තාවකාලිකව රෝහලට ඇතුළත් කර නොගත් ඩෙංගු රෝගියෙක් කල යුත්තේ කුමක්ද?

තාවකාලිකව රෝහලට ඇතුළත් කර නොගත් ඩෙංගු රෝගියෙක් කල යුත්තේ කුමක්ද

මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකම ඩෙංගු රෝගය වසංගතයක් ලෙස පැතිර යමින් තිබේ. දිවයිනේ රෝහල් ගණනාවක්ම ඩෙංගු ඇතුළු උණ රෝගීන්ගෙන් සංතෘප්තව පවතින බව වාර්තා වේ. ඇතැම් රෝහල් වල එක ඇඳකට රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් සිටින බව දැකිය හැක. ඇතැම් රෝගීන් රෝහල් වල ප්‍රමාණවත් තරම් ඇඳන් නොමැති බැවින්, බිම සිටින බවටද වාර්තා වේ. එමනිසා, ඩෙංගු රෝගය වැළඳුනු සෑම රෝගියෙකුටම රෝහලක නැවතී ප්‍රතිකාර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම අපහසු කාරණයකි. සංකූලතා නොමැති, ඩෙංගු රෝගයේ මුල් අවධි වල සිටින ඇතැම් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව ඇත. ඩෙංගු ප්‍රතිදේහජනක පරීක්ෂණයෙන් (Dengue NS1 antigen test) ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇති බව තහවුරු වූ පමණින්, රෝහල්ගත වීම අත්‍යාවශ්‍ය නොවේ. එමෙන්ම, මෙම පරීක්ෂණයෙන් ඩෙංගු රෝගය වැළඳී නොමැති බව පැවසුනද, ඔබට ඩෙංගු රෝගය වැළඳී තිබීමට ඉඩ ඇත. මෙම පරීක්ෂණය වඩාත් නිරවද්‍ය වන්නේ උණ වැළඳී පළමු පැය 24 තුළ පමණි. උණ වැළඳී පළමු පැය 24 ඉක්මවා කල්ගත වත්ම, මෙම පරීක්ෂණයේ නිරවද්‍යතාවය ක්‍රමයෙන් අඩුවේ. ඔබ තාවකාලිකව රෝහලට ඇතුළත් කර නොගත් ඩෙංගු රෝගියෙක් නම්, නිවසේදී ඔබ කුමක් කල යුතු දැයි මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.

නිවසේ සිට ඩෙංගු රෝගය කළමනාකරණය කිරීම සැමවිටම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ පමණක් සිදුකරන්න. දිනපතා කරන සම්පූර්ණ රුධිර පරීක්ෂාවේ (Full blood count or FBC) පෙන්වන රුධිර පට්ටිකා (Platelets) ප්‍රමාණය අනුව රෝහල්ගත වීම තීරණය වන බව කරුණාවෙන් සලකන්න.

විවේකය

ඔබගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුවවන තුරු හොඳ විවේකයකින් පසුවීම ඉතාම වැදගත් වේ. ඇවිදීම, ගමන් බිමන් යාම, රාජකාරියට යාම, පාසලට යාම, පෞද්ගලික පංති වලට සහභාගී වීම, නිදි වැරීම ආදී ක්‍රියාවන්ගෙන් බැහැරව නිවසට වී විවේකයෙන් සිටින්න.

උණ පාලනය

උණ පාලනය කිරීම සඳහා පැරසිටමෝල් පමණක් නියමිත මාත්‍රාවට අනුව ගත යුතුය. පැරසිටමෝල් මාත්‍රාව සහ උණ පාලනය පිළිබඳ වැඩිදුර උපදෙස් ඔබේ වෛද්‍යවරයාගෙන් විමසා දැනගන්න. කිසිම හේතුවක් නිසා ස්ටෙරොයිඩ නොවන ප්‍රතිප්‍රදාහ ඖෂධ (Non-steroidal anti-inflammatory drugs or NSAIDs) කාණ්ඩයට අයත්වන ඉබියුප්‍රොෆන් (Ibuprofen), ඩයික්ලොෆෙනැක් සෝඩියම් (Diclofenac sodium), ඩයික්ලොෆෙනැක් පොටෑසියම් (Diclofenac potassium), මෙෆෙනමික් ඇසිඩ් (Mefenamic acid), සෙලෙකොක්සිබ් (Celecoxib), ඉන්ඩොමෙතසින් (Indomethacin) වැනි වේදනා නාශක නොගත යුතුය. එවැනි ඖෂධ ගුද මාර්ගය ඔස්සේ (Suppository) ලබාගැනීමෙන් ද වළකින්න. එමෙන්ම, ස්ටෙරොයිඩ් ඖෂධ (Steroids) කාණ්ඩයට අයත්වන ප්‍රෙඩ්නිසොලෝන් (Prednisolone), ඩෙක්සාමෙතසෝන් (Dexamethasone) වැනි ඖෂධ ද නොගත යුතුය. උණ පාලනය කිරීම සඳහා උණු ජලයෙන් තෙමාගත් පිරිසිදු රෙදිකඩක් හොඳින් මිරිකා ජලය ඉවත්කොට එහි උණුසුම පහව යාමට පෙර ශරීරය පිසදැමීම කල හැක. එමගින්, උණ තත්ත්වය ඉක්මනින් පහව යාම සිදුවනු ඇත.

සම්පූර්ණ රුධිර පරීක්ෂාව (Full blood count or FBC) සිදුකල යුතු ආකාරය

ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව පැය 12 කට හෝ පැය 8 කට වරක් රුධිර පරීක්ෂාවක් සිදුකල යුතුවේ. එම වාර්තාව ඔබ වෙත ලැබී පැය 2 ක් වැනි කාලයක් තුළ ඉක්මනින් වෛද්‍යවරයාට පෙන්වා උපදෙස් ලබාගන්න. රුධිර පට්ටිකා ප්‍රමාණය 130,000/mm3 ට ආසන්නව ඇත්නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න. වෛද්‍යවරයා මුණගැසෙන විට ඔබ මෑතකදී ලබාගත් සියළුම රුධිර පරීක්ෂණ වාර්තා අනුපිළිවෙලින් සකසා රැගෙන යන්න.

ආහාර පාන

ඔබගේ ආහාර රුචිය පවතී නම්, සාමාන්‍ය පරිදි සැහැල්ලු ආහාර ගත හැකිය. දුඹුරු, රතු වැනි තද පැහැති ආහාර සහ පානයන් ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසුය. එමගින්, ඩෙංගු රෝගය සමග ඇතිවිය හැකි වමනය හෝ මළපහ සමග සිදුවන රුධිර වහන තත්ත්වයක් පහසුවෙන් හඳුනාගැනීමට හැකිවේ.

දියර පානය

ජලය පමණක් නොව ස්වාභාවික පළතුරු යුෂ, තැඹිලි, කැඳ, සුප්, ජීවනී වැනි ලවණ සහිත දියර පානය කිරීම වැදගත් වේ. සාමාන්‍යයෙන්, ඔබ නිරෝගීව සිටින විට පිටකරන මුත්‍රා ප්‍රමාණයට සමාන මුත්‍රා ප්‍රමාණයක් පිටවන තරමට දියර පානය කිරීම සෑහේ. නමුත්, ඇතැම් රෝගීන් දියර පානය කිරීමට උනන්දුවක් නොදැක්වීම නිසා, ඩෙංගු රෝගය උග්‍ර අතට හැරීම සිදුවිය හැකි බැවින්, පහත සඳහන් නිර්දේශයන්ට අනුව දියර පානය කිරීම වඩාත් සුදුසුය.

ශරීරයේ බර කිලෝග්‍රෑම් 30-50 දක්වා වන රෝගීන්, තම ශරීරයේ බර මෙන් දෙගුණයකට සමාන දියර මිලිලීටර් ප්‍රමාණයක් පැයකට පානය කල යුතුය. උදාහරණයක් ලෙස, ඔබේ බර කිලෝග්‍රෑම් 40 ක් නම්, ඔබ පැයකට දියර මිලිලීටර් 80 ක් බැගින් පානය කල යුතුය. ශරීරයේ බර කිලෝග්‍රෑම් 30 ට වඩා අඩු අය සඳහා මෙම අගයන් මදක් වෙනස් වන අතර, බර කිලෝග්‍රෑම් 50 ට වඩා වැඩි රෝගීන් සියළුදෙනාම පානය කලයුත්තේ පැයකට මිලිලීටර් 100 බැගින්ය.

ශරීරයේ බරපැයකදී පානය කල යුතු දියර ප්‍රමාණය
5kg20ml
10kg40ml
20kg60ml
30kg70ml
40kg80ml
50kg100ml
50kg ට වැඩි100ml

ඔබ විසින් පැයකදී පානය කල යුතු දියර ප්‍රමාණය පිළිබඳ ගැටළුවක් ඇත්නම්, ඔබේ වෛද්‍යවරයා මුණගැසී උපදෙස් ලබාගන්න. දියර මැනීම සඳහා සැමවිටම නිසි ලෙස ක්‍රමාංකනය කරන ලද කෝප්පයක් හෝ ජෝගුවක් භාවිතා කරන්න.

තාවකාලිකව රෝහලට

ක්‍රමාංකනය කරන ලද ජෝගුවක්

මුත්‍රා පිටවීම

ඔබේ ශරීරයේ බරට (කිලෝග්‍රෑම් වලින්) සමාන මුත්‍රා මිලිලීටර් ප්‍රමාණයක් පැයකදී පිටවන තරමට දියර පානය කල යුතුය. එසේ කිරීමෙන්, විජලනය ඇතිවීම වළක්වා ගැනීමට හැකිවේ. අවම වශයෙන්, පැය 4 කට වරක් වත් මුත්‍රා පිටකර එම ප්‍රමාණය මැන සටහන් කරගත යුතුවේ. උදාහරණයක් ලෙස, ශරීරයේ බර අනුව පිටකල යුතු මුත්‍රා ප්‍රමාණය පහත වගුවේ දක්වා ඇත.

රෝගියාගේ බරපැයකදී පිටකල යුතු මුත්‍රා ප්‍රමාණයපැය 4 කදී පිටකල යුතු මුත්‍රා ප්‍රමාණය
20kg20ml80ml
40kg40ml160ml
60kg60ml240ml

පිටවන මුත්‍රා ප්‍රමාණය, ගණනය කල අගයට වඩා මදක් වැඩිවීම ගැටළුවක් නොවේ. නමුත්, පිටවන මුත්‍රා ප්‍රමාණය ගණනය කල අගයට වඩා අඩු නම්, මුත්‍රා ප්‍රමාණය නිසි ප්‍රමාණයට වැඩිවන තෙක්, පානය කරන දියර ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිකරන්න. මීට අමතරව, පිපාසය ඇති විට, පිපාසය සංසිඳෙන තෙක් වැඩිපුර දියර ප්‍රමාණයක් දිනකට 3-4 වතාවක් පානය කිරීමේ ගැටළුවක් නැත. නමුත්, පිපාසය දිගටම පවතී නම්, වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.

නිවසේදී පානය කල දියර ප්‍රමාණය හා පිටකල මුත්‍රා ප්‍රමාණය, දිනය හා වේලාව සමග සටහන් කර, වෛද්‍යවරයා හමුවන විට රැගෙන යන්න. ඒ සඳහා පහත සඳහන් ආකාරයේ ආකෘතියක් උපයෝගී කරගත හැක.

දිනය සහ වේලාවපානය කල දියර ප්‍රමාණයදිනය සහ වේලාවපිටකල මුත්‍රා ප්‍රමාණය
----------------
----------------
----------------
----------------
----------------

ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වෙනත් අවස්ථා මොනවාද?

  • දිගටම පවතින වමනය හෝ දියර ලෙස මළපහ පිටවීම (විජලනය වීමට අවදානමක් ඇති බැවින්)
  • තද තෙහෙට්ටු ගතිය.
  • ශරීරයේ ඕනෑම ස්ථානයකින් රුධිර වහනය වීමක් ඇතිවීම.
  • තද හිසරදය.
  • උදරයේ තද වේදනාවක් හටගැනීම.

මීට අමතරව ඔබට අපහසුතාවයක් දැනෙන ඕනෑම අවස්ථාවකදී ලඟම ඇති රෝහලට නොපමාව පැමිණීම සුදුසු වේ. වෙනත් රෝග වලදී මෙන් නොව, ඩෙංගු රෝගයේදී උණ බැසයාම යනු රෝගය සුවවීම නොවිය හැක. බොහෝවිට ඩෙංගු රෝගයේ සංකූලතාවයන් ඇතිවීම ආරම්භ වන්නේ උණ බැස යාමත් සමගය. එමනිසා, ඒ පිළිබඳව සැලකිලිමත් වී අවශ්‍ය අවස්ථාවේදී අප්‍රමාදව වෛද්‍යවරයා හමුවන්න. සැමවිටම, ඩෙංගු රෝගය සඳහා සුදුසු යැයි ප්‍රචාරය වන ව්‍යාජ ඖෂධ හා අත්බෙහෙත් භාවිතා කිරීමෙන් වළකින්න.

මූලාශ්‍රය: වසංගත රෝග විද්‍යා අංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය

(ඡායාරූප අනුග්‍රහය: jentavery)

සබැඳි ලිපි:

ඩෙංගු වසංගතයෙන් ගැලවීමට අපිත් දායක වෙමු.
ඩෙංගු රෝගයෙන් වැළකීමට අප කුමක් කල යුතුද?
මී උණ රෝගය (Leptospirosis) ගැන දැනගනිමු.

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "තාවකාලිකව රෝහලට ඇතුළත් කර නොගත් ඩෙංගු රෝගියෙක් කල යුත්තේ කුමක්ද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*