ඔබේ බර වැඩිවීමට හේතුවන විස්මිත හේතු

ඔබේ බර වැඩිවීමට හේතුවන විශ්මිත හේතු

ඔබ ආහාර මගින් ගන්නා කැලරි ප්‍රමාණය වැඩිකලහොත් සහ ව්‍යායාම හෝ වෙනත් ශාරීරික ක්‍රියාකාරකම් කරන කාලය අඩුකලහොත්, ඔබේ බර වැඩිවීම පිළිබඳව පුදුම වීමට අවශ්‍ය නැත. නමුත්, ඔබ ගන්නා ආහාර ප්‍රමාණය සහ ව්‍යායාම කරන කාලය සාමාන්‍ය පරිදි වෙනස් නොවී තිබියදීත්, ඔබේ බර වැඩිවෙනවා නම්, එය තරමක් අසාමාන්‍ය දෙයක් වීමට ඉඩ ඇත. එවන් විටෙක, යම් අසාමාන්‍ය දෙයක් තිබේදැයි හඳුනාගැනීම සඳහා මදක් ගැඹුරෙන් සිතා බැලිය යුතුය. එසේ ඔබේ බර වැඩිවීමට හේතුවිය හැකි විස්මය ජනක හේතු කිහිපයක් පිළිබඳව මෙම ලිපියෙන් විමසා බලමු.

නින්ද නොයාම

නින්ද යාමේ රටාව සහ බර වැඩිවීම අතර සම්බන්ධය ආකාර දෙකකි. ඔබ දිනපතා නින්දට යාමට ප්‍රමාද වනවා නම්, රාත්‍රියේදී කෙටි ආහාර පාන ගැනීමට ඇති නැඹුරුතාවය වැඩිවේ. එනම්, ඔබ ලබාගන්නා කැලරි ප්‍රමාණය නොදැනුවත්වම ඉහළයාම සිදුවේ. එමෙන්ම, ඔබ නිදි වැරීමට පුරුදුව සිටිනවා නම්, සිරුරේ හෝමෝන ක්‍රියාකාරීත්වයේ අසමතුලිතතා ඇතිවන අතර, එමගින් කුසගින්න සහ ආහාර රුචිය වැඩිවීම සිදුවේ. එවිට, ආහාර වේලක් ගැනීමෙන් පසුව ඉතා ඉක්මනින්ම නැවත කුසගින්න හටගැනීම දැකිය හැක.

මානසික ආතතිය

ජීවිතයේ බළාපොරොත්තු සහ අභියෝග වැඩිවන විට, මානසික ආතතිය වැඩිවන අතර, ඔබේ සිරුර තුළ ශ්‍රාවය වන ආතති හෝමෝනයක් (Stress hormone) වන කෝටිසෝල් (Cortisol) මට්ටම ඉහළ යෑම සිදුවේ. එහි ප්‍රතිඵලය වන්නේ ඔබේ ආහාර රුචිය වැඩිවීමයි. එමෙන්ම, මානසික ආතතියෙන් පෙළෙන විට ඔබ කැලරි අගය වැඩි නිශ්ඵල ආහාර (Junk foods) සඳහා යොමුවීමට ඇති ඉඩකඩ ද ක්‍රමයෙන් වැඩිවේ. කෙසේ වුවත්, මෙම ක්‍රියාවලි දෙකෙන්ම සිදුවන්නේ බර වැඩිවීමය.

ප්‍රතිවිශාද ඖෂධ (Antidepressants)

විශාදය (Depression) සමනය කිරීම සඳහා නිර්දේශ කරන ඇතැම් ප්‍රතිවිශාද ඖෂධ වල දැකිය හැකි එක් අතුරු ඵලයක් වන්නේ බර වැඩිවීමයි. ඔබ දැනට ලබාගන්නා ප්‍රතිවිශාද ඖෂධ නිසා ඔබේ බර වැඩිවන බව ඔබට වැටහේ නම්, ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ලබාගන්නා ප්‍රතිකාර වල වෙනස්කම් සිදුකර ගන්න. කෙසේ වුවත්, වෛද්‍ය උපදෙස් ලබාගැනීමෙන් තොරව ඔබගේ තනි මතයට ඔබ ලබාගන්නා ඖෂධ නැවැත්වීම හෝ වෙනස් කිරීම කිසිවිටෙකවත් නොකල යුතු බව මතකයේ තබාගන්න. ඇතැම් විට ප්‍රතිවිශාද ඖෂධ ලබාගැනීම ආරම්භ කිරීමෙන් පසුව ඇතැම් අයගේ බර වැඩිවන්නේ ඖෂධ වල අතුරු ඵලයක් නිසා නොවේ. මානසික තත්ත්වය ක්‍රමයෙන් යහපත් වීමේදී ආහාර රුචිය වර්ධනය වීමෙන් බර මදක් වැඩිවීමට ඉඩ ඇත. එමෙන්ම, විශාදය නිසාම බර අඩුවීම හෝ වැඩිවීම සිදුවනු දැකිය හැක.

ස්ටෙරොයිඩ් (Steroid) ඖෂධ

ප්‍රෙඩ්නිසොලෝන් (Prednisolone) වැනි ස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධ නිතිපතා භාවිතය උග්‍ර ලෙස බර වැඩිවීමට හේතුවිය හැක. ඒ සඳහා ප්‍රධාන හේතූන් දෙක වන්නේ සිරුරේ රැඳෙන දියර ප්‍රමාණය වැඩිවීම සහ ආහාර රුචිය වැඩිවීමය. නිතිපතා ස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබාගන්නා අයගේ තවත් අත්දැකීමක් වන්නේ, මුහුණේ, උදරයේ, සහ ගෙල පිටුපස අමතර මේදය තැන්පත් වීමයි. ඔබ සතියකට වඩා වැඩි කාලයක් ස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ලබාගත්තේ නම්, එය එකවරම නැවැත්වීම දරුණු ප්‍රතිඵල ඇතිවීමට හේතුවිය හැක. එවැනි ඖෂධ වල මාත්‍රාව ක්‍රමයෙන් අඩුකරමින් නැවැත්වීම සඳහා වෛද්‍ය උපදෙස් ලබාගන්න.

වෙනත් ඖෂධ

ඖෂධ ගණනාවක්ම සිරුරේ බර වැඩිවීම සඳහා හේතු විය හැක. ඒ අතර භින්නෝන්මාදය (Schizophrenia) හා ද්වීධ්‍රැව ආබාධය (Bipolar disorder) වැනි මානසික රෝග, ඉරුවාරදය (Migraine), අපස්මාරය (Epilepsy), අධික රුධිර පීඩනය, සහ දියවැඩියාව සඳහා නිර්දේශ කරන ඇතැම් ඖෂධ පවතී. එබැවින්, ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර රෝග ලක්ෂණ සමනය වන පරිදි සහ අතුරු ආබාධ අවම වන පරිදි ප්‍රතිකාර වෙනස් කරගැනීම වැදගත් වේ.

පවුල් සැලසුම් පෙති

ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටොජන් යන කාන්තා හෝමෝන දෙකෙහි මිශ්‍රණයක් පවතින මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති (Combined oral contraceptive pills or COCP) ගැනීම බර වැඩිවීම සඳහා හේතුවන බවට ප්‍රසිද්ධ මතයක් පවතී. උදාහරණය වශයෙන්, “මිතුරි” ගිලින පෙති ගැනීම දැක්විය හැක. කෙසේ වුවත්, මිශ්‍ර ගිලින පවුල් සැලසුම් පෙති දිගුකාලීනව බර වැඩිවීම සඳහා හේතුවක් බව පර්යේෂණ මගින් තහවුරු වී නොමැත. එම පවුල් සැලසුම් පෙති ගන්නා ඇතැම් කාන්තාවන්ගේ බර වැඩිවීම සඳහා සැබෑ හේතුව වන්නේ සිරුරේ රඳන ජලය ප්‍රමාණය වැඩිවීමයි. එම ක්‍රියාවලිය දිගුකාලීනව සිදුවන එකක් නොවේ. කෙසේ වුවත්, බර වැඩිවීම පිළිබඳව ඔබට ගැටළුවක් ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම වඩාත් උචිත වේ.

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම (Hypothyroidism)

තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුවීම නිසා නිපදවන තයිරොයිඩ් හෝමෝන ප්‍රමාණය අඩුවීමෙන්, ඔබට වෙහෙසකර බව, දුර්වල බව, සීතල බව, සහ බර වැඩිවීම ඇතිවිය හැක. තයිරොයිඩ් හෝමෝන ප්‍රමාණය අඩුවීම ඔබේ සිරුරේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල සීඝ්‍රතාවය (Metabolic rate) අඩුකරන බැවින්, එදිනෙදා භාවිතා කරන කැලරි ප්‍රමාණය අඩුවේ. එය ක්‍රමයෙන් බර වැඩිවීමට හේතුවකි. ඇතැම් විට, තයිරොයිඩ් ග්‍රන්ථියේ සාමාන්‍ය ක්‍රියාකාරී පරාසය තුළ අවම මට්ටමෙන් ක්‍රියාකාරී වීම පවා බර වැඩිවීමට හේතුවිය හැක. තයිරොයිඩ් ග්‍රන්ථියේ අඩු ක්‍රියාකාරීත්වය සඳහා නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන්, වැඩි වූ බර යම් ප්‍රමාණයකට අඩු කරගැනීමට හැකියාව ලැබේ.

ආර්තවාභාවය (Menopause)

ආර්තවාභාවය හෙවත් මාසික ඔසප්වීම ස්ථිර ලෙස නතරවීම නිසා ඇතැම් කාන්තාවන්ගේ බර වැඩිවනු දැකිය හැක. විශේෂයෙන්ම, මෙය ආර්තවාභාවය සිදුවූ මුල් කාලයේදී සිදුවේ. නමුත්, එසේ වීමට එකම හේතුව ආර්තවාභාවය සමග ඇතිවන හෝමෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් පමණක් නොවේ. වයස්ගත වීමත් සමග පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල සීඝ්‍රතාවය ක්‍රමයෙන් අඩුවීම ද බර වැඩිවීම සඳහා දායකත්වයක් දක්වන අතර, ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම වැනි ජීවන රටාවේ වෙනස්වීම් ද බර වැඩිවීමට හේතුවේ. නමුත්, ආර්තවාභාවය වීමත් සමගම බර වැඩිවීම සිදුවුවහොත්, අමතර මේදය තැන්පත් වන රටාව සමග ආර්තවාභාවයේ සම්බන්ධයක් තිබිය හැක. එහිදී, බොහෝවිට අමතර මේදය තැන්පත් වන්නේ උකුල සහ කලවා ප්‍රදේශ වලට වඩා ඉණ ප්‍රදේශයේය.

කුෂින්ගේ සහලක්ෂණය (Cushing’s syndrome)

සිරුර තුළ දිගුකාලීනව කෝටිසෝල් නැමැති ආතති හෝමෝනයේ ක්‍රියාකාරීත්වය වැඩිවීම නිසා කුෂින්ගේ සහලක්ෂණය ඇතිවිය හැක. එමෙන්ම, ඇදුම, සන්ධි ප්‍රදාහය (Arthritis), හෝ ලූපසය (Lupus) වැනි රෝග සඳහා දිගුකාලීනව ස්ටෙරොයිඩ් කාණ්ඩයේ ඖෂධ ගැනීමෙන්ද කුෂින්ගේ සහලක්ෂණය ඇතිවිය හැක. මෙම රෝගය සමග ප්‍රධාන වශයෙන් බර වැඩිවීම සිදුවන අතර, වෙනත් අසාමාන්‍යතා සහ රෝග ලක්ෂණද ඇතිවේ. ඔබේ අධිවෘක්ක ග්‍රන්ථි (Adrenal glands) වල අසාමාන්‍යතාවයක් හෝ ගැටිත්තක් නිසා වැඩිපුර කෝටිසෝල් හෝමෝනය නිපදවීමක් සිදුවුවහොත්, එමගින් ද කුෂින්ගේ සහලක්ෂණය හටගැනීමට හැකියාව පවතී. මෙහිදී, බර වැඩිවීම විශේෂයෙන්ම සිදුවන්නේ මුහුණ, බෙල්ල, පිටේ ඉහළ ප්‍රදේශය, හෝ ඉණ ප්‍රදේශයේය.

බහු-කෝෂ්ඨ ඩිම්භාධාර සහලක්ෂණය (Polycystic ovary syndrome or PCOS)

PCOS තත්ත්වය ගැබ් දැරීමට හැකි වයසේ සිටින කාන්තාවන් අතර බහුලව දැකිය හැකි හෝමෝන අසමතුලිතතාවයන් සමග ඇතිවන තත්ත්වයකි. මෙහිදී, ඩිම්බ කෝෂ වල දියර සහිත බුබුළු ආකාරයට කෝෂ්ඨ ඇතිවන අතර, ඔසප්වීම අක්‍රමවත් වීම හෝ නැවතීම, සිරුරේ අසාමාන්‍ය ලෙස රෝම වර්ධනය වීම, සහ කුරුළෑ හටගැනීම දැකිය හැක. මෙම තත්ත්වය ඇති කාන්තාවන්ගේ සිරුර ඉන්සියුලින් නැමැති රුධිරයේ සීනි මට්ටම පාලනය කරන හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් (Insulin resistance) දක්වයි. එමනිසා, ක්‍රමයෙන් බර වැඩිවීම සිදුවේ. බොහෝ විට අමතර මේදය තැන්පත් වන්නේ උදරයේ බැවින්, PCOS තත්ත්වය ඇති කාන්තාවන්ට හෘද රෝග වැළඳීමට වැඩි අවදානමක් පවතී.

දුම්පානය නතර කිරීම

සුවැති දිවියක් සඳහා කලහැකි වැදගත්ම කාර්යයක් ලෙස දුම්පානය නතර කිරීම දැක්විය හැක. කෙසේ වුවත්, දුම්පානය නතර කිරීමත් සමග සිරුරේ බර මද ප්‍රමාණයකින් වැඩිවීම සිදුවිය හැක. සාමාන්‍යයෙන්, දුම්පානය නතර කිරීමත් සමග සිරුරේ බර කිලෝග්‍රෑම් 5 කට වඩා අඩු ප්‍රමාණයකින් වැඩිවීම සිදුවේ. කෙසේ වුවත්, දුම්පානය නතර කිරීමෙන් සති කිහිපයකට පසුව කුසගින්න වැඩිපුර දැනීම ක්‍රමයෙන් අඩුවීමත් සමග වැඩිවූ බර යලි අඩු කරගැනීම පහසු වේ.

ඔබේ බර වැඩිවෙනවා නම්…

ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීමෙන් තොරව ඔබ දැනට ගන්නා කිසිඳු ඖෂධයක් නැවැත්වීමෙන් වළකින්න. ඔබ ගන්නා ඖෂධයේ වැදගත්කම නිසි ලෙස වටහා ගන්න. ඇතැම් විට, එය ඔබේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇතිකරන ඖෂධයක් විය හැකි අතර, එහි අතුරු ඵලයක් ලෙස බර වැඩිවීම සිදුවනවා විය හැක. කෙසේ වුවත්, ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීමට කටයුතු කිරීම ඉතාම වැදගත් වේ.

එකම වර්ගයේ ඖෂධ ලබාගන්නා වෙනත් අය සමග ඔබව සංසන්දනය කිරීමෙන් වළකින්න. එකම ඖෂධයට එක් එක් පුද්ගලයන් තුළ ඇතිවන අතුරු ප්‍රතිඵල කිසිවිටෙක සමාන නොවේ. උදාහරණයක් වශයෙන්, යමෙකුට බර අඩුකර ගැනීමට හේතුවන ඖෂධයක් තවකෙක් තුළදී එලෙසම ක්‍රියාකාරී නොවීමට ඉඩ ඇත.

සිරුරේ රඳන ජලය ප්‍රමාණය වැඩිවීමෙන් බර වැඩිවීම දිගුකාලීනව නොපවතින අතර, එසේ බර වැඩිවන්නේ අමතර මේදය තැන්පත් වීම නිසා නොවේ. ඖෂධයක් ගැනීම නිසා එසේ වේ නම්, ප්‍රතිකාර ගෙන අවසන් වූ විට ඔබේ බර ක්‍රමයෙන් අඩුවනු ඇත. එමනිසා, බර වැඩිවීම අවම කරගැනීම සඳහා අදාළ කාලය තුළ ආහාරයට ගන්නා ලුණු ප්‍රමාණය අඩුකිරීම වැදගත් වේ.

යම් ඖෂධයක් නිසා බර වැඩිවේ නම්, ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න. බොහෝවිට, එවැනි අතුරු ආබාධ රහිත විකල්ප ඖෂධයක් නිර්දේශ කිරීමට ඔබේ වෛද්‍යවරයාට හැකිවනු ඇත.

ඔබේ බර වැඩිවන්නේ සිරුරේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල සීඝ්‍රතාවය අඩුවීම, රෝග තත්ත්වයක්, හෝ ඖෂධයක් නිසාවෙන් නම්, බර අඩුකරගැනීම සඳහා විකල්ප උපක්‍රමයක් ලෙස සක්‍රීය ජීවන රටාවක් ඇතිකර ගැනීමට උත්සුක වන්න. එමගින්, ඔබේ පරිවෘත්තීය ප්‍රතික්‍රියා වල සීඝ්‍රතාවය වැඩි කරගෙන, බර අඩුකරගැනීමට හැකියාව ලබෙනු ඇත.

(ඡායාරූප අනුග්‍රහය: Morgan)

සබැඳි ලිපි:

ඇතැම් අයගේ බර වේගයෙන් වැඩිවන්නේ ඇයි?
කොතරම් ව්‍යායාම කලත් බඩ අඩුවෙන්නේ නැත්තේ ඇයි?
බර අඩුකරගෙන යනවිට යම් මට්ටමකදී සිරවුවහොත් කුමක් කල යුතුද?
බර පාලනය කිරීමට අප උනන්දු නොවන්නේ ඇයි?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඔබේ බර වැඩිවීමට හේතුවන විස්මිත හේතු" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*