සෞඛ්‍ය සම්පන්න බර යනු කුමක්දැයි ඔබ දැනුවත්ද?

සෞඛ්‍ය සම්පන්න බර යනු කුමක්දැයි ඔබ දැනුවත්ද?

සමාජයේ වෙසෙන බොහොමයක් බර පාලනය කරගැනීමට වෙහෙසෙන බව රහසක් නොවේ. කෙසේ වුවත්, ඇතැම් අය බර පාලනය ගැන සිතන්නේ වත් නැතිව කටයුතු කරනු පෙනේ. නමුත්, ස්ථුලතාවය (Obesity) යනු ජාතික ප්‍රශ්නයක් වෙමින් පවතින බව දක්නට ලැබේ. මක්නිසාද, ස්ථුලතාවය සමාජයේ පුළුල්ව පැතිරෙමින් පවතී. ඇතැම් විට, ඔබට සෞඛ්‍ය සම්පන්න බර පිළිබඳව නිවැරදි වැටහීමක් නොමැති වන්නට පුලුවන. එමෙන්ම, සෞඛ්‍ය සම්පන්න බර පරාසයට ගමන් කිරීමට සහ එම පරාසය තුළ රැඳී සිටීමට අනුගමනය කල යුතු නිවැරදි ක්‍රමවේදය පිළිබඳව ඔබට දැනුමක් නොමැති වීමට පුලුවන.

ශරීර ස්කන්ධ දර්ශකය (Body mass index or BMI)

සෞඛ්‍ය සම්පන්න බර ගණනය කිරීම සඳහා භාවිතා කල හැකි එක් සරළ මෙවලමක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය හැඳින්විය හැක. සැබැවින්ම මෙය සරළ ගණිත සූත්‍රයකි. ඔබ මුලින්ම කල යුත්තේ ඔබේ බර කිලෝග්‍රෑම් වලින් සහ උස මීටර් වලින් මැන ගැනීමයි. ඉන් පසු, ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කිරීම සඳහා ඔබේ බර, ඔබේ උසෙහි වර්ගයෙන් බෙදිය යුතුය.

උදාහරණයක් වශයෙන්:
ඔබේ බර කිලෝග්‍රෑම් 65 ක් සහ උස මීටර් 1.7 ක් නම්,
උසෙහි වර්ගය = 1.7 × 1.7 = 2.89
එමනිසා ඔබේ ශරීර ස්කන්ධ දර්ශකය = 65/2.89 = 22.49

ශරීර ස්කන්ධ දර්ශකය අනුව, ශ්‍රී ලාංකිකයන්ගේ ශරීර වලට ගැලපෙන සේ සංස්කරණය කරන ලද නවතම බර පරාසයන් පහත පරිදි දැක්විය හැක.

ශරීර ස්කන්ධ දර්ශකය:

  • 18.5 ට වඩා අඩු: අඩු බර (Underweight)
  • 18.5 – 22.9: සාමාන්‍ය බර (Normal weight)
  • 23 – 24.9: අධි බර (Overweight)
  • 25 හෝ එයට වැඩි: තරබාරු හෙවත් ස්ථුල (Obese)

ශරීර ස්කන්ධ දර්ශකය යනු ඔබේ බර අයත්වන පරාසය සොයාගැනීමට භාවිතා කල හැකි සරළ මෙවලමක් වුවද, එමගින් ඔබේ ශරීරයේ ඇති අමතර මේදය පිළිබඳ නිවැරදි වැටහීමක් ලබාගත නොහැක. එමෙන්ම, ඔබේ බර පිළිබඳව නිවැරදි නිර්ණයක් කිරීමට හෝ ඔබේ බර ගැටළුවක් දැයි වටහා ගැනීමට සැමවිටම නිවැරදිව භාවිතා කල හැකි ක්‍රමවේදයක් ලෙස ශරීර ස්කන්ධ දර්ශකය හැඳින්විය නොහැක. උදාහරණයක් වශයෙන්, මස්පිඩු වර්ධනය වූ අයෙක් ස්ථුල නොවූවත්, ශරීර ස්කන්ධ දර්ශකය වැඩි අගයක් පෙන්විය හැක. එමෙන්ම, ශරීර ස්කන්ධ දර්ශකය මගින්, මාංශ පේශි ක්ෂය වූ පුද්ගලයන්ගේ සහ වයස්ගත පුද්ගලයන්ගේ ශරීරයේ ඇති මේදය පිළිබඳ අඩු තක්සේරුවක් ලබාදිය හැක. එමනිසා, ඔබ තරබාරු යැයි සිතන්නේ නම් හෝ ඔබට සෞඛ්‍ය සම්පන්න බර පිළිබඳව ගැටළුවක් ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න.

ඉණ මැනීම (Waist circumference)

සෞඛ්‍ය සම්පන්න බරට ඔබ කොතරම් ආසන්න දැයි වටහා ගැනීමට යොදාගත හැකි තවත් සරළ ක්‍රමයක් ලෙස ඉණෙහි වට ප්‍රමාණය මැනීම හැඳින්විය හැක. සැබැවින්ම, ඉණ මැනීම ඉතා වැදගත් ක්‍රමයකි. මක්නිසාද, උදරයේ අමතර මේදය පැවතීම බරපතළ කාරණයක් වන අතර, එමගින් දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus), අධික රුධිර පීඩනය, සහ හදවත් රෝග වැනි සංකූලතා ඇතිවීමට පවතින අවදානම සැලකිය යුතු ලෙස ඉහළ දමයි. ශරීර ස්කන්ධ දර්ශකය මෙන්ම, ඉණෙහි වට ප්‍රමාණය ද ඔබගේ බර වැඩි බව සැමවිටම නිවැරදිව දක්වන මිනුමක් නොවේ. මෙම මිනුම් දෙකම සෞඛ්‍ය සම්පන්න බර පිළිබඳ දළ අදහසක් ලබාදෙන බහුලව භාවිතා කරන මිනුම් දඬු දෙකක් පමණි.

කෙසේ වුවත්, ඉණෙහි වට ප්‍රමාණය:

  • පුරුෂයෙකුගේ නම්, සෙන්ටි මීටර් 90 (අඟල් 36) හෝ එයට අඩුවිය යුතුය.
  • ගර්භණී නොවන කාන්තාවකගේ නම්, සෙන්ටි මීටර් 80 (අඟල් 32) හෝ එයට අඩුවිය යුතුය.

ඉණ මැනීම සඳහා සෘජුව සිටගෙන, උකුල් ඇට වලට ඉහළින් ඉණ වටා මිනුම් පටිය ඔතන්න. මෙහිදී, මිනුම් පටිය සමට ඇලී තිබුණද, සමට තදවී නොපැවතිය යුතුවේ. මිනුම ගැනීමට පෙර හුස්ම පිටකරන්න.

ඉණ උකුලට දරන අනුපාතය (Waist-to-Hip Ratio or WHR)

ඉණ උකුලට දරන අනුපාතය යනු වෛද්‍යවරුන් ඔබේ බර පිළිබඳව අදහසක් ගැනීමට භාවිතා කරන තවත් මිනුමකි.

ඉණ උකුලට දරන අනුපාතය මැනීම සඳහා:

  • ඉණෙහි සිහින්ම තැනින් මිනුම ගන්න.
  • උකුලෙහි පළල්ම තැනින් මිනුම ගන්න.
  • ඉණෙහි මිනුම, උකුලෙහි මිනුමෙන් බෙදන්න.

ඉණ උකුලට දරන අනුපාතය:

  • පුරුෂයෙකුගේ නම්, 0.9 හෝ එයට වඩා අඩුවිය යුතුවේ. මෙම අගයට වඩා වැඩි නම්, උදරයේ අමතර මේදය බොහෝ වැඩි බව කිව හැක.
  • කාන්තාවකගේ නම්, 0.85 හෝ එයට වඩා අඩුවිය යුතුය. මෙම අගයට වඩා වැඩි නම්, කාන්තාවගේ බර වැඩි බව කිව හැක. මෙම මිනුම පුරුෂයන්ගේ සහ කාන්තාවන්ගේ වෙනස් අගයක් ගැනීමට හේතුව නම්, පුරුෂයන්ගේ අමතර බරෙන් බොහොමයක් උදරයේ පිහිටීමත් සහ කාන්තාවන්ගේ අමතර බරෙන් බොහොමයක් උකුල සහ තට්ටම් ප්‍රදේශ වල විසිරී පැවතීමත් ය.

(ඡායාරූප අනුග්‍රහය: Hamza Butt)

සබැඳි ලිපි:

ඔබ කොපමණ ඉක්මනින් බර අඩුකරගත යුතුද?
ඔබේ බර අඩුකරගත යුත්තේ ඇයි?
බර අඩුකරගැනීම පහසු කරවන ඉඟි 10 ක්
ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සෞඛ්‍ය සම්පන්න බර යනු කුමක්දැයි ඔබ දැනුවත්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*