PCOS තත්ත්වය හෙවත් ඩිම්බ කෝෂ වල බිබිලි හටගැනීම ගැන දැනගනිමු.

PCOS තත්ත්වය හෙවත් ඩිම්බ කෝෂ වල බිබිලි හටගැනීම ගැන දැනගනිමු

PCOS තත්ත්වය (Polycystic ovary syndrome) හෙවත් ඩිම්බ කෝෂ වල බිබිලි හටගැනීම, බහු-කෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය ලෙසද හැඳින්වේ. මෙය කාන්තාවකගේ ශරීරයේ හෝමෝන අසමතුලිතතාවයක් නිසා ඇතිවන රෝගයකි. PCOS වැළඳුනු විට ඔසප් චක්‍රයේ ගැටළු මතුවන අතර, ගැබ්ගැනීමට ද අපහසුතා ඇතිවීම දක්නට ලැබේ. එමෙන්ම, කාන්තා ඔබගේ බාහිර ස්වරූපයද වෙනස් කිරීමට PCOS තත්ත්වයට හැකියාව පවතී. නිසි ප්‍රතිකර්ම නොකලහොත්, කල් ගතවත්ම දියවැඩියාව සහ හෘද රෝග වැනි උග්‍ර සෞඛ්‍ය ගැටළු ඇතිකිරීමටද PCOS තත්ත්වය සමත් වේ.

PCOS තත්ත්වය ඇති බොහොමයක් කාන්තාවන්ගේ ඩිම්බ කෝෂ වල කුඩා බිබිලි වර්ධනය වේ. මෙම තත්ත්වය බහු-කෝෂ්ඨ ඩිම්බාධාර සහලක්ෂණය ලෙස හැඳින්වෙන්නේ එබැවිනි. මෙම කෝෂ්ඨ හෙවත් බිබිලි හානිකර නොවූවත්, හෝමෝන අසමතුලිතතාවයක් ඇතිකිරීමට සමත්ය. එමනිසා, PCOS තත්ත්වය කලින් හඳුනා ගැනීම සහ නිසි ප්‍රතිකාර කිරීම මගින්, රෝග ලක්ෂණ පාලනය කිරීමට සහ දිගුකාලීන සංකූලතා වැළක්වීමට හැකියාව ලැබේ.

ශරීරයේ වර්ධනය, පැවැත්ම, සහ ශක්තිය නිපදවීම වැනි ශරීරය තුළ සිදුවන විවිධ ක්‍රියාවලියන් පාලනය කරන්නේ හෝමෝන නැමැති රසායනික පණිවිඩකරුවන් විසිනි. බොහොමයක් හෝමෝන මගින් සිදුකරන්නේ, තවත් හෝමෝනයක් නිදහස් කිරීමට සංඥා නිකුත් කිරීමයි. PCOS තත්ත්වයේදී මෙම හෝමෝන වල ක්‍රියාකාරීත්වයේ අසමතුලිතතාවයක් ඇතිවන අතර, එසේ සිදුවීමට හේතුව තවමත් හොඳින් හඳුනාගෙන නොමැත. කෙසේ වුවත්, එක් හෝමෝනයක ක්‍රියාකාරීත්වයේ වෙනස්වීමක් තවත් හෝමෝන කිහිපයකම ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකරන බැවින්, PCOS තත්ත්වයේදී හෝමෝන ගණනාවකම අසමතුලිතතා ඇතිවේ. උදාහරණ වශයෙන්:

  • ලිංගික හෝමෝන (Sex hormones) ක්‍රියාකාරීත්වය අසමතුලිත වේ. සාමාන්‍යයෙන්, ඩිම්බ කෝෂ වලින් පිරිමි ලිංගික හෝමෝන ඉතාම කුඩා ප්‍රමාණයක් නිපදවයි. නමුත්, PCOS තත්ත්වයේදී, ඩිම්බ කෝෂ වලින් නිපදවන පිරිමි ලිංගික හෝමෝන ප්‍රමාණය මදකින් ඉහළ යයි. එමනිසා, කාන්තාවකගේ ඩිම්බ මෝචනය නතරවීම, කුරුලෑ හටගැනීම, සහ මුහුණේ හා ශරීරයේ අමතර රෝම හටගැනීම සිදුවිය හැක.
  • ශරීරය තුළ ඉන්සියුලින් හෝමෝන ක්‍රියාකාරීත්වයේ ගැටළු ඇතිවිය හැක. අග්න්‍යාශය හෙවත් ඇලදිව තුළ ඉන්සියුලින් නිපදවීම සිදුවුවද, ඉන්සියුලින් හෝමෝන ක්‍රියාකාරීත්වයට ශරීරය තුළ ප්‍රතිරෝධයක් (Insulin resistance) හටගැනීම සිදුවේ. එමනිසා, රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට නැඹුරුතාවයක් ඇතිවේ. කල්ගතවත්ම මෙම ක්‍රියාවලිය දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිකරයි.

PCOS තත්ත්වය ඇතිවීමට හේතු මොනවාද?

PCOS තත්ත්වය ඇතිවීමට හේතුව තවමත් මුළුමනින්ම හඳුනාගෙන නැත. නමුත්, ඒ සඳහා ජානමය බලපෑමක් තිබීමට හැකියාවක් ඇත. එය පරම්පරාවෙන් පරම්පරාවට ඇතිවන ස්වභාවයක් පෙන්නුම් කරන අතර, ඔබේ පවුලේ සාමාජික කාන්තාවකට PCOS තත්ත්වය, අක්‍රමවත් ඔසප්වීම, හෝ දියවැඩියාව ඇත්නම්, ඔබට PCOS තත්ත්වය වැළඳීමට වැඩි අවදානමක් ඇත. එමෙන්ම, PCOS තත්ත්වය මවගේ පාර්ශවයෙන් හෝ පියාගේ පාර්ශවයෙන් උරුම වීමට හැකියාව ඇත.

PCOS තත්ත්වයේ රෝග ලක්ෂණ මොනවාද?

රෝගයේ මුල් අවදියේදී මද වශයෙන් රෝග ලක්ෂණ පහල වේ. රෝග ලක්ෂණ ස්වල්පයක් හෝ රෝග ලක්ෂණ වලින් බොහොමයක් ඇතිවන අවස්ථා ද පවතී. PCOS තත්ත්වයේදී බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ නම්:

  • කුරුලෑ මතුවීම.
  • බර වැඩිවීම සහ බර අඩුකරගැනීමට අපහසු වීම.
  • බෙල්ල අවට සම කලුවීම.
  • මුහුණේ සහ සිරුරේ අමතර රෝම මතුවීම. බොහෝවිට, මුහුණේ ඝන සහ කලු පැහැති රෝම ඇතිවන අතර, පපුව, බඩ, හා පිට ප්‍රදේශයේ ද අමතර රෝම දැකිය හැක.
  • හිසකෙස් තුනීවීම.
  • ඔසප් චක්‍රය අක්‍රමවත්වීම. PCOS තත්ත්වය ඇති කාන්තාවන්ගෙන් බොහොමයකට වසරකදී ඇතිවන්නේ ඔසප් චක්‍ර නවයකට අඩු ගණනකි. ඇතැම් කාන්තාවන්ට ඔසප්වීම සිදුනොවේ. ඇතැම්විට, ඔසප් වීමේදී දැඩිව රුධිරය වහනය වීම දක්නට ලැබේ.
  • PCOS තත්ත්වය ඇති බොහොමයක් කාන්තාවන්ට මද සරුභාවය (Sub-fertility) ඇතිවේ.
  • විශාදය (Depression).

PCOS තත්ත්වය රෝග නිර්ණය කරන්නේ කෙසේද?

PCOS තත්ත්වය නිර්ණය කිරීම සඳහා ඔබේ වෛද්‍යවරයා:

ඔබගේ පසුගිය රෝග ඉතිහාසය, රෝග ලක්ෂණ, සහ ඔසප් චක්‍රය පිළිබඳව ප්‍රශ්න කිහිපයක් අසනු ඇත.

අධික රුධිර පීඩනය සහ අමතර රෝම වැනි PCOS තත්ත්වය සමග ඇතිවන රෝග ලක්ෂණ ඇතිදැයි බැලීමට ශාරීරික පරීක්ෂාවක් කරනු ඇත. එමෙන්ම, ඔබට සෞඛ්‍ය සම්පන්න ශරීර ස්කන්ධ දර්ශකය නැමැති අගය ලැබේ. මෙහිදී උස මීටර් වලින් ගත යුතුවේ. ශරීර ස්කන්ධ දර්ශකය මගින් පුද්ගලයෙකුගේ පෝෂණය පිළිබඳ අදහසක් ගත හැක.’>ශරීර ස්කන්ධ දර්ශකයක් (Body mass index or BMI) තිබේදැයි බැලීමට ඔබේ උස සහ බර මැන බලනු ඇත.

රුධිර පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමට නියම කරනු ඇත. එහිදී, රුධිරයේ සීනි, ඉන්සියුලින්, සහ අනෙක් හෝමෝන මට්ටම් පරීක්ෂා කෙරේ. එම පරීක්ෂණ මගින් PCOS තත්ත්වයට සමාන රෝග ලක්ෂණ ඇතිකරන තයිරොයිඩ් සහ වෙනත් ග්‍රන්ථි වල ගැටළු ඇතිදැයි පරීක්ෂා කරනු ලැබේ.

ඔබ අවිවාහක කාන්තාවක් නම් උදරය ඔස්සේ සහ විවාහක කාන්තාවක් නම් යෝනි මාර්ගය ඔස්සේ අතිධ්වනි තරංග ස්කෑන් පරීක්ෂාවක් (Ultrasound scan) කිරීම මගින් ඩිම්බ කෝෂ වල බිබිලි ඇතිදැයි පරීක්ෂා කර බලනු ඇත. එබඳු ස්කෑන් පරීක්ෂාවක් සිදුකිරීමෙන් තොරව ඔබට PCOS තත්ත්වය ඇතැයි නිර්ණය කිරීමට ඔබේ වෛද්‍යවරයාට හැකියාව පවතී. නමුත්, ස්කෑන් පරීක්ෂණය මගින් වෙනත් ගැටළු නැති බවට සැක හැර දැනගැනීමට හැකියාව ලැබේ.

PCOS තත්ත්වය සඳහා කලහැකි ප්‍රතිකාර මොනවාද?

නිතිපතා ව්‍යායාම කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර, සහ බර පාලනය ප්‍රතිකාර අතරින් වැදගත්ම අංග ලෙස සැලකිය හැක. නිසි ප්‍රතිකාර මගින් රෝග ලක්ෂණ සමනය කරගැනීමට හැකිවනවා මෙන්ම, දිගුකාලීන සෞඛ්‍ය ගැටළු ඇතිවීම වැළැක්වීමට ද හැකිවේ.

නිතිපතා අධි-තීව්‍ර ශාරීරික ක්‍රියාකාරකම් (High-intensity physical activities) සහිතව හෝ රහිතව මධ්‍යස්ථ-තීව්‍ර ශාරීරික ක්‍රියාකාරකම් (Moderate-intensity physical activities) සිදුකරන්න. මෙහිදී, ඇවිදීම බොහොමයක් අයට කලහැකි ව්‍යායාමයක් ලෙස දැක්විය හැක. අවම වශයෙන් දවසකට විනාඩි 30 ක් බැගින්, සතියකට අවම වශයෙන් දින 5 ක් වත් ව්‍යායාම කිරීමට අවශ්‍ය වේ.

සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න. එළවළු, පළා, පළතුරු, සහ කුරුට්ට සහිත ධාන්‍ය අඩංගු ආහාර රටාවකට හුරුවන්න. සංතෘප්ත මේදය අධිකව අඩංගු වන මස් වර්ග, චීස්, බේකරි කෑම වර්ග, බිස්කට්, ක්ෂණික ආහාර, සහ බදින ලද ආහාර සීමාකිරීම ඉතාම වැදගත් වේ. පිටි, සීනි, ලුණු, සහ තෙල් අධික ආහාර හා පාන ගැනීම හැකිතරම් සීමාකරන්න.

PCOS ඇති බොහොමයක් කාන්තාවන්ට බර අඩුකරගැනීමෙන් යහපත් ප්‍රතිඵල අත්වේ. බර කිලෝග්‍රෑම් 4.5 කින් අඩුකරගැනීම පවා හෝමෝන ක්‍රියාකාරීත්වය සමතුලිත කිරීමට සහ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීමට සමත් වේ.

ඔබ සක්‍රීය හෝ අක්‍රීය දුම්පානයට නතුවී ඇත්නම්, ඉන් මිදීමට කටයුතු කරන්න. අක්‍රීය හෝ සක්‍රීය දුම්පානය කරන කාන්තාවන්ගේ පිරිමි ලිංගික හෝමෝන මට්ටම වැඩිවන බැවින්, PCOS රෝග ලක්ෂණ පහල විය හැක.

ඇතැම් විට, ඔබේ වෛද්‍යවරයා රෝග ලක්ෂණ සමනය කිරීම සඳහා පවුල් සැලසුම් පෙති ගැනීමට නිර්දේශ කරනු ඇත. ඔබගේ ඔසප් චක්‍රය ක්‍රමවත් කිරීම සඳහා මෙට්ෆෝමින් (Metformin) නැමැති ඖෂධය ගැනීමට නියම කරනු ඇත. සාමාන්‍යයෙන්, එය ප්‍රති-දියවැඩියා ඖෂධයක් (Anti-diabetic drug) ලෙස භාවිතා කරයි. ඔබට මද සරුභාවය ඇත්නම්, සරුභාවය ඉහළ දමනු වස්, ඖෂධ නියම කරනු ඇත.

ඔබට ලබාදෙන ප්‍රතිකාර වල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට සහ ප්‍රතිකාර අඩු වැඩි කිරීමට, නැවත වෛද්‍යවරයා හමුවීමට නියම කරන දිනයේදී ඔහු හෝ ඇය හමුවීම ඉතා වැදගත් වේ. දියවැඩියාව, අධික රුධිර පීඩනය, සහ අනෙකුත් ගැටළු හඳුනාගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයා කලින් කලට නැවත පරීක්ෂාවන් සිදුකරනු ඇත. අමතර රෝම සහ කුරුලෑ වැනි රෝග ලක්ෂණ සමනය වීමට තරමක් කල් ගතවේ. ඔබේ වෛද්‍යවරයා කුරුලෑ සඳහා ද ප්‍රතිකාර නියම කරනු ඇත.

PCOS තත්ත්වය ඇතිවිට එයට මුහුණ දීම මදක් අපහසු කාරණයක් විය හැක. ඔබට ශෝකය, විශාදය, හෝ මානසික ආතතිය ඇත්නම් මානසික උපදේශකයෙක් හෝ PCOS තත්ත්වය ඇති වෙනත් කාන්තාවක් සමග කතා කරන්න.

(ඡායාරූප අනුග්‍රහය: Michael Coghlan)

සබැඳි ලිපි:

කාන්තා ඔබගේ ශරීරයේ අනවශ්‍ය ලෙස රෝම වර්ධනය වෙලාද?
මද සරුභාවය (Subfertility) ගැන මදක් දැනගනිමු.
ව්‍යායාම සහ ඔබේ ඔසප් චක්‍රය

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "PCOS තත්ත්වය හෙවත් ඩිම්බ කෝෂ වල බිබිලි හටගැනීම ගැන දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*