ගර්භාෂයේ පිළිකා (Endometrial Cancer) ගැන ඔබ දැනුවත්ද?

ගර්භාෂයේ පිළිකා (Endometrial Cancer) ගැන ඔබ දැනුවත්ද?

ගර්භාෂය ප්‍රධාන වශයෙන් මාංශ පේශි වලින් සෑදී තිබුණත්, එහි අභ්‍යන්තර බිත්තිය ආවරණය කරන පටක ස්ථරයක් (Endometrium) පවතී. ගර්භාෂයේ පිළිකා යනු ගර්භාෂය ආස්තරණය කරන මෙම පටක ස්ථරයේ හෙවත් ගර්භාෂයේ ඇතුළු බිත්තියේ හටගන්නා පිළිකා වර්ගයකි. මෙම පිළිකා වර්ගය, කාන්තාවන්ට වැළඳෙන පිළිකා වර්ග අතර මූලික ස්ථානයක් ගැනීම විශේෂ ලක්ෂණයක් වේ.

ගර්භාෂයේ පිළිකා තරුණ කාන්තාවන් අතර එතරම් සුලභ රෝගයක් නොවන අතර, ගර්භාෂයේ පිළිකා වැළඳෙන බොහොමයක් කාන්තාවන් වයස අවුරුදු 50 ට වැඩි අය වීම විශේෂ ලක්ෂණයකි. එනම්, ආර්තවාභාවය හෙවත් ආර්තවහරණය (Menopause) සිදුවූ කාන්තාවන්ට ගර්භාෂයේ පිළිකා වැළඳීමට වැඩි අවදානමක් පවතී. වාසනාවකට මෙන්, මූලික අවස්ථා වලදී හඳුනාගැනීම මගින්, ගර්භාෂයේ පිළිකා බොහෝවිට සුවකිරීමට හැකියාව ලැබේ.

 

ගර්භාෂයේ පිළිකා හටගැනීමට හේතුවන අවදානම් සාධක මොනවාද?

සාමාන්‍යයෙන්, ඔසප් චක්‍රය සිදුවීමේදී ගර්භාෂ ආස්තරය ක්‍රමයෙන් වර්ධනය වී ඝනකම් වීම සිදුවේ. ඔසප් වීමේදී, ඝනවූ ගර්භාෂ ආස්තරයේ මතුපිට ස්ථර බිඳවැටී රුධිරය සමග පිටවේ. බොහොමයක් ගර්භාෂ පිළිකා වලදී සිදුවන්නේ ඝනවූ ගර්භාෂ ආස්තරය නැවත බිඳ නොවැටී දිගටම ඝනව පැවතීමයි. සැබැවින්ම, මෙම අවස්ථාව පූර්ව පිළිකාමය අවදියක් ලෙස හැඳින්විය හැක.

බොහෝ ගර්භාෂයේ පිළිකා වැළඳීමට ප්‍රධානතම හේතුව වන්නේ සිරුරේ පවතින ප්‍රොජෙස්ටරෝන් (Progesterone) නැමැති කාන්තා හෝමෝන මට්ටමට සාපේක්ෂව ඊස්ට්‍රජන් (Oestrogen) නැමැති කාන්තා හෝමෝනයේ සාන්ද්‍රණය අධික වීමයි. මෙම හෝමෝන අසමතුලිතතාවය මගින් ගර්භාෂ ආස්තරය ඝනව වර්ධනය වීමට උත්තේජනයක් සපයනු ලැබේ. මෙසේ ගර්භාෂ ආස්තරය ඝනව වර්ධනය වී දිගටම පැවතුනහොත්, එහි සෛල වලට පාලනයකින් තොරව වේගයෙන් වර්ධනය වීමට අවකාශ ලැබීම නිසා පිළිකා සෛල හටගැනීම සිදුවිය හැක. දිගුකාලයක් තිස්සේ මෙවැනි හෝමෝන අසමතුලිතතාවයක් පවතින කාන්තාවන්ට වයස අවුරුදු 50 ට වඩා වැඩිවන විට ගර්භාෂයේ පිළිකා වැළඳීමට ඇති අවදානම වැඩිවේ.

ගර්භාෂයේ පිළිකා සඳහා අවදානම් සාධකයක් පැවතීම යනු එය වැළඳීමට පවතින අවදානම වැඩි කරන්නකි. නමුත්, අවදානම් සාධක පවතින අයෙකුට අනිවාර්යයෙන්ම ගර්භාෂයේ පිළිකාවක් ඇතිවන බව එයින් අදහස් නොවේ. එමෙන්ම, ගර්භාෂයේ පිළිකා සඳහා අවදානම් සාධක කිසිවක් නොමැති අයට පවා ගර්භාෂයේ පිළිකා ඇතිවුණු අවස්ථා ද පවතී.

ගර්භාෂයේ පිළිකා සඳහා අවදානම් සාධක පහතින් දැක්වේ.

  • ස්ථුලතාවය හෙවත් තරබාරුකම.
  • හෝමෝන ප්‍රතිකාර වලදී ප්‍රොජෙස්ටරෝන් වර්ගයේ හෝමෝනයක් නොමැතිව ඊස්ට්‍රජන් හෝමෝනය පමණක් ගැනීම.
  • පියයුරු පිළිකා සඳහා ලබාදෙන ප්‍රතිකාරයක් වන ටැමොක්සිෆන් (Tamoxifen) ඖෂධය ගැනීම.
  • බහු-කෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය (Polycystic ovarian syndrome or PCOS)
  • අඩු වයසින් වැඩිවිය පැමිණීම (වයස අවුරුදු 12 ට පෙර) සහ වයස්ගත වී ආර්තවාභාවය සිදුවීම (වයස අවුරුදු 52 ට පසු).
  • වයස අවුරුදු 50 ට වඩා වැඩිවීම.
  • ඇතැම් ජාන.
  • ගර්භාෂ ආස්තරය ඝනකම් වීම (Endometrial hyperplasia).
  • දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus).
  • කිසිදාක ගැබ්ගෙන නොතිබීම.
  • යටිබඩ ආශ්‍රිතව විකිරණ ප්‍රතිකාර සිදුකර තිබීම හෝ යටිබඩ ප්‍රදේශය විකිරණ වලට නිරාවරණය වීම.

 

ගර්භාෂ පිළිකාවක රෝග ලක්ෂණ මොනවාද?

ගර්භාෂයේ පිළිකා සෛල වර්ධනය වී ගුණනය වීමත් සමග පිළිකා පටක ගොනුවක් ඇතිවන බැවින්, රුධිරය වහනය වීම සිදුවේ.

ගර්භාෂයේ පිළිකාවක් ඇතිවිට දැකිය හැකි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ:

  • ඔසප්වීමට සම්බන්ධයක් නොමැතිව යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම හෝ යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවීම.
  • විශේෂයෙන්ම, ආර්තවාභාවයට පසුව අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම.
  • ලිංගිකව එක්වීමේදී වේදනාවක් ඇතිවීම.
  • යටිබඩේ වේදනාව

ගර්භාෂයේ පිළිකාවක් සඳහා නිසි ප්‍රතිකර්ම නොකලහොත්, එය ගර්භාෂයෙන් පිටතට වර්ධනය වේ. එමනිසා, යටිබඩ ආශ්‍රිතව පවතින වසා ගැටිති ඉදිමීම සහ පිළිකාව යටිබඩේ පවතින අනෙකුත් අවයව වලට පැතිරීම සිදුවේ. බොහෝ කල් ගතවූ ගර්භාෂයේ පිළිකාවක් නිසා සිරුරේ වෙනත් ස්ථාන වල වසා ගැටිති ඉදිමීම මෙන්ම, පිළිකාව පෙනහලු, අක්මාව, අස්ථි, මොළය, සහ යෝනි මාර්ගය වැනි අවයව දක්වා පැතිරීම සිදුවිය හැක.

ගර්භාෂයේ පිළිකාවක් කල් පැවතීම නිසා පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවේ.

  • යටිබඩේ වේදනාව
  • යටිබඩේ ගෙඩියක් හෝ වර්ධනයක් හසුවීම
  • බර අඩුවීම

ආර්තවාභාවයෙන් පසුව කාන්තාවක් හෝමෝන ප්‍රතිකාර ගන්නා විට, යෝනි මාර්ගයෙන් යම් රුධිර වහනය වීමක් සිදුවිය හැකි මුත්, අක්‍රමවත් ලෙස රුධිරය වහනය වේ නම්, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවීම කල යුතුවේ.

ආර්තවාභාවය සිදුනොවූ කාන්තාවකට අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම හෝ ශ්‍රාවයක් පිටවීම, සාමාන්‍යයෙන් ගර්භාෂ පිළිකාවක් නිසා ඇතිවන ලක්ෂණයක් නොවේ. එය බොහෝවිට හෝමෝන වෙනස්කම් වැනි තත්ත්වයන් නිසා සිදුවේ.

කෙසේ වුවත්, ඔබට ගර්භාෂ පිළිකාවකදී ඇතිවිය හැකි රෝග ලක්ෂණ එකක් හෝ තිබේ නම්, ඉක්මනින් ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙකු හමුවීමට කටයුතු කරන්න.

 

ගර්භාෂ පිළිකාවක් හඳුනාගැනීම සඳහා පරීක්ෂාවන් සහ පරීක්ෂණ සිදුකරන්නේ කොහොමද?

මුළින්ම, ඔබේ වෛද්‍යවරයා ඔබේ රෝග ලක්ෂණ සහ රෝග ඉතිහාසය පිළිබඳ විස්තර ඔබෙන් අසනු ඇත. ඉන් අනතුරුව, වෛද්‍යවරයා ඔබව පරීක්ෂා කරනු ඇත. එහිදී, ඔබගේ යෝනි මාර්ගය තුළින් ගැබ්ගෙල, ගර්භාෂය, ඩිම්බ කෝෂ වැනි යටිබඩේ අභ්‍යන්තර අවයව පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබේ.

ගර්භාෂ පිළිකාවක් නිශ්චිතව හඳුනාගැනීම සඳහා ගර්භාෂ ආස්තරයෙන් පටක ස්වල්පයක් ගෙන (Endometrial biopsy) අන්වීක්ෂයකින් පරීක්ෂා කල යුතුය. මෙය සිදුකිරීම සඳහා සිහිනැති කිරීම හෝ වේදනා නාශක ලබාදීම අවශ්‍ය නොවන අතර, සායනයකදී වුවද සිදුකල හැකියි.

ගර්භාෂ පිළිකාවක් හඳුනාගැනීම සඳහා සිදුකරන අනෙකුත් පරීක්ෂණ:

යෝනි මාර්ගය ඔස්සේ සිදුකරන අතිධ්වනි තරංග ස්කෑන් පරීක්ෂණය (Transvaginal ultrasound scan). මෙම පරීක්ෂණය මගින් ගර්භාෂ ආස්තරයේ ඝනකම, පිළිකාවක් ඇත්නම් එය ගර්භාෂ බිත්තියට හෝ ගර්භාෂයට පිටතින් පිහිටි අවයව වලට පැතිරී ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂා කල හැක. එමෙන්ම, ගර්භාෂ ආස්තරයේ යම් අසාමාන්‍යතාවයක්, පිළිකාවක ලක්ෂණ, හෝ පිළිකාවක් ඇතිවීමට අවදානම් තත්ත්වයක් ඇත්දැයි හඳුනාගැනීමටද මෙම පරීක්ෂණය වැදගත් වේ.

යෝනි මාර්ගය ඔස්සේ ගර්භාෂය තුළට කැමරාවක් සහිත සිහින් උපකරණයක් ඇතුළු කර පරීක්ෂා කිරීම (Hysteroscopy). මෙම පරීක්ෂණය මගින් ගර්භාෂ ආස්තරයේ තත්ත්වය පරීක්ෂා කලහැකි අතර, අවශ්‍ය නම් පරීක්ෂා කිරීම සඳහා ගර්භාෂ ආස්තරයේ පටක ස්වල්පයක් ගැනීමටද හැකියාව ඇත. මෙම පරීක්ෂණය සිදුකිරීම සඳහා ද නිර්වින්දනය කිරීමක් අවශ්‍ය නොවේ.

ප්‍රසාරණය කර ගර්භාෂය කියුරට්කරණය (Dilation and curettage or D&C) කිරීම. මෙම පරීක්ෂණය කිරීම සඳහා නිර්වින්දනය කිරීමට අවශ්‍ය වේ. මෙම පරීක්ෂණය කිරීමේදී, ගැබ්ගෙල ඔස්සේ කූරක් වැනි සිහින් උපකරණයක් ඇතුළු කර ගර්භාෂ ආස්තරය හෝ ඉන් කොටසක් සූරා ඉවත් කෙරේ. එසේ ඉවත් කරන පටක කොටස් අන්වීක්ෂයක ආධාරයෙන් පරීක්ෂා කරනු ලැබේ.

පරීක්ෂණ කිරීමේදී ගර්භාෂ ආස්තරය ඝනකම් වීමක් (Endometrial hyperplasia) ඇතැයි සොයාගන්නා සෑම අවස්ථාවක්ම පිළිකාමය තත්ත්වයක් නොවේ. නමුත්, එය පිළිකාවක් දක්වා වර්ධනය වියහැක.

ගර්භාෂ පිළිකාවක් ඇතැයි හඳුනාගන්නා රෝගීන් තුළ එය පැතිර ඇත්දැයි සෙවීම සඳහා සහ ශල්‍යකර්මයක් සිදුකිරීමට පෙර සිදුකරන පරීක්ෂණ ගණනාවක් පවතී. ඒවා නම්:

  • CT ස්කෑන් පරීක්ෂණයක් හෝ MRI ස්කෑන් පරීක්ෂණයක්
  • රුධිර පරීක්ෂණ කිහිපයක්
  • පපුවේ X-කිරණ (X-ray) පරීක්ෂණයක්

 

ගර්භාෂයේ පිළිකාවක් සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

ගර්භාෂයේ පිළිකාවක් මූලික අවස්ථාවේදී හඳුනාගතහොත්, බොහෝවිට සුවකිරීමට හැකියාව පවතී. එමෙන්ම, ඉහත සඳහන් ආකාරයට පරීක්ෂණ සිදුකිරීමෙන්, ගර්භාෂයේ පිළිකාවක් නිවරැදිව හඳුනාගැනීමට හැකියාව ලැබේ.

ගර්භාෂයේ පිළිකා සඳහා සිදුකරන ප්‍රතිකාර ගණනාවක්ම දැකිය හැකියි.

ප්‍රධානතම ප්‍රතිකාරය වන්නේ ශල්‍යකර්මයක් ආධාරයෙන් ගර්භාෂය, ඩිම්බ කෝෂ, සහ පැලෝපීය නාල ඉවත් කිරීම (Hysterectomy and salpingo-oophorectomy) යි. මෙහිදී අවශ්‍යතාවය මත ශ්‍රෝණි කුහරය සහ උදර කුහරය තුළැති වසා ගැටිති (Lymph nodes) ඉවත් කිරීමක් ද සිදුකරනු ලැබේ. මෙම ශල්‍යකර්මය සාමාන්‍යයෙන් සිදුකරනු ලබන්නේ උදර බිත්තිය ඔස්සේ කැපුමක් සිදුකරමින් ය. මෙම ශල්‍යකර්මය උදර බිත්තිය ඔස්සේ ඇතිකරන කුඩා සිදුරු කිහිපයක් තුළින් ඇතුළුකරන සිහින් කැමරාවක් සහ සිහින් උපකරණ කිහිපයක් ආධාරයෙන් සිදුකිරීමටද හැකියාව පවතී. මෙම ශල්‍යකර්මය Laparoscopy ලෙස හැඳින්වෙන අතර, එහි ඇති විශේෂත්වය වන්නේ වේදනාව අඩුවීම සහ ශල්‍යකර්මයෙන් අනතුරුව යථා තත්ත්වයට පත්වීමට ගතවන කාලය අඩුවීමයි. දැනට දියුණු තාක්ෂණික ක්‍රමයක් ලෙස භාවිතා කරන Robotic hysterectomy නැමැති ක්‍රමයටද මෙම ශල්‍යකර්මය සිදුකල හැකි මුත්, තවමත් ශ්‍රී ලංකාවේදී එසේ කිරීමට තරම් පහසුකම් දියුණු වී නැහැ.

බොහොමයක් රෝගීන් ශල්‍යකර්මයෙන් අනතුරුව සම්පූර්ණයෙන්ම සුවය ලබන මුත්, ඇතැම් රෝගීන්ගේ වසා ගැටිති තුළ ඉතිරි වී ඇති පිළිකා සෛල විනාශ කිරීම සඳහා විකිරණ ප්‍රතිකාර (Radiotherapy) අවශ්‍ය විය හැක. බොහෝවිට, ගර්භාෂයේ පිළිකා සඳහා රසායනික චිකිත්සාව (Chemotherapy) හෙවත් පිළිකා නාශක ඖෂධ භාවිතය සිදුකරන්නේ නැත. කෙසේ වුවත්, ඇතැම් රෝගීන්ට රසායනික චිකිත්සාව අවශ්‍ය විය හැකියි. එමෙන්ම, පිළිකා සෛල වල ක්‍රියාකාරීත්වය අවම කිරීම සඳහා ප්‍රොජෙස්ටරෝන් (Progesterone) හෝමෝනය අධික මාත්‍රාවකින් ලබාදීම වැනි හෝමෝන ප්‍රතිකාර ක්‍රම ද භාවිතා කෙරේ.

ගර්භාෂයේ ඇතිවන පිළිකා මූලික අවස්ථාවේදීම හඳුනාගෙන නිසි ප්‍රතිකාර කලහොත්, බොහොමයක් රෝගීන් සම්පූර්ණයෙන්ම සුවවන අතර, ප්‍රමාද වී හඳුනාගතහොත් සුවකල නොහැකි වීමට ඉඩ ඇත. එවැනි රෝගීන්ගේ ජීවිත කාලය දීර්ඝ කිරීමටත්, රෝග ලක්ෂණ ඇතුළු ශාරීරික අපහසුතා අවම කිරීමටත් ප්‍රතිකාර වලට හැකියාව පවතී.

 

ගර්භාෂයේ පිළිකා හටගැනීමට ඇති අවදානම අඩු කරගන්නේ කොහොමද?

  • අධිබර හෝ තරබාරු නම්, බර අඩුකරගෙන සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම.
  • මව්කිරි දෙන මවක් නම්, දරුවාට හොඳින් මව්කිරි ලබාදීම.
  • අසාමාන්‍ය ලෙස යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වුවහොත්, ඉක්මනින් ප්‍රතිකාර ලබාගැනීම. ගර්භාෂ ආස්තරය ඝනකම් වීම ඇත්නම්, එය පසුව පිළිකාවක් දක්වා වර්ධනය විය හැක. ඔසප්වීමේදී අධිකව රුධිරය වහනය වීම, ඔසප් චක්‍ර දෙකක් අතරතුර රුධිර වහනය, සහ ආර්තවාභාවයෙන් පසුව රුධිර වහනය වීම, ගර්භාෂ ආස්තරය ඝනකම් වීම නිසා ඇතිවන ලක්ෂණ විය හැක.
  • නිතිපතා ව්‍යායාම කරන්න. එමගින් ශරීරයේ බර පාලනය වන අතරම, සිරුරේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම අඩුවේ.
  • සත්ත්ව මේදය අඩු, පළතුරු සහ එළවළු වැඩි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරුවන්න.

 

(ඡායාරූප අනුග්‍රහය: SupportPDX)

 

සබැඳි ලිපි:

පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ජීවිතය රැකගන්න.
ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?

 

© 2017, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත

වෛද්‍ය නාලක ප්‍රියන්ත ‘සුව සෙවන’ වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු දැනට සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස ජා-ඇළ දිස්ත්‍රික් රෝහලේ සේවය කරන අතර, ජා-ඇළ සුව දිවි මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයා ලෙසද කටයුතු කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ගර්භාෂයේ පිළිකා (Endometrial Cancer) ගැන ඔබ දැනුවත්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*


*

code