ඩෙංගු රෝගයෙන් වැළකීමට අප කුමක් කල යුතුද?

ඩෙංගු රෝගයෙන් වැළකීමට අප කුමක් කල යුතුද?

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය (dengue) වසංගතයක් මෙන් පැතිර යන්නේ ඊඩිස් ඊජිප්ටයි (Aedes aegypti) සහ ඊඩිස් ඇල්බොපික්ටස් (Aedes albopictus) නැමැති මදුරු විශේෂ දෙක මගිනි. ඩෙංගු රෝගය වෛරසයක් නිසා ඇතිවන්නකි. ඩෙංගු රෝගය වැළඳුනු රෝගියෙකුට දෂ්ට කල මදුරුවෙක් යලි නිරෝගී පුද්ගලයෙකුට දෂ්ට කලහොත්, නිරෝගී පුද්ගලයාට ඩෙංගු රෝගය බෝවීම සිදුවේ. ඩෙංගු රෝගය මාරාන්තික විය හැකි බැවින්, රෝගය පැතිරීම වැළැක්වීමට දායක වීම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපගේ යුතුකමක් මෙන්ම, වගකීමකි. එමනිසා, ඩෙංගු රෝගයෙන් වැළකීමට අප කලයුත්තේ කුමක්දැයි මදක් විමසා බලමු.

ඩෙංගු මදුරුවාගේ ජීවන චක්‍රය අනුපිළිවෙලින් බිත්තර, කීටයා, පිලවා, සහ මදුරුවා යන අවධි හතරකින් සමන්විතය. ගැහැණු මදුරුවා ජලය අඩංගු භාජන තුළ සහ ජලය එකතුවන ස්ථාන වල බිත්තර දැමීම සිදුකරයි. ඒ සඳහා විශාල ජලය ප්‍රමාණයක් අවශ්‍ය නොවන අතර, ඉතා කුඩා ජල ප්‍රමාණයක් වුවද ගැහැණු මදුරුවාට බිත්තර දැමීම සඳහා ප්‍රමාණවත් වේ. සාමාන්‍යයෙන්, බිත්තර වලින් මදුරුවෙක් බිහිවීම සඳහා දින 7-9 ක් පමණ ගතවේ. බිත්තර දැමූ භාජනයක ජලය සිඳී ගියද, වියළි භාජනය තුළ මාස ගණනක් සජීවීව පැවතීමට මදුරු බිත්තර වලට හැකියාව පවතී. මාස ගණනකට පසුව වුවද, නැවත භාජනයට ජලය පිරුනහොත්, බිත්තර වලින් මදුරුවන් බිහිවීම සිදුවේ. ඩෙංගු වාහක මදුරුවාගේ බිත්තර භාජනයේ බිත්තියට, හෝ ජලය එකතුවන ස්ථානයක මතුපිටට තදින් ඇලී පවතින බැවින්, ජලය හිස්කිරීමෙන් පමණක් මදුරු බිත්තර විනාශ නොවේ. ජලය ඉවත්කර භාජනයේ බිත්ති සහ ජලය එකතුවන ස්ථාන වල මතුපිට තදින් අතුල්ලා සේදීමෙන් මදුරු බිත්තර ඉවත්කල යුත්තේ එබැවිනි. එමෙන්ම, ගැහැණු මදුරුවාගේ ශරීරයේ ඩෙංගු වෛරසය පැවතුනහොත්, බිත්තර ඔස්සේ ඊළඟ මදුරු පරම්පරාවට ද ඩෙංගු වෛරසය පැතිරේ. එවිට, අලුතෙන් බිහිවූ එවන් මදුරුවෙකුගෙන් ඩෙංගු රෝගය බෝවීමට ඩෙංගු රෝගියෙකුගෙන් රුධිරය උරාබීමට අවශ්‍ය නොවේ.

ඩෙංගු මදුරුවා බෝවීම වැළැක්වීම සඳහා මදුරුවාගේ ජීවන චක්‍රයේ එක් අවධියක් හෝ විනාශ කිරීම කල යුතුය. වැඩුනු මදුරුවෙක් ලෙස පරිසරයට පියඹා ගිය පසු මදුරුවා විනාශ කිරීම මදක් අපහසුය. නමුත්, ඩෙංගු වාහක මදුරුවාගේ බිත්තර, කීටයා, සහ පිලවා යන අවස්ථා තුනම ජලයේ ගතකරන බැවින්, එම අවස්ථාවන් විනාශ කිරීම වඩාත් පහසුය. වැඩුණු ඩෙංගු මදුරුවෙකුට පරිසරයේ ස්වභාවය අනුව, සති දෙකක කාලයක සිට මාසයක් දක්වා ජීවත් වීමට හැකියාව ඇත. එමෙන්ම, වැඩුණු ඩෙංගු මදුරුවෙකුට පොළව මට්ටමේ සිට මීටර් 200 ක් පමණ ඉහළට පියාසර කල හැකි බැවින්, උස ගොඩනැගිලි වල ඉහළ මහල් දක්වා පියාසර කර දෂ්ට කිරීමට සහ බිත්තර දැමීමට හැකියාව ඇත. එපමණක් නොව, වැඩුණු ඩෙංගු මදුරුවෙකුට පොළවට සමාන්තරව මීටර් 500 ක් (කිලෝමීටර් භාගයක්) දක්වා දුරකට වුවද පියාසර කිරීමට හැකියාව පවතී. එමනිසා, අවම වශයෙන් සතියකට වරක් වත්, ඔබේ නිවස තුළ සහ අවට පරිසරයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා ඒවා විනාශ කිරීමට කටයුතු කරන්න.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මොනවාද?

  • ඉවතලන ප්ලාස්ටික්, මැටි, වීදුරු, සහ ලෝහ බඳුන්
  • විසිතුරු මල් බඳුන්
  • බැරල්
  • කුරුළු නාන තටාක
  • වතුර ටැංකි
  • ශීතකරණ තැටි
  • ඉවතලන ටයර්
  • පොල් කෝම්බ සහ පොල්කටු
  • වැහි පිහිලි
  • ජල උගුල්
  • බෝතල් මූඩි
  • බ්‍රොමීලියා, අන්නාසි, කෙසෙල්, හබරල වැනි ශාඛ පත්‍ර අතර
  • ගස් බෙන වැනි ස්වාභාවිකව ජලය එකතුවන ස්ථාන
  • මිනිසුන් විසින් ඇතිකරනු ලබන අනෙකුත් ජලය රැඳෙන ස්ථාන

වැඩිහිටි මදුරුවන් නිවෙස් තුළ සහ නිවසින් පිටත පරිසරයේ ඇති අඳුරු ස්ථාන වල ගැවසීමට වැඩි ප්‍රියතාවයක් දක්වයි.

ඩෙංගු මදුරුවන් බෝවීම වැළැක්වීමට කුමක් කල යුතුද?

  • භාවිතා කල හැකි ඉවතලන ප්ලාස්ටික්, වීදුරු, ලෝහ බඳුන්, බෝතල්, ටින් ආදිය ප්‍රතිචක්‍රීයකරණය කරන්න. ඒවා විකුණා අමතර ආදායමක් ද උපයාගැනීමට හැකියාව ඇත. අනෙකුත් භාජන මදුරුවන් බෝනොවන ලෙස විනාශ කර දමන්න. නැතහොත් වළලා දැමීමට හෝ තලා දැමීමට කටයුතු කරන්න.
  • ඉවතලන ටයර් වල වතුර නොරැඳෙන සේ වැලි පිරවීම හෝ සිදුරු කිරීම කරන්න. නැතහොත්, ජලය නොරැඳෙන සේ ගබඩා කරන්න.
  • හැඩය වෙනස් වී ඇති හෝ පිරිසිදු කිරීම කල නොහැකි වැහි පිහිලි ගලවා ඉවත් කරන්න. නැතහොත්, වැහි පිහිලි වල සිරවී ඇති කොළ රොඩු ඉවත්කර නිතර පිරිසිදු කරන්න.
  • වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශීතකරණ තැටි වැනි ජලය එකතුවන භාජන අවම වශයෙන් සතියකට වරක් වත් බුරුසුවකින් හොඳින් අතුල්ලා පිරිසිදු කරන්න.
  • ලිං, වතුර ටැංකි, සහ වතුර එක් රැස් වන ස්ථාන මදුරුවන්ට ඇතුළු විය නොහැකි ලෙස දැල් යොදා ආවරණය කරන්න.
  • පත්‍ර අතර ජලය රැඳෙන බ්‍රොමීලියා වැනි ශාක ගෙවත්තෙන් ඉවත් කරන්න. එවැනි ශාඛ වගා කිරීමෙන් ද වළකින්න.
  • ජලය රැඳීමට හැකි ගස් බෙන, උණ පුරුක් වැනි ස්ථාන ජලය නොරැඳෙන සේ තබාගැනීමට සැලකිලිමත් වන්න. එවැනි ස්ථාන වලට වැලි පිරවීම සිදුකල හැක.
  • අවම වශයෙන් සතියකට වරක් වත්, ගෙවත්ත සහ ගෙතුළ හොඳින් පරීක්ෂා කර මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කරන්න.
  • නිරන්තරයෙන් ජලය රැස්වී පවතින ස්ථාන වල හැකි සෑම තැනකටම ගප්පි නැමැති මදුරු කීට භක්ෂක මසුන් බෝකිරීමට කටයුතු කරන්න.

මදුරුවන් බෝවීම වැළැක්වීම සඳහා කර්මාන්ත සහ වැඩබිම් පරිශ්‍ර තුළ කුමක් කල යුතුද?

  • රැස්කරන ජලය දවසක් හැර දවසක් මාරු කරන්න. නැතහොත්, මදුරුවන්ට ඇතුළු විය නොහැකි වනසේ වසා තබන්න.
  • භාවිතා නොකරන ජලය රැස්කරන බඳුන් ජලය නොරැඳෙන සේ තබන්න.
  • පරිශ්‍රය තුළ සහ පිටත ඇති භාවිතා නොකරන අනවශ්‍ය සියළුම ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කරන්න.
  • කොන්ක්‍රීට් තට්ටු සහ උපකරණ වසා ඇති කැන්වස් ෂීට් සහ ඉටිකවර මත රැඳෙන ජලය නිරතුරුව පරීක්ෂා කර ඉවත් කරන්න. බිම ඇති ඉටි කවර වල නැමුම් වල ජලය රැඳී ඇත්දැයි පරීක්ෂා කර නිතර ඉවත් කරන්න.
  • අනවශ්‍ය ලෙස රැඳෙන ජලය දිනපතා ඉවත් කරන්න.
  • අවට පරිසරය සැමවිටම පිරිසිදුව තබාගන්න.
  • නිරන්තර පරීක්ෂාව සඳහා කණ්ඩායමක් පත්කරගන්න.

ඩෙංගු උවදුරෙන් පාසල ආරක්ෂා කරගන්නේ කෙසේද?

  • නිතිපතා පාසැල් භූමිය පරීක්ෂා කිරීම සඳහා වගකිව යුතු නිලධාරියෙක් පත්කරගන්න.
  • ඉවතලන සියළුම ද්‍රව්‍ය බැහැර කර දිනපතා පාසැල් භූමිය පිරිසිදු කරන්න.
  • මල් බඳුන් වල ජලය දිනපතා ඉවත් කරන්න.
  • ජලය ගබඩා කරන අනෙකුත් භාජන මදුරුවන්ට ඇතුළු විය නොහැකි වනසේ වසා තබන්න.
  • සැමවිටම කසල වර්ගීකරණය කර බැහැර කරන්න.
  • මදුරුවන් දෂ්ට කිරීම වැළැක්වීමට මදුරු විකර්ෂක භාවිතය දිරිගන්වන්න.

ඩෙංගු රෝගයෙන් වැළකීමට අප සැවොම එක් විය යුතුය. නිවසේ සහ අප අවට පරිසරයේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම හෝ ඉවත් කිරීම අප සතු යුතුකමක් මෙන්ම, වගකීමකි. නැතහොත්, ඩෙංගු රෝගයේ මීළඟ ගොදුර ඔබ හෝ ඔබේ සමීපතම අයෙකු විය හැක.

(ඡායාරූප අනුග්‍රහය: Agência Brasília)

සබැඳි ලිපි:

ඩෙංගු වසංගතයෙන් ගැලවීමට අපිත් දායක වෙමු.
තාවකාලිකව රෝහලට ඇතුළත් කර නොගත් ඩෙංගු රෝගියෙක් කල යුත්තේ කුමක්ද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ඩෙංගු රෝගයෙන් වැළකීමට අප කුමක් කල යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*