මුඛ පිළිකා රෝගයෙන් වැළකෙන්නේ කෙසේද?

මුඛ පිළිකා රෝගයෙන් වැළකෙන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ පිරිමින් අතර බහුලතම පිළිකා වර්ගය මුඛ පිළිකාව බව ඔබ දන්නවාද? සැබැවින්ම, මුඛ පිළිකා නිසා දවසකට අවම වශයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක්වත් මිය යයි. මුඛ පිළිකාව ඇතිවීම සඳහා අවදානම් සාධක ගණනාවක් ඇති අතර, මුඛ පිළිකා රෝගයෙන් වැළකිය හැක්කේ එම අවදානම් සාධක වලින් වැළකී සිටීමෙනි.

මුඛ පිළිකා රෝගය වැළඳීමට හේතුවන ප්‍රධාන අවදානම් සාධක මොනවාද?

  • බුලත් විට සැපීම.
  • පුවක්, පුවක් පැකට්, සහ වෙනත් පුවක් ආශ්‍රිත නිෂ්පාදන සැපීම.
  • දුම්පානය කිරීම (සිගරට්, බීඩි, සුරුට්ටු).
  • මත්පැන් පානය කිරීම.

මුඛ පිළිකා ඇතිවීමට හේතුවන අනෙකුත් අවදානම් සාධක මොනවාද?

  • පෝෂණ ඌණතා
  • අයහපත් මුඛ සෞඛ්‍යය
  • මානව පැපිලෝමා වෛරස් (Human Papillomavirus) ආසාදනය

පහත සඳහන් අයට මුඛ පිළිකා රෝගය වැළඳීමට වැඩි අවදානමක් පවතී. ඔබත් එවැනි අයෙක් නම්, වහාම ළඟම සිටින දන්ත වෛද්‍යවරයා හමුවී ඔබගේ මුඛය පරීක්ෂා කරගන්න.

  • දිනකට බුලත් විට 3 කට වඩා සපන අය.
  • දිනකට බුලත් විට 1-3 ක් අතර සපන, වයස අවුරුදු 30 ට වැඩි, පුරුද්දක් ලෙස දුම්පානය කරන සහ සතියකට වරක්වත් මත්පැන් පානය කරන අය.
  • දවසකට පුවක් පැකට් එකක්වත් සපන අය.

මුඛ පිළිකාවක් හටගැනීමට පෙර බොහෝවිට මුඛයේ පූර්ව පිළිකා ලක්ෂණ හෙවත් වෙනස්කම් දැකිය හැකිවේ. එවැනි පූර්ව පිළිකා ලක්ෂණ නම්:

  • මුඛයේ ඇති කල් පවතින, ඉවත්කල නොහැකි සුදු ලප.

මුඛ පිළිකා 1

  • කල් පවතින, ඉවත්කල නොහැකි රතු ලප.

මුඛ පිළිකා 2

  • කල් පවතින, ඉවත්කල නොහැකි සුදු සහ රතු මිශ්‍ර ලප.

මුඛ පිළිකා 3

  • මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක් සමග තොල් සහ ශ්ලේෂ්මලයේ (මුඛයේ පටක වල) ඝනවීමක්, රළුවීමක්, හෝ සුදුමැලි වීමක්.

මුඛ පිළිකා 4

  • මුඛයේ පවතින කාලයක් පවතින සුව නොවන තුවාළයක්.

මුඛ පිළිකා 5

තමා විසින්ම මුඛය පරීක්ෂා කරගැනීම මගින් මෙම පූර්ව පිළිකා ලක්ෂණ හෙවත් වෙනස්කම් පහසුවෙන් හඳුනාගත හැකිය. ඔබට එම ලක්ෂණ වලින් එකක් හෝ ඇත්නම්, වහාම ළඟම සිටින දන්ත වෛද්‍යවරයා හමුවීමට කටයුතු කරන්න.

තමා විසින්ම මුඛය පරීක්ෂා කරගැනීම හෙවත් ස්වයං මුඛ පරීක්ෂාවක් කලයුත්තේ කෙසේද?

මාසයකට වරක් තමා විසින්ම මුඛය පරීක්ෂා කරගත යුතුවේ. මේ සඳහා හොඳින් ආලෝකය ඇති ස්ථානයක් තෝරාගත යුතුය. මුලින්ම, ඔබේ දෑත් හොඳින් සබන් යොදා සෝදාගන්න. ඉන්පසු, කෘතිම දත් ඇඳි ඇත්නම් ඉවත් කරන්න. මුහුණ බලන කන්නාඩියක් භාවිතා කර ඔබේ මුහුණේ අසාමාන්‍යතාවයක් ඇත්දැයි පරීක්ෂා කරන්න. දෙවනුව පහත රූප වල සඳහන් වන ආකාරයට මුඛය ඇතුළත, මුහුණ බලන කන්නාඩිය ආධාරයෙන් හොඳින් පරීක්ෂා කරන්න.

  • ඇඟිළි වලින් තොල පිටතට පෙරලා, උඩු තොලේ සහ යටි තොලේ ඇතුළු පැත්ත පරීක්ෂා කරන්න.

මුඛ පිළිකා 6

  • මුඛය හොඳින් විවර කර කම්මුලේ ඇතුළත බිත්ති හොඳින් පරීක්ෂා කර බලන්න.

මුඛ පිළිකා 7

  • දිව පිටතට ඇද, දිවේ උඩ, යට, සහ දෙපැත්ත ආදී සෑම පැත්තක්ම හොඳින් පරීක්ෂා කර බලන්න.

මුඛ පිළිකා 8

  • දිව උඩු තල්ලේ ගාවා, දිවේ යටි පැත්ත සහ මුඛයේ පතුළ හොඳින් පරීක්ෂා කර බලන්න.

මුඛ පිළිකා 9

  • තවදුරටත් දිව එළියට දමා උඩු තල්ල හොඳින් පරීක්ෂා කරන්න. අවසාන වශයෙන් ගෙල දෙපස, ඉදිරිපස, සහ නිකටට යටින් පිරිමදිමින් වසා ගැටිති ඉදිමී ඇත්දැයි පරීක්ෂා කර බලන්න.

මුඛ පිළිකා රෝගයෙන් වැළකෙන්නේ කෙසේද?

  • බුලත් විට සැපීමෙන් වළකින්න.
  • පුවක් සහ බාබුල් හා පුවක් පැකට් වැනි පුවක් ආශ්‍රිත නිෂ්පාදන සැපීමෙන් වළකින්න.
  • දුම්පානය කිරීමෙන් සහ මත්පැන් පානය කිරීමෙන් වළකින්න.
  • යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගන්න.
  • එළවළු සහ පළතුරු සහිත සමබර, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න.
  • වසරකට වතාවක් දන්ත වෛද්‍යවරයෙක් ලවා මුඛය පරීක්ෂා කරගන්න.
  • මානසික ආතතිය පාලනය කරගනිමින් සැහැල්ලු ජීවිතයක් ගතකරන්න.

මූලාශ්‍රය: ජාතික පිළිකා මර්ධන වැඩසටහන

(ඡායාරූප අනුග්‍රහය: ජාතික පිළිකා මර්ධන වැඩසටහන සහ Elvert Barnes)

සබැඳි ලිපි:

පිළිකා රෝගය වළක්වාගැනීමට ඔබ කලයුත්තේ කුමක්ද?
සමේ පිළිකා ඕනෑම අයෙකුට වැළඳෙන්න පුලුවන්!
පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ජීවිතය රැකගන්න.
පිළිකා ඇතිවීම වළක්වා ගනිමු!
ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මුඛ පිළිකා රෝගයෙන් වැළකෙන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*