දරු පිළිසිඳ ගැනීමකට සූදානම් වන ඔබට

දරු පිළිසිඳ ගැනීමකට සූදානම් වන ඔබට

මවක් වීම, විවාහක තරුණ කාන්තාවකගේ සිහින වලින් එකක් යැයි පැවසුවහොත් එය නිවැරදියි. නමුත්, දරු පිළිසිඳ ගැනීමකටත් පෙර සූදානම් වීමක් තිබීම ඉතාම වැදගත් බව ඔබ දන්නවාද? ඔබ මවක් වීමට බලාපොරොත්තු වන්නේ නම්, ඔබ දැනගත යුතු සහ අනුගමනය කල යුතු වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව පැහැදිලි කිරීමටයි මෙම ලිපිය පලකරන්නේ.

දරු පිළිසිඳ ගැනීමකට සුදුසුම වයස සහ කාලය කුමක්ද?

තරුණියක් වයස අවුරුදු 18 ක් වීමට පෙර ගැබ්ගැනීම එතරම් හිතකර නොවේ. මක්නිසාද, වයස අවුරුදු 18 ක් සම්පූර්ණ වීමට පෙර ගැහැණු දරුවෙක් දරු පිළිසිඳ ගැනීමකට ශාරීරිකව සහ මානසිකව වර්ධනය වී නැහැ. එමෙන්ම, වයස අවුරුදු 18 කට පෙර ගැබ්ගැනීමක් සිදුවුවහොත්, ගර්භණී සමයේදී සහ දරු ප්‍රසූතියේදී සංකූලතා හටගැනීමට වැඩි අවදානමක් පවතී. වයස අවුරුදු 35 ට වඩා වැඩි කාන්තාවකට ද ගැබ්ගැනීම සමග විවිධ රෝග වැළඳීමට ඇති අවදානම වැඩිවේ. ඒ අතර, ගර්භණී සමයේදී ඇතිවන දියවැඩියාව (Gestational diabetes), අධික රුධිර පීඩනය (Pregnancy induced hypertension) වැනි සංකූලතා පවතී. එමෙන්ම, දරුවාගේ අසාමාන්‍ය තත්ත්වයන් හටගැනීමට ඇති අවදානමත් මවගේ වයස වැඩිවත්ම ක්‍රමයෙන් වැඩිවන බව දැකිය හැක. ඒ නිසා දරුවෙක් බිහිකිරීමට සුදුසු වයස පරාසය ලෙස අවුරුදු 18-35 දැක්විය හැක.

මෙහි සඳහන් කරුණු සැලකිල්ලට ගෙන උපදෙස් අනුගමනය කිරීමෙන් පසු, ඔබ නිරෝගී නම් දරු පිළිසිඳ ගැනීමකට උත්සාහ කල හැක. ඔබේ ඔසප් චක්‍රය සිදුවන දින ගණන සහ අවසානයට ඔසප්වීම ආරම්භ වූ දිනය දන්නේ නම්, ඩිම්බයක් මෝචනය වන දිනය දළ වශයෙන් අනුමාන කරන්න පුලුවන්. එමගින්, ඔබේ සරු කාලය (Fertile period) ගණනය කර එම කාලය තුළ ලිංගිකව එක්වීමෙන් දරු පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව වැඩිවේ.

ඔබේ වෛද්‍යවරයා හමුවන්න.

ඔබ දරු පිළිසිඳ ගැනීමකට පසුව ඔබේ වෛද්‍යවරයා හමුවන වාර ගණන වැඩිවන බව සත්‍යයක් වුවත්, දරුවෙක් පිළිසිඳ ගැනීමකට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවීමත් වැදගත් දෙයක්. ඔබ මින් පෙර ගැබ්ගෙන තිබුණත්, එසේ වෛද්‍යවරයෙක් හමුවීම යහපත් පුරුද්දක් බව කිව හැකිය. ඇතැම් විට, දරු පිළිසිඳ ගැනීමකට ඇති අවස්ථා අඩුකිරීමට හේතුවන හෝ ගර්භණී වීම ඔබට හෝ දරුවාට අවදානම් සහගත වියහැකි රෝග සහ තත්ත්වයන් ඔබට පැවතිය හැකියි. එමනිසා, එවැනි තත්ත්වයන් පාලනය කරගැනීම හෝ සුවකර ගැනීම සඳහා වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ. ඔබේ හෝ ඔබේ සහකරුවාගේ සමීපතම ඥාතියෙකුට කෝෂ්ඨ තන්තුමතාව (Cystic fibrosis) හෝ දෑකැති සෛල රක්තහීනතාවය (Sickle cell anaemia) ඇත්නම්, එවැනි රෝග ඔබට හෝ ඔබේ සහකරුවාට ඇත්දැයි බැලීමට නිවාරණ පරීක්ෂාවන් (Preconception screening tests) කරගැනීමටත් වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම වැදගත් වේ. ඇතැම් රෝග තත්ත්ව ගැබ්ගැනීමට පෙර පාලනය කිරීම හෝ සුවකර ගැනීම නොකලහොත්, මවට මෙන්ම දරුවාටද සංකූලතා ඇතිවීමේ අවදානමක් ඇතිවේ. ඔබට දියවැඩියාව, අධික රුධිර පීඩනය, අපස්මාරය, හෘදයාබාධය, හෝමෝන ක්‍රියාකාරීත්වයේ ගැටළු වැනි රෝග පවතී නම්, ඒවා නිසි පරිදි පාලනය කරගැනීම ඉතාම වැදගත් වේ. ඔබ දැනටමත් ගන්නා ඇතැම් ඖෂධ, දරු පිළිසිඳ ගැනීමකට පෙර වෛද්‍ය උපදෙස් මත වෙනස් කරගැනීමට සිදුවිය හැක.

ඔබේ මුඛ සෞඛ්‍යයත්, සෞඛ්‍ය සම්පන්න ගර්භණී සමයකට ඉතාම වැදගත් දෙයකි. විදුරුමස් රෝගය, අඩු උපත් බර (Low birth weight) සහ නොමේරු දරු උපත් (Premature birth) සමග සම්බන්ධ බව පර්යේෂණ මගින් තහවුරුව ඇත. එමනිසා, දරු පිළිසිඳ ගැනීමකට පෙර දන්ත ශල්‍ය වෛද්‍යවරයෙක් හමුවී ඔබේ විදුරුමස්, දත්, සහ මුඛ කුහරයේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරවා ගැනීම සහ ගැටළු ඇත්නම් ප්‍රතිකාර ලබාගැනීම වැදගත් වේ.

බර පාලනය කරගැනීම

දරු පිළිසිඳ ගැනීමකට පෙර ඔබ අධිබර හෝ ස්ථුලතාවයෙන් පෙලේ නම්, බර අඩුකර ගැනීම ඉතාම වැදගත් වේ. නැතහොත්, ගර්භණී සමය තුළ ඔබට දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැළඳීමට ඇති අවදානම ඉහළ යන අතර, ඔබේ දරුවාට අනාගතයේදී දියවැඩියාව වැළඳීමට ඇති අවදානම ද වැඩිවේ. එමෙන්ම, මවගේ බර වැඩිවීම දරු ප්‍රසූතියේදී සංකූලතා ඇතිවීමට හේතුවක් වන බව සඳහන් කල හැක. ගර්භණී සමය තුළදී බර අඩුකර ගැනීම එතරම් හිතකර දෙයක් නොවන නිසා දරු පිළිසිඳ ගැනීමකට පෙර එසේ කිරීම වඩාත් සුදුසු වේ.

අධිබර හෝ ස්ථුලතාවයෙන් පෙලෙන කාන්තාවන්ගේ ඩිම්බ මේරීම සහ ඩිම්බ මෝචනය ප්‍රමාද වන බැවින්, ගැබ්ගැනීම ප්‍රමාදවීම සිදුවිය හැක. එමෙන්ම, බර අඩු කාන්තාවන්ටද ගැබ්ගැනීම ප්‍රමාද වීමට අවදානමක් පවතින අතර, දරු පිළිසිඳ ගැනීමක් සිදුවුවහොත් දරුවාගේ වර්ධනය අඩුවීමටත් මවගේ අඩුබර හේතුවිය හැක.

එමනිසා, දරු පිළිසිඳ ගැනීමකට පෙර ඔබේ ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI) 18.5-23 අතර පවත්වා ගැනීම ඉතාම වැදගත් වේ.

දුම්පානය සහ මත්පැන් පානය

අක්‍රීය හෝ සක්‍රීය දුම්පානය සහ මත්පැන් භාවිතය, සෞඛ්‍ය සම්පන්න ගර්භණී සමයකට කිසිසේත්ම හිතකර නොවේ. එය කුස තුළ සිටින දරුවාගේ වර්ධනයට මෙන්ම, දරු උපතකින් පසු වර්ධනය වෙන දරුවාගේ සෞඛ්‍යයටත් සැලකිය යුතු බලපෑමක් ඇතිකරයි. එමෙන්ම, දුම්පානය සහ මත්පැන් පානය මද සරුභාවය (Sub-fertility) ඇතිවීමට සහ ගබ්සාවීමට (Miscarriage) ඇති අවදානම වැඩිකරයි. එමනිසා, දරු පිළිසිඳ ගැනීමක් පිළිබඳව සිතන්නේ නම්, සක්‍රීය හෝ අක්‍රීය දුම්පානය සහ මත්පැන් පානය නවතා දැමීම කල යුතුම වේ.

සෞඛ්‍ය සම්පන්න ආහාර සහ මවගේ පෝෂණය

ඔබ ගැබ්ගැනීමට බලාපොරොත්තු වන්නේ නම්, පිරිසැකසුම් ආහාර (Processed food) සහ නිශ්ඵල ආහාර (Junk food) ගැනීම සීමාකිරීම වඩාත් සුදුසු වේ. ඔබේ ආහාර වේලෙහි එළවළු, පළා, පළතුරු, කුරුට්ට සහිත ධාන්‍ය හා සහල්, මාළු, සහ තෙල් රහිත මස් (Lean meat) අන්තර්ගත වීම සෞඛ්‍ය සම්පන්න ගර්භණී සමයකට සහ දරු උපතකට බෙහෙවින් වැදගත් වේ. සෞඛ්‍ය සම්පන්න, සමබර ආහාර වේලකට හුරුවීම, ගර්භණී සමයේදී දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැළඳීමට ඇති අවදානම පහත දමයි.

ඇතැම් විට, අප ගන්නා ආහාර වල ෆෝලික් අම්ලය (Folic acid) නැමැති විටමින් වර්ගය අවශ්‍ය ප්‍රමාණයට නොමැති බැවින්, දරු පිළිසිඳ ගැනීමක් බලාපොරොත්තු වන කාන්තාවක් ෆෝලික් අම්ලය පෙති වශයෙන් ලබාගැනීම වැදගත් වේ. එසේ කිරීමෙන්, දරුවගේ සුෂුම්නාවේ සහ මොළයේ ස්නායු ආශ්‍රිතව ඇතිවන දරුණු සංකූලතා ඇතිවීම වළක්වා ගැනීමට හැකියාව ලැබේ.

කැෆේන් (Caffeine) අඩංගු ආහාර පාන සීමාකරන්න.

දවසකට කෝපි කෝප්ප දෙකක් හෝ ඒ හා සමාන කැෆේන් ප්‍රමාණයක් (මිලිග්‍රෑම් 250 ක් පමණ) අඩංගු ආහාර පාන ගැනීම, දරුවෙක් පිළිසිඳ ගැනීමට බාධා කරනවා මෙන්ම, ගබ්සා වීමට ඇති අවදානමද වැඩිකරයි. එමනිසා, කෝපි පානය කිරීමට දොළ දුකක් ඇත්නම්, අවම වශයෙන් ගර්භණී සමයේ මුල් සති කිහිපය ගතවන තුරු එය පාලනය කිරීමට උත්සාහ ගැනීම වැදගත් වේ.

එන්නත් ලබාගැනීම

ගර්භණී මවකට හොඳ ප්‍රතිශක්තියක් තිබීම ඉතාම වැදගත් වේ. මක්නිසාද, ඇතැම් රෝග ගර්භණී සමයේ සංකූලතා ඇතිකරන අතර, ඔබේ දරුවාටද ගැටළු ඇතිකල හැක. එමනිසා, දරු පිළිසිඳ ගැනීමට පෙර සහ ගර්භණී සමයේදී ගැනීමට නිර්දේශ කරන එන්නත් නිසි කලට ලබාගැනීමට කටයුතු කල යුතුය. එමගින්, ඔබේ දරුවාටද රෝග වලට එරෙහිව ප්‍රතිශක්තියක් ලැබේ. උදාහරණයක් වශයෙන්, ගර්භණී සමයට පෙර ගත යුතු රුබෙල්ලා එන්නත දැක්විය හැක. ගර්භණී සමයේදී රුබෙල්ලා රෝගය වැළඳුනහොත්, කුස තුළ සිටින දරුවාට දරුණු සංකූලතා ඇතිවේ. එමෙන්ම, දරු ප්‍රසූතියේදී දරුවාට පිටගැස්ම වැළඳීම වැළැක්වීම සඳහා ගර්භණී සමයේදී මවට පිටගැස්ම එන්නත ලබාදීම ද තවත් උදාහරණයක් ලෙස දැක්විය හැකියි.

ඔබ ලබාගන්නා ඖෂධ

ඔබ දැනට ඖෂධ ලබාගනිමින් සිටින්නේ නම්, ගැබ් ගැනීමට පෙර වෛද්‍යවරයා සමග සාකච්ඡා කර ගර්භණී සමයේදී ගත හැකි හෝ නොගත යුතු ඖෂධ පිළිබඳව උපදෙස් ලබාගන්න. ඇතැම් ඖෂධ ඔබේ දරුවාට හානිකර විය හැක. එමනිසා, වෛද්‍ය උපදෙස් මත ඖෂධ නැවැත්වීම, වෙනස් කිරීම, හෝ දිගටම ගැනීම සිදුකිරීමට වගබලා ගන්න.

ව්‍යායාම කිරීම

ව්‍යායාම කිරීම සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට වැදගත් වනවා මෙන්ම, දරු ප්‍රසූතියට පහසු වන පරිදි ශරීරය හැඩගස්වයි. නිතිපතා ව්‍යායාම කිරීම මගින් දරු ප්‍රසූතිය පහසු වේ.

(ඡායාරූප අනුග්‍රහය: Wyatt Fisher)

සබැඳි ලිපි:

ගර්භණී සමයේදී ඇතිවන ඔක්කාරය සමනය කරගන්නේ කෙසේද?
ගර්භණී සමයේ ව්‍යායාම කිරීම වැදගත්ද?
ගර්භණී මවක් වහාම රෝහල්ගත විය යුතු අවදානම් සහගත අවස්ථා 7 ක්
ඔබේ කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුයිද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරු පිළිසිඳ ගැනීමකට සූදානම් වන ඔබට" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*