දරුවාට අසාත්මිකතාවයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

දරුවාට අසාත්මිකතාවයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

අසාත්මිකතාවයක් (Allergy) යනු සාමාන්‍යයෙන් හානිකර නොවන යම් සංයෝගයකට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Immune system) සටන් කිරීමේදී ඇතිවන ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැක. මෙහිදී, එවැනි සංයෝග ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් සිරුරට හානිකිරීමට පැමිණි ද්‍රව්‍යයන් ලෙස වටහාගැනීමක් සිදුවේ. අසාත්මිකතාවයක් උද්දීපනය කරන එවැනි සංයෝග අසාත්මිකාරක (Allergen) ලෙස හැඳින්වේ. ඇතැම් ආහාර, ඖෂධ, කෘමි දෂ්ට කිරීම්, පරාග, දූවිලි කීඩෑවන්, විවිධ රසායන ද්‍රව්‍ය වැනි දේවල් අසාත්මිකාරක ලෙස ක්‍රියාකල හැක. ඇතැම් ද්‍රව්‍ය වලට පළමු වරට නිරාවරණය වීමේදීම අසාත්මිකතා ඇතිවිය හැකි අතර, මුලින් නිරාවරණය වීමේදී ගැටළුවක් ඇති නොවූ ඇතැම් ද්‍රව්‍ය වලට පසුව අසාත්මිකතාවයන් ඇතිවනු දැකිය හැක. කෙසේ වුවත්, බොහොමයක් අසාත්මිකතා උග්‍ර ගැටළු ඇති නොකරන අතර, ඇතැම් අසාත්මිකතා උග්‍ර සහ ජීවිතයට හානිකර විය හැකි මට්ටමේ ඒවා වීමට පුළුවන. එමනිසා, උග්‍ර අසාත්මිකතාවයක් ඇතිවන බව හැඟුනහොත්, ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවීම වැදගත් වේ. සැබැවින්ම, ඔබේ දරුවාට අසාත්මිකතාවයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

අසාත්මිකතාවයකදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

මද අසාත්මිකතාවයකදී පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක.

  • කැසීම
  • සමේ රතුපැහැ පලු මතුවීම
  • මදක් ඉදිමුනු ස්වභාවයක් ඇතිවීම
  • නාසයෙන් දියර ගැලීම
  • කිවිසුම් යෑම
  • ඇස් කැසීම සමග කඳුලු ගැලීම
  • සමේ රතුපැහැයට හුරු එසවුනු ස්ථාන හෝ ලප ඇතිවීම

දරුණු අසාත්මිකතාවයකදී ඉහත රෝග ලක්ෂණ සමග හෝ නොමැතිව හෝ පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක.

  • තොල්, මුඛය, හෝ දිව ඉදිමීම.
  • ගිලීමට අපහසුවීම
  • කතා කිරීමට අපහසුවීම
  • ඇදුම හෙවත් හතිය ස්වභාවයක් ඇතිවීම හෝ හුස්ම ගැනීමට අපහසුවීම
  • උදරයේ වේදනාව, ඔක්කාරය, වමනය, හෝ දියර ලෙස මළපහ පිටවීම
  • කරකැවිල්ල හෝ ක්ලාන්තය

ඔබේ දරුවාට අසාත්මිකතාවයක් ඇතිවූ විට ඔබ කලයුත්තේ කුමක්ද?

මද අසාත්මිකතාවයකට වඩා වැඩි රෝග ලක්ෂණ ඔබේ දරුවාට ඇත්නම් හෝ අසාත්මිකතාවය ඇති ඔබේ දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතු යැයි ඔබට හැඟෙන ඕනෑම අවස්ථාවක දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමට පසුබට වෙන්න එපා. එමෙන්ම, දරුණු අසාත්මිකතාවයකදී ඇතිවන රෝග ලක්ෂණ ඔබේ දරුවාට ඇත්නම්, හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරන්න.

ඔබේ දරුවාට අසාත්මිකතාවයක් ඇතිවීම වැළැක්වීමට කුමක් කල යුතුද?

සාමාන්‍යයෙන්, අසාත්මිකතාවයන් ඇතිකිරීමට නිතර හේතුවන සංයෝග වලට ඔබේ දරුවා නිරාවරණය වීමෙන් වළක්වන්න. ඔබේ දරුවාට අසාත්මික වන ආහාර හෝ ඖෂධ යලි කිසිදිනෙක ලබාදීමෙන් වළකින්න. වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා සෑම අවස්ථාවකදීම, ඔබේ දරුවා අසාත්මික වන ආහාර, ඖෂධ, හෝ සංයෝග පිළිබඳව වෛද්‍යවරයාට පැවසීමට වග බලාගන්න. යම් ඖෂධයකට ඔබේ දරුවා අසාත්මික වූයේ නම්, ඒ පිළිබඳ සටහනක් වෛද්‍යවරයාගෙන් ලබාගෙන ප්‍රවේශම් කර ලඟ තබාගන්න. නැවත වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන සෑම අවස්ථාවකදීම එම සටහන වෛද්‍යවරයාට පෙන්වන්න.

(ඡායාරූප අනුග්‍රහය: Andrew Goloida)

සබැඳි ලිපි:

නැපි කුෂ්ඨ (Nappy Rash) ඔබේ දරුවාටත් කරදරයක්ද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාට අසාත්මිකතාවයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*