දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

දියවැඩියාව යනු නිට්ටාවට සුව කල නොහැකි රෝගයක් බැවින්, කලහැක්කේ රෝගය පාලනය කිරීම පමණි. එමෙන්ම, දියවැඩියාව යනු රෝගියාට තනිවම ප්‍රතිකාර කරගැනීමට නොහැකි සංකීර්ණ රෝගයකි. එමනිසා, ඔබේ වෛද්‍යවරයා දියවැඩියාව පාලනය කරගැනීම සඳහා ප්‍රතිකාර සැලසුමක් ලබාදෙනු ඇත. එය නිසි ලෙස අනුගමනය කිරීමෙන්, දියවැඩියාව නිසා ඇතිවිය හැකි සංකූලතා අවම කරගැනීමට හෝ වළක්වා ගැනීමට හැකියාව ලැබේ. සැබැවින්ම, දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීම තනි වෛද්‍යවරයෙකුගේ කාර්යයක් නොවේ. දියවැඩියා ප්‍රතිකාර සැලසුමකට කායික රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්, හෝමෝන සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්, පෝෂණවේදියෙක්, සහ අක්ෂි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළත් විය හැක.

දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීමේදී ඔබේ රුධිරගත සීනි මට්ටම පිළිබඳ දැඩි අවධානයක් යොමුකරන අතර, එය නිර්දේශිත ඉලක්කයට අනුකූල දැයි මාසිකව පරීක්ෂා කරනු ඇත. ඒ සඳහා ඖෂධ, ව්‍යායාම, බර පාලනය, සහ ආහාර සැලසුමක් නිර්දේශ කරනු ඇත. සැබැවින්ම, දියවැඩියාව පාලනය යනු ඖෂධ ගැනීමෙන් පමණක් කලහැකි ක්‍රියාවලියක් නොවේ. විශේෂයෙන්ම, ඔබ ගන්නා ආහාර පිළිබඳව හොඳ අවධානයකින් යුතුව කටයුතු කිරීම ඉතාම වැදගත් වේ. එසේ නොකලහොත්, රුධිරගත සීනි මට්ටම විශාල ලෙස අඩු වැඩි වෙමින් විචලනය වන අතර, එය අනවශ්‍ය ලෙස ඖෂධ මාත්‍රාවන් වෙනස් කිරීමකට මග පාදනු ඇත.

 

දියවැඩියාව පාලනය කිරීම සඳහා ඖෂධීය ප්‍රතිකාර නිර්දේශ කිරීමේ අභිමතාර්ථයන් මොනවාද?

  • දියවැඩියාව නිසා ඇතිවන රුධිරගත සීනි මට්ටම ඉහළ යාම සහ අනෙකුත් පරිවෘත්තීය අසාමාන්‍යතා නිවැරදි කිරීම.
  • දිගුකාලීනව රුධිරගත සීනි මට්ටම පාලනය කර, දියවැඩියාව නිසා ඇතිවිය හැකි දිගුකාලීන සංකූලතා හටගැනීම වැළැක්වීම සහ හැකිතරම් ප්‍රමාද කිරීම.
  • දියවැඩියාව සමග ඇතිවන අධික රුධිර පීඩනය, හෘත්වාහිනික රෝග (Cardiovascular disease or CVD), කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම වැනි අනෙකුත් ගැටළුකාරී බෝනොවන රෝග සහ තත්ත්ව හඳුනාගෙන ඒවාට නිසි ප්‍රතිකර්ම කිරීම.
  • ජීවිතයේ සහ මානසික සෞඛ්‍යයේ ගුණාත්මකභාවය පවත්වා ගැනීම.

 

දියවැඩියාව සඳහා ඖෂධීය ප්‍රතිකාර කිරීම මගින් රෝගියෙකු ලඟාවිය යුතු සහ පවත්වා ගත යුතු ඉලක්කයන් මොනවාද?

  • නිරාහාර ප්ලාස්මා සීනි මට්ටම (Fasting plasma sugar or FBS): 70-110 mg/dl
  • ආහාර ගැනීමට පෙර ප්ලාස්මා සීනි මට්ටම (Preprandial plasma sugar): 80-110 mg/dl
  • ආහාර ගැනීමෙන් පැය 2 කට පසු ප්ලාස්මා සීනි මට්ටම (Postprandial plasma sugar): 140 mg/dl ට වඩා අඩුවීම

 

දියවැඩියාව සඳහා ලබාදෙන ඖෂධ

ඔබට ඇත්තේ පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes mellitus) නම්, එසේ වන්නේ ඔබේ අග්න්‍යාශය සිරුරට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපදවීම නොකරන නිසා හෝ ඉන්සියුලින් නිපදවීම මුළුමනින්ම නතරවීම නිසාය. එවිට, සිරුරේ ඇති සෛල වලට අවශ්‍ය ශක්තිය නිපදවීම සඳහා රුධිරයේ ඇති සීනි (ග්ලූකෝස්) භාවිතා කිරීමට අපහසු වන අතර, එමගින් රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම සිදුවේ. මෙම ක්‍රියාවලිය පාලනය කිරීම සඳහා ඉන්සියුලින් හෝමෝනය නික්ෂේපණ ලෙස ලබාගැනීමට නිර්දේශ කරනු ඇත. ඉන්සියුලින් නික්ෂේපණ ලබාදීම සඳහා සිරින්ජයක් හෝ ඉන්සියුලින් විදින පෑනක් භාවිතා කල යුතුය. කෙසේ වුවත්, නිවසේදී ඉන්සියුලින් නික්ෂේපණ නිවැරදිව ලබාගැනීම හෝ ලබාදීම සඳහා අදාළ රෝගියා හෝ පවුලේ වෙනත් වැඩිහිටියෙකු නිසිලෙස පුහුණු විය යුතුය. ඒ සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඔබට සහාය වනු ඇත.

 

ඉන්සියුලින් නික්ෂේපණ ලබාගැනීමට නිර්දේශ කරන අවස්ථා මොනවාද?

  • පළමු වර්ගයේ දියවැඩියා රෝගීන් සැමට
  • මුඛයෙන් ලබාගන්නා දියවැඩියා ඖෂධ අසාර්ථක වන දෙවන වර්ගයේ දියවැඩියා (Type 2 diabetes mellitus) රෝගීන් සඳහා
  • දෙවන වර්ගයේ දියවැඩියා රෝගීන් සඳහා විශේෂ අවස්ථාවන් වලදී
  • ගර්භණී සමයේදී වැළඳෙන දියවැඩියාව (Gestational diabetes mellitus) සඳහා

 

නික්ෂේපණ සඳහා නිර්දේශ කරන ඉන්සියුලින් වර්ග මොනවාද?

  • ඉතා කෙටි-කාලීන ක්‍රියාකාරී ඉන්සියුලින් (Ultra-short acting insulin)
  • කෙටි-කාලීන ක්‍රියාකාරී ඉන්සියුලින් (Short acting insulin)
  • අතරමැදි-ක්‍රියාකාරී ඉන්සියුලින් (Intermediate acting insulin)
  • දිගු-කාලීන ක්‍රියාකාරී ඉන්සියුලින් (Long acting insulin)

ඉන්සියුලින් නික්ෂේපණ ලබාගැනීමට නිර්දේශ කිරීමේදී, ලබාගත යුතු ඉන්සියුලින් වර්ගය, මාත්‍රාව, දවසකට ලබාගත යුතු වාර ගණන රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ. ඔබට ගැලපෙන ඉන්සියුලින් වර්ගය, මාත්‍රාව, දවසකට ලබාගත යුතු වාර ගණන ඔබගේ රුධිරගත සීනි මට්ටම සහ අනෙකුත් සාධක මත ඔබේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ඇත.

 

ඉන්සියුලින් නික්ෂේපණ සඳහා ඇති සීමාවන් මොනවාද?

  • සමට යටින් (Subcutaneous) නික්ෂේපණය ලබාදිය යුතුවීම.
  • රුධිරගත සීනි මට්ටම ගැටළුකාරී ලෙස පහත වැටීමට අවදානමක් පැවතීම (Hypoglycaemia).
  • බර වැඩිවීම.
  • දිගුකාලීනව භාවිතා කිරීමේදී, නික්ෂේපණ ලබාදෙන ස්ථාන වල මේද පටක වැහැරීම (Lipoatrophy) හෝ පමණ ඉක්මවා වර්ධනය වීම (Lipohypertrophy) සිදුවිය හැක.
  • ඉතාමත් කලාතුරකින් ඉන්සියුලින් වලට අසාත්මිකතාවයක් (Allergy) ඇතිවිය හැක.

දෙවන වර්ගයේ දියවැඩියාව ඇති ඇතැම් අයගේ රුධිරගත සීනි මට්ටම, ආහාර පාලනය සහ ව්‍යායාම කිරීම මගින් පමණක් පාලනය කල නොහැකි වේ. එවැනි රෝගීන් සඳහා මුඛයෙන් ලබාගන්නා ඖෂධ සහ ඇතැම්විට ඉන්සියුලින් නික්ෂේපණ අවශ්‍ය වේ.

 

මෙට්ෆෝමින් (Metformin)

දෙවන වර්ගයේ දියවැඩියාව ඇති අයෙකුට ප්‍රතිකාර ආරම්භ කිරීමේදී, මුලින්ම ආරම්භ කරන්නේ මෙට්ෆෝමින් නැමැති ඖෂධයයි. මෙට්ෆෝමින් ලබාගැනීමට නොහැකි වන හේතු ඇති රෝගීන් සඳහා වෙනත් දියවැඩියා ඖෂධ ලබාදෙනු ඇත. නිරාහාර ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම (Fasting plasma glucose) 200 mg/dl ට වඩා වැඩි නම්, සාමාන්‍යයෙන් මෙට්ෆෝමින් සමග තවත් දියවැඩියා ඖෂධයක් නිර්දේශ කෙරේ. නිරාහාර ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම 300 mg/dl ට වඩා වැඩි නම්, ඖෂධ දෙකක් හෝ තුනක් හෝ ඉන්සියුලින් නික්ෂේපණ නිර්දේශ කරනු ඇත. දියවැඩියාව සමග උග්‍ර ලෙස රෝග ලක්ෂණ ඇත්නම් හෝ සංකූලතා මතුව ඇත්නම්, ප්‍රතිකාර ආරම්භ කිරීමේදීම ඉන්සියුලින් නික්ෂේපණ ලබාදීම සඳහා සලකා බලනු ඇත.

මෙට්ෆෝමින් ඖෂධය, අක්මාව විසින් ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය (Gluconeogenesis) අඩුකරන අතර, ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ඇති ප්‍රතිරෝධය (Insulin resistance) අඩුකරමින් රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට දායක වේ. මෙට්ෆෝමින් ඖෂධය ලබාගැනීමේදී ඇතිවන වාසි ලෙස බර වැඩි නොවීම, ගැටළුකාරී ලෙස රුධිරගත සීනි මට්ටම අඩුවීමට ඇති අවස්ථා අඩුවීම, සහ හෘද රෝග හටගැනීමට ඇති අවදානම අඩුවීම දැක්විය හැක. මෙට්ෆෝමින් ගැනීමේදී ඇතිවිය හැකි අතුරු ආබාධ කිහිපයක් ලෙස දියර ලෙස මළපහ පිටවීම, ආහාර අරුචිය, සහ උදරයේ වේදනාව දැක්විය හැක.

 

Sulphonylurea කාණ්ඩයේ ඖෂධ

බොහෝවිට, මෙට්ෆෝමින් සමග දෙවන ඖෂධයක් ලබාගැනීමට නිර්දේශ කිරීමේදී, දෙවන ඖෂධය ලෙස තෝරාගන්නේ Sulphonylurea කාණ්ඩයේ ඖෂධයක් ය. ඒ සඳහා උදාහරණ ලෙස ටොල්බියුටමයිඩ් (Tolbutamide), ග්ලිබෙන්ක්ලමයිඩ් (Glibenclamide), ග්ලික්ලසයිඩ් (Gliclazide), ග්ලිපිසයිඩ් (Glipizide), ග්ලිමෙපිරයිඩ් (Glimepiride) වැනි ඖෂධ දැක්විය හැක. මෙම කාණ්ඩයේ ඖෂධ අග්න්‍යාශයේ ඉන්සියුලින් හෝමෝන නිෂ්පාදනය ඉහළ දැමීමෙන් රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට දායක වේ. එමෙන්ම, ඇසේ දෘශ්ටිවිතානයට හානිවීමෙන් පෙනීම දුර්වල වීම (Retinopathy), වකුගඩු රෝග (Nephropathy), සහ ස්නායු දුර්වල වීම (Neuropathy) වැනි කුඩා රුධිර වාහිනී වල ඇතිවන වෙනස්වීම් නිසා ඇතිවන සංකූලතා (Microvascular complications) හටගැනීමට ඇති අවදානම අඩුකිරීමට මෙම කාණ්ඩයේ ඖෂධ වලට හැකියාව ඇත.

Sulphonylurea කාණ්ඩයේ ඖෂධ ගැනීමේදී ඇතිවිය හැකි අවාසි සහ අතුරු ආබාධ කිහිපයක් ලෙස බර වැඩිවීම, ගැටළුකාරී ලෙස රුධිරගත සීනි මට්ටම අඩුවීමට ඇති හැකියාව, සහ ක්‍රියාකාරී වන කාලය සාපේක්ෂව අඩුවීම දැක්විය හැක.

 

Thiazolidinediones කාණ්ඩයේ ඖෂධ

මෙම කාන්ඩයේ ඖෂධ වලට උදාහරණ ලෙස පයෝග්ලිටසෝන් (Pioglitazone) සහ රොසිග්ලිටසෝන් (Rosiglitazone) දැක්විය හැක. මෙම ඖෂධ, සිරුර මගින් ඉන්සියුලින් හෝමෝනය භාවිතා කිරීමේ ක්‍රියාවලිය වැඩිදියුණු කර රුධිරගත සීනි මට්ටම පාලනය කිරීමට දායක වේ. ගැටළුකාරී ලෙස රුධිරගත සීනි මට්ටම අඩු නොවීම, දිගු වේලාවක් ක්‍රියාකාරී වීම, ශරීරයට හිතකර HDL කොලෙස්ටරෝල් මට්ටම ඉහළ දැමීම හා අහිතකර ට්‍රයිග්ලිසරයිඩ් (Triglycerides) කොලෙස්ටරෝල් මට්ටම පහත දැමීම, සහ හෘද රෝග වැළඳීමට ඇති අවදානම පහත වැටීම මෙම කාණ්ඩයේ ඖෂධ ගැනීමේදී ඇතිවන වාසි කිහිපයක් ලෙස දැක්විය හැක.

Thiazolidinediones කාණ්ඩයේ ඖෂධ ගැනීමේදී ඇතිවීමට ඉඩ ඇති අවාසි සහ අතුරු ආබාධ අතර බර වැඩිවීම, සිරුර මදක් ඉදිමීම, හෘද අකර්මණ්‍යතාව (Heart failure) ඇතිවීමට ඉඩක් පැවතීම, සහ අස්ථි බිඳුම් හටගැනීමට ඇති අවදානම මදක් වැඩිවීම පවතී. කෙසේ වුවත්, මෙම අතුරු ආබාධ Thiazolidinediones කාණ්ඩයේ ඖෂධ ලබාගන්නා සෑම විටෙකම ඇතිවන බවක් එයින් අදහස් නොවේ.

 

Alpha-glucosidase inhibitors කාණ්ඩයේ ඖෂධ

Alpha-glucosidase inhibitors කාණ්ඩයේ ඖෂධයකට උදාහරණයක් ලෙස ඇකාබෝස් (Acarbose) හැඳින්විය හැක. මෙම කාණ්ඩයේ ඖෂධ මගින් සිදුකරන්නේ ආහාර ජීර්ණ පද්ධතිය තුළදී කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වීම අඩුකර ඒවා සීනි ලෙස රුධිරයට උරාගැනීම අඩුකිරීමයි. මෙම ඖෂධ කාණ්ඩය ගැනීමේ ඇති වාසි වන්නේ ගැටළුකාරී ලෙස රුධිරගත සීනි මට්ටම අඩුවීමට ඇති හැකියාව අවම වීම, ආහාර වේලකට පසුව රුධිරගත සීනි මට්ටම බොහෝ සෙයින් ඉහළ යාම පාලනය වීම, සහ හෘද රෝග හටගැනීමට ඇති අවදානම අඩුවීමයි. Alpha-glucosidase inhibitors කාණ්ඩයේ ඖෂධ නිසා ඇතිවිය හැකි අතුරු ආබාධ සහ අවාසි ලෙස බඩ පුරවා දැමීම, දියර ලෙස මළපහ පිටවීම, සහ දවසකට ගතයුතු වාර ගණන සාපේක්ෂව වැඩිවීම දැක්විය හැක.

 

DPP-4 inhibitors කාණ්ඩයේ ඖෂධ

DPP-4 inhibitors කාණ්ඩයේ ඖෂධ ලෙස සිටාග්ලිප්ටින් (Sitagliptin), විල්ඩාග්ලිප්ටින් (Vildagliptin), සැක්සාග්ලිප්ටින් (Saxagliptin), ලිනාග්ලිප්ටින් (Linagliptin), සහ ඇලොග්ලිප්ටින් (Alogliptin) දැක්විය හැක. මෙම කාණ්ඩයේ ඖෂධ මගින් අග්න්‍යාශයේ සිදුවන ඉන්සියුලින් නිෂ්පාදනය වැඩිකිරීම හෝ රුධිරගත ඉන්සියුලින් මට්ටම වැඩිකිරීම සහ/හෝ අක්මාවේ සිදුවන සීනි නිෂ්පාදනය අඩුකිරීම සිදුකරයි. මෙම ඖෂධ ගැනීමේදී ලැබෙන වාසි අතර ගැටළුකාරී ලෙස රුධිරගත සීනි මට්ටම අඩු නොවීම, අතුරු ආබාධ අවම වීම, සහ බර වැඩි නොවීම දැක්විය හැක.

 

(ඡායාරූප අනුග්‍රහය: Catarina Oberlander)

 

සබැඳි ලිපි:

ඔබටත් දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවාද?
දියවැඩියාව (Diabetes mellitus) යනු කුමක්ද?
දියවැඩියාව රෝග විනිශ්චය කරන්නේ කොහොමද?
දෙවන වර්ගයේ දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?
දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?
දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා පිළිබඳව දැනුවත් වෙමු.

 

© 2017, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු දැනට සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස ජා-ඇළ දිස්ත්‍රික් රෝහලේ සේවය කරන අතර, ජා-ඇළ සුව දිවි මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයා ලෙසද කටයුතු කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

2 Comments on "දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?"

  1. දියවැඩියාව සදහා කැම මසික සැලසුම් දෙන්න

    • වෛද්‍ය නාලක ප්‍රියන්ත | August 1, 2017 at 3:24 pm | Reply

      දියවැඩියාව රෝගියෙකු ආහාර ගතයුත්තේ කෙසේද යන්න පිළිබඳ ලිපියක් ඉදිරියේදී පලකිරීමට අදහස් කරමි.

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*


*

code