සමට සත්කාර කිරීමේදී ඔබ දැනසිටිය යුතු මූලික කරුණු

සමට සත්කාර කිරීමේදී ඔබ දැනසිටිය යුතු මූලික කරුණු

සම යනු ඔබේ සෞඛ්‍ය තත්ත්වය පෙන්වන කැඩපතකි. එමෙන්ම, එය චිත්‍රයක් ඇඳ ඇති කැන්වසයක් බඳුය. ඔබේ ශරීරයේ ඇති වටිනාම අංග අතරින් එකක් ලෙසද සම දැක්විය හැක. සමට නිවැරදිව සහ හොඳින් සත්කාර කිරීමේදී, බාහිර සහ අභ්‍යන්තර බලපෑම් මගින් ඔබේ සම ආරක්ෂා කරන සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇතිකරගැනීම ඉතා වැදගත් වේ. මක්නිසාද, ජීවිත කාලයටම ඔබට ලැබෙන්නේ එක් සමක් පමණක් වන අතර, ඔබේ දෛනික පුරුදු යනු සමේ යහපැවැත්ම සම්බන්ධ තීරණාත්මක සාධකයකි. එබැවින්, සමට සත්කාර කිරීමේදී එය කලයුත්තේ කෙසේද යන්න පිළිබඳ මූලික කරුණු ඔබ දැනසිටිය යුතුවේ.

ඔබේ සම දිනපතා පිරිසිදු (Clean) කරන්න. එහි තෙතමනය ආරක්ෂා කරගන්න (Moisturize).

දිනකට දෙවරක් මුහුණ සෝදන්න. උදෑසන එක්වරක් සහ නින්දට යාමට පෙර තවත් වරක් ලෙස මෙය කල හැකිය. මුහුණ පිරිසිදු කිරීමෙන් අනතුරුව, ටෝනර් (Toner) එකකින් සහ තෙතමනය ආරක්ෂා කරන ආලේපනයකින් (Moisturizer) සමට සත්කාර කිරීම වඩාත් සුදුසුය. ටෝනර් එකක් මගින් මුහුණ සේදීමෙන් පසු ඔබේ සමේ ඉතිරි වී ඇති ඇති තෙල්, කුණු, දූවිලි, සහ රූපලාවන්‍ය ආලේපන කොටස් ඉවත් කරගත හැකිවේ. එමෙන්ම, සමේ තෙතමනය ආරක්ෂා කරගැනීමද වැදගත් කාර්යයක් ලෙස හැඳින්විය හැක. තෙල් සහිත සමක් ඇති අයෙකුට වුවද එය එකලෙස වැදගත් ය. තෙතමනය ආරක්ෂා කරන ආලේපන සාමාන්‍ය සමට, වියළි සමට, හෝ තෙල් සහිත සමට ලෙස විවිධාකාරය. එමනිසා, ඔබේ සමට ගැලපෙන නිවැරදිම ආලේපනය තෝරාගැනීම වැදගත් වේ.

හිරු එළියෙන් ආවරණය වෙන්න.

හිරු එළියේ ඇති පාරජම්බුල කිරණ (Ultraviolet or UV radiation) වලට සම නිරාවරණය වීමේදී, කාලයත් සමග සමේ විවිධ වෙනස්කම් ඇතිවිය හැක. ඒවා අතර, රැලි, අවපැහැවීම, දුඹුරු ලප, තිත්, පිළිකාමය නොවන වර්ධනය වීම් (Non-cancerous growths),  පූර්ව පිළිකාමය වර්ධනය වීම් (Pre-cancerous growths) මෙන්ම, පාදස්ථ සෛල පිළිකා (Basal cell carcinoma), ශල්කමය සෛල පිළිකා (Squamous cell carcinoma), මෙලනෝමා (Melanoma) වැනි පිළිකාමය වර්ධනය වීම් ද පැවතිය හැක. වැදගත්ම කාරණය නම්, සමේ ඇතිවන බොහොමයක් පිළිකා හිරු එළියට නිරාවරණය වීම හා සම්බන්ධ වීමයි. එමනිසා, හිරු එළියට නිරාවරණය වන කාලය අවම කරගන්න. විශේෂයෙන්ම උදෑසන 10 සිට සවස 2 දක්වා කාලයේදී හිරු එළියට නිරාවරණය වන කාලය අවම කරගැනීමට කටයුතු කල යුතුවේ. හිරු එළියට නිරාවරණය වන සෑම විටෙකම ඔබේ සම ආරක්ෂා කරගැනීම සඳහා ආලේපනයක් (Sunscreen) භාවිතා කරන්න. ඒ සඳහා සින්ක් ඔක්සයිඩ් (Zinc oxide) වැනි බාධකයක් සහිත සහ හිරු ආරක්ෂණ සාධකය (Sun protection factor or SPF) 30 හෝ එයට වැඩි අගයක් ගන්නා පුළුල් පරාසයක පාරජම්බුල කිරණ වලින් ආරක්ෂාව සපයන (Broad spectrum) ආලේපනයක් යොදාගත යුතුවේ. එමෙන්ම, ශරීරය හැකිතරම් ආවරණය වන පරිදි අත්දිග ඇඳුම්, දිග කලිසම්, සහ තරමක් විශාල තොප්පියක් (Hat) ඇඳීම සහ පැළඳීම ද කල හැක.

සමේ ගැටළු සඳහා විශේෂඥයෙකු හමුවන්න.

ඔබේ සම සැමවිටම සර්ව සම්පූර්ණ හෝ සෞඛ්‍ය සම්පන්න නොවීමට ඉඩ ඇත. ඇතැම් විට, එය වියළි වීම හෝ තෙල් සහිත වීම සිදුවිය හැක. එමෙන්ම, ඔබේ සමේ කුෂ්ට, පලු, කරප්පන්, කුරුලෑ ආදිය ඇතිවිය හැක. කෙසේ වුවත්, ඔබට තනිවම විසඳාගත නොහැකි සමේ ගැටළු පිළිබඳව සමේ රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් (Consultant Dermatologist) සමග සාකච්ඡා කර උපදෙස් සහ ප්‍රතිකර්ම ලබාගැනීම වඩාත් වැදගත් වේ.

තනිවම නිවාරණය කරගැනීම (Self screening)

ඔබේ ජීවිත කාලය තුළදී, ඔබේ සමේ සෑම කොටසක් පිළිබඳවම හොඳ අවදානයකින් පසුවීම වැදගත් වේ. ඔබේ සමේ පැහැය සහ ස්වරූපය පිළිබඳ පුරුද්දක් ඇතිකරගන්න. එමගින්, සමේ පිළිකාමය තත්ත්වයකදී ඇතිවිය හැකි ගැටිති, ලප, පැහැය වෙනස්වීම වැනි මූලික වෙනස්කම් පහසුවෙන් හඳුනාගත හැකිවේ. ඔබේ සම සම්බන්ධයෙන් ගැටළුවක් මතුවන ඕනෑම අවස්ථාවක, වෛද්‍යවරයෙක්ගේ උපදෙස් පැතීමට අමතක නොකරන්න.

(ඡායාරූප අනුග්‍රහය: www.homejobsbymom.com)

සබැඳි ලිපි:

කාන්තාවන්ගේ රූසපුව රැකගැනීමට ස්වභාවික උපක්‍රම 6 ක්
තොල් සායම් (Lipstick) භාවිතය හානිකරද?
සුවැති කෙස් කලඹක් සඳහා රහස් 20 ක්…
අලුහම් වලින් මිදෙන්නේ කෙසේද?
නියපොතු ලස්සන කරගන්නේ කෙසේද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සමට සත්කාර කිරීමේදී ඔබ දැනසිටිය යුතු මූලික කරුණු" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*