දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා පිළිබඳව දැනුවත් වෙමු.

දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා පිළිබඳව දැනුවත් වෙමු

දියවැඩියාව නිසා සංකූලතා ඇතිවීමට දිගුකාලයක් ගතවන අතර, ඒවා වර්ධනය වන්නේ සෙමින් ය. දියවැඩියාව වැළඳී පැවතුන කාලය වැඩිවන විට සහ දියවැඩියාව නිසි ලෙස පාලනය නොවන විට සංකූලතා හටගැනීමට ඇති අවදානම ක්‍රමයෙන් වැඩිවේ. අවසානයේදී, දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා ක්‍රමයෙන් රෝගියා අබල දුබල කිරීම හෝ ජීවිතයට හානියක් වන අයුරින් වර්ධනය වීම සිදුවේ.

හෘත්වාහිනික රෝගය (Cardiovascular disease)

දියවැඩියාව ක්‍රමයෙන් හෘත්වාහිනික රෝග වැළඳීමට ඇති අවදානම ඉහළ දමයි. ඒවා අතර, පපුවේ වේදනාවත් (ඇන්ජයිනා) සමග එන කිරීටක ධමනි රෝගය (Coronary artery disease) හෙවත් හෘදයේ ඇති කිරීටක ධමනි කොලෙස්ටරෝල් තැන්පත් වී සිහින්වීම හෝ අවහිර වීම, හෘදයාබාධය, අංශභාගය හෙවත් ආඝාතය, සහ කොලෙස්ටරෝල් තැන්පත් වී ධමනි සිහින් වීම (Atherosclerosis) ප්‍රමුඛතාවයක් ගනී. සැබැවින්ම, ඔබට දියවැඩියාව ඇත්නම්, ඔබට හෘද රෝගයක් හෝ අංශභාගය හටගැනීමට ඇති අවදානම වැඩිය.

ස්නායු හානි (Neuropathy)

රුධිරයේ සීනි මට්ටම ඉහළ යත්ම සිරුරේ ස්නායු පෝෂණය කරන සිහින් රුධිර වාහිනී එනම්, කේශනාලිකා වල බිත්ති වලට හානි සිදුවිය හැක. මෙම ක්‍රියාවලිය විශේෂයෙන්ම පාද වල සිදුවනු දැකිය හැක. මෙම ස්නායු හානි නිසා මුලින්ම හිරිවැටුණු ස්වභාවයක්, කිතිකැවෙන ස්වභාවයක්, දැවිල්ලක්, හෝ වේදනාවක් අත්වල සහ පාදවල ඇඟිලි තුඩු වලින් ආරම්භ වී කාලයත් සමග ඉහළට පැතිර යයි. නිසි ප්‍රතිකාර නොකලහොත්, අත් පා වල දැනීම සම්පූර්ණයෙන්ම අහිමි වේ. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ස්නායු වලට හානි සිදුවීමෙන් ඔක්කාරය, වමනය, දියර ලෙස මළපහ පිටවීම, හෝ මළබද්ධය ඇතිවිය හැක. පුරුෂයන්ගේ නම් ස්නායු හානි සිදුවීම නිසා පුරුෂ ලිංගය අප්‍රාණික වීම සිදුවිය හැක.

වකුගඩු හානි (Nephropathy)

ඔබේ වකුගඩු තුළ ඉතාම කුඩා රුධිර කේශනාලිකා ගොනු (Glomeruli) මිලියන ගණනක් පවතින අතර, ඒවා ඔබේ රුධිරයේ ඇති රසායනික අපද්‍රව්‍ය සහ බහිස්‍රාවී ද්‍රව්‍ය පෙරා ඉවත්කර මුත්‍රා ඔස්සේ පිටකිරීමට සලස්වයි. දියවැඩියාව මගින් මෙම සියුම් පෙරන යාන්ත්‍රණයට හානි සිදුවිය හැක. උග්‍ර ලෙස හානි සිදුවුවහොත් වකුගඩු අකර්මණ්‍ය වීම (Kidney failure) හෝ යලි ප්‍රකෘති තත්ත්වයට පත් නොවන අවසන්-අදියරේ වකුගඩු රෝගය (End-stage kidney disease) වැළඳීම සිදුවේ. එවැනි තත්ත්වයකට පත්වුවහොත්, ජීවිතය රැකගත හැක්කේ රුධිරය කාන්දු පෙරීම (Dialysis) මගින් හෝ වකුගඩු බද්ධ කිරීම මගින් පමණි.

ඇස්වලට සිදුවන හානි (Retinopathy)

දියවැඩියාව නිසා ඔබේ ඇසේ දෘෂ්ටි විතානයේ ඇති සියුම් රුධිර වාහිනී වලට හානි සිදුවිය හැකි අතර, එමගින් අන්ධභාවය වුවද ඇතිවිය හැක. එමෙන්ම, දියවැඩියාව නිසා ඇසේ සුද මතුවීම (Cataract), ඇසේ පීඩනය ඉහළයාම හෙවත් ග්ලූකෝමා (Glaucoma) තත්ත්වය වැනි ඔබේ පෙනීමට දරුණු හානි සිදුකල හැකි රෝග වැළඳීමට ඇති අවදානම ද වැඩිවේ.

පාද වලට සිදුවන බලපෑම්

පාද වල ස්නායු හානි හෝ පාද වල රුධිර සංසරණය දුර්වලවීම නිසා සංකූලතා ගණනාවක් ඇතිවනු දැකිය හැක. නිසි ප්‍රතිකාර නොකලහොත්, පාදයේ තුවාළයක්, කැපුමක්, හෝ සීරීමක් ඇතිවූ විට උග්‍ර ආසාදන ඇතිවිය හැක. දියවැඩියා රෝගීන්ගේ එවැනි ආසාදන සුවවීම බෙහෙවින්ම ප්‍රමාද වේ. බොහොමයක් දියවැඩියා රෝගීන්ට මෙවැනි ආසාදන නිසා ඇඟිලි හෝ පාද අහිමි කරගැනීමට සිදුවනු දැකිය හැක.

චර්ම රෝග

දියවැඩියාව නිසා බැක්ටීරියා සහ දිලීර ආසාදන ඇතුළු සමේ ගැටළු ගණනාවක් ඇතිවිය හැක.

ඇසීම දුර්වල වීම

දියවැඩියාව හේතුවෙන් ඇසීම දුර්වල වීම බහුලව ඇතිවන තත්ත්වයකි.

ඇල්ෂයිමර්ගේ රෝගය (Alzheimer’s disease)

දෙවන වර්ගයේ දියවැඩියාව නිසා ඇල්ෂයිමර්ගේ රෝගය නැමැති දිගුකාලීනව මොළයේ ස්නායු හානි වීමෙන් හටගන්නා රෝගය වැළඳීමට ඇති අවදානම ඉහල යයි. මෙම රෝගයේදී මතකය, සිතීම, සහ හැසිරීම ආදියට සැලකිය යුතු ලෙස හානි සිදුවේ. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම දුර්වල වන තරමට, ඇල්ෂයිමර්ගේ රෝගය වැළඳීමට ඇති අවදානම ද ක්‍රමයෙන් ඉහළ යයි. දියවැඩියාව සහ ඇල්ෂයිමර්ගේ රෝගය අතර සම්බන්ධතාවය පිළිබඳ න්‍යායන් ගණනාවක්ම පැවතියත්, ඉන් එකක්වත් තවම නිසි පරිදි තහවුරු වී නොමැත.

(ඡායාරූප අනුග්‍රහය: julien haler)

සබැඳි ලිපි:

ඔබටත් දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවාද?
දියවැඩියාව (Diabetes mellitus) යනු කුමක්ද?
දියවැඩියාව රෝග විනිශ්චය කරන්නේ කොහොමද?
දෙවන වර්ගයේ දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?
දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?
දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා පිළිබඳව දැනුවත් වෙමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*