දරුවා වමනය කරනවා නම් ඔබ කුමක් කල යුතුද?

දරුවා වමනය කරනවා නම් කුමක් කල යුතුද?

දරුවා වමනය කරනවා නම්, ඒ සඳහා හේතුවිය හැකි තත්ත්ව ගණනාවක් පවතී. නමුත්, වමනය කිරීම සඳහා බොහෝවිට හේතුවන්නේ අජීරණ තත්ත්වයකි. කෙසේ වුවත්, වමනය කිරීම නිසා ඔබේ දරුවාගේ ශරීරයෙන් ජලය, ලවණ, සහ ඛණිජ ඉවත්වීමට හැකියාව පවතී. දිගටම වමනය පැවතුනහොත්, විජලනය සහ අයන අසමතුලිතතා හටගැනීම වැනි සංකීර්ණ සෞඛ්‍ය ගැටළු ඇතිවිය හැක. එමනිසා, එසේ ඉවත්වන දියර, ඛණිජ, සහ ලවණ නැවත දරුවාට ලබාදීම ඉතාම වැදගත් වේ.

දරුවා වමනය කරන්නේ නම්, කලයුත්තේ කුමක්ද?

  • වමනය කරමින් සිටින දරුවෙක්ට කිරි ආහාර හෝ ඝන ආහාර දීමෙන් වළකින්න.
  • දියර කුඩා ප්‍රමාණ වලින් ලබාදෙන්න.
    • ළදරුවන් සඳහා: සෑම විනාඩි 15-20 කට වරක් ජීවනී මේස හැඳි 1 ක් පමණ දෙන්න. එකවරකට කෙටි වේලාවක් බැගින්, වැඩි වාර ගණනක් මව්කිරි ලබාදෙන්න.
    • දරුවන් සඳහා: සෑම විනාඩි 15 කට වරක් ජීවනී, පළතුරු යුෂ, කැඳ, තැඹිළි වැනි දියර මේස හැඳි 1-2 ක් පමණ ලබාදෙන්න.
  • ඔබේ දරුවා නැවත වමනය කලේ නම්, විනාඩි 20-30 ක් පමණ දියර පානය කිරීමට නොදී සිට, නැවත පෙර පරිදි දියර ලබාදෙන්න.
  • වමනය කිරීම පැය 3-4 කට නතර වූයේ නම්, ක්‍රමයෙන් ලබාදෙන දියර ප්‍රමාණය වැඩිකරන්න.
  • වමනය කිරීම නැවතී පැය 8 ක් ගතවූ පසු:
    • ළදරුවන් සඳහා: සාමාන්‍ය පරිදි මව්කිරි ලබාදෙන්න.
    • දරුවන් සඳහා: බත් ස්වල්පයක්, ඉඳිආප්ප ස්වල්පයක්, ටෝස්ට් කරන ලද පාන් , කැඳ වැනි සැහැල්ලු ආහාර ලබාදෙන්න.
  • වමනය නතර වී පැය 24 ක් ගත වූ විට සාමාන්‍ය පරිදි ආහාර පාන ලබාදිය හැක. නැවත වමනය කිරීම ආරම්භ වුවහොත්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුය.

වෛද්‍ය උපදෙස් ලබාගත යුතු අවස්ථා මොනවාද?

වමනය කිරීමත් සමග පහත සඳහන් ලක්ෂණ එකක් හෝ පවතී නම්, වෛද්‍ය උපදෙස් ලබාගන්න.

  • මුඛය වියලි ස්වභාවයක් ගැනීම, ඇස් ගිළුණු ස්වභාවයක් ගැනීම, මුත්‍රා පිටවීම අඩුවීම වැනි විජලනය වීමේදී ඇතිවන ලක්ෂණ පැවතීම.
  • පැහැදිලි දියර පානය කිරීමට පවා නොහැකිවීම.
  • කොළ පැහැයට හුරු කහ වර්ණයෙන්, තද දුඹුරු පැහැයෙන්, හෝ රුධිරය මිශ්‍රව වමනය යෑම.
  • දරුවාගේ උදරය තද හෝ පිම්බුණු ස්වභාවයක් ගැනීම හෝ උදරයේ වේදනාවක් හටගැනීම.
  • දරුවා දැඩිව නොසන්සුන් වීම.
  • පිරිමි දරුවෙකුගේ නම් වෘෂණ කෝෂ වල ඉදිමීමක්, රතු පැහැයක්, හෝ වේදනාවක් ඇතිවීම.
  • නවජ ළදරුවෙක් හෙවත් අලුත උපන් දරුවෙක් මුඛයෙන් එළියට විදින ස්වභාවයකින් වමනය කිරීම.

වමනය ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද?

නිතර දෑත් සබන් යොදා හොඳින් සෝදාගැනීමට පුරුදුවන්න. විශේෂයෙන්, ආහාර පිසීමට පෙර, ආහාර ගැනීමට පෙර, වැසිකිලි හා කැසිකිලි යාමෙන් පසුව, සහ අමු මාළු හෝ මස් ස්පර්ශ කිරීමෙන් පසුව දෑත් හොඳින් සෝදාගන්න. ඔබේ දරුවාටද එසේ කිරීමට පුහුණු කරන්න. උදරාබාධ, වමනය යෑම, හෝ අජීරණයක් ඇති අය සමග දරුවාට ගැවසීමට ඉඩදීමෙන් වළකින්න.

(ඡායාරූප අනුග්‍රහය: taylormackenzie)

සබැඳි ලිපි:

කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?
දරුවා විජලනයට ලක්වුවහොත් කුමක් කල යුතුද?
දරුවාට බඩේ අජීරණයක් සෑදුන විට කුමක් කරමුද?
දරුවාට බඩේ කැක්කුමක් හැදුනොත් කුමක් කලයුතුද?
ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවා වමනය කරනවා නම් ඔබ කුමක් කල යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*