙන් උදෑසන තනිවම අවදි වීමට හුරුව සිටි දරුවෙක්ට, රාත්‍රිය පුරා කැස්ස පැවතී උදෑසන ඔබ අවදි කරන තෙක් අවදි නොවූයේ නම්, එදින ඔහු හෝ ඇය පාසලට යැවීමට සුදුසු තත්ත්වයක නොසිටින බව කිව හැක. එවන් විටෙක, ඔබේ දරුවාට නිවසට වී විවේකයෙන් සිටීමට ඉඩ සැලසිය යුතුය.

ඔබේ දරුවාට උණ, ඔක්කාරය, වමනය, හෝ දියර ලෙස මළපහ පිටවීම ඇත්නම්, කිසිවිටෙක දරුවා පාසලට යවන්න එපා. එමෙන්ම, ඔබේ දරුවාට ආහාර අරුචිය, අලසබව, වේදනාව ඇතිවිට, හෝ දරුවා එසේ ඇතිබවට රඟපෑමක් නොකරන බව ඔබට සහතික නම්, දවසක් විවේක ලබාදීම වඩාත් සුදුසු වේ. සාමාන්‍යයෙන්, දරුවාට උගුරේ වේදනාවක් සමග උගුර රතුවීමක් ඇත්නම් හෝ ඇස් රතුවීමක් ඇත්නම්, නිසි ප්‍රතිකාර සමග නිවසේ දවසක් විවේකයෙන් තැබීම වඩාත් සුදුසු වේ. ඔබේ දරුවාට ඇස් ලෙඩ හෙවත් ඇසේ ආසාදනයක් ඇතිවිට, නිසි ප්‍රතිකාර ලබාදී ඇස්වල රතු පැහැය, කඳුළු හා කබ ගැලීම, කැසීම, ඉදිමීම, සහ වේදනාව සම්පූර්ණයෙන්ම පහව යනතුරු පාසල් යැවීමෙන් වළකින්න. ඔබේ දරුවාට උණ ඇත්නම්, උණ අඩුකිරීම සඳහා නිර්දේශ කරන ඖෂධ නොමැතිව, අවම වශයෙන් පැය 24 ක් වත් ස්වාභාවිකව උණ නොමැති වනතුරු දරුවා පාසලට යැවීමෙන් වළකින්න.

ඔබේ සහජ බුද්ධිය භාවිතා කිරීමට අමතක කරන්න එපා. ඔබේ දරුවා පිළිබඳව සහ ඔහුගේ හෝ ඇයගේ හැසිරීම පිළිබඳව හොඳින්ම දන්නේ ඔබ පමණි. එමනිසා, පාසලට යාමට තරම් ඔබේ දරුවා සුවවී ඇතිදැයි තීරණය කලහැක්කේද ඔබට පමණි.

(ඡායාරූප අනුග්‍රහය: anjanettew)

සබැඳි ලිපි:

දරුවාගේ උගුරේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?
ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ කෙසේද?
ඔබේ දරුවාට උණ සෑදුන විට කුමක් කලයුතුද?
කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "පාසල් යාමට තරම් ඔබේ දරුවා සුවවී ඇත්දැයි හඳුනාගන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*