දරුවාගේ සමේ ආසාදනයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

දරුවාගේ සමේ ආසාදනයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

දරුවන්ගේ සමේ ආසාදන (Skin infections) හටගැනීම එතරම් දුලබ දෙයක් නොවන අතර, විසර ගෙඩි සහ සෛලීයදාහය (Cellulitis) දරුවන් අතර දක්නට ලැබෙන සමේ ආසාදන වලට උදාහරණ ලෙස දැක්විය හැක. විසර ගෙඩි හටගැනීමේදී සමේ යම් නිශ්චිත ස්ථානයක සැරව එකතුවීම සිදුවේ. සෛලීයදාහයේදී සමේ ගැඹුරු පටක ස්ථර වල සහ සමට යටින් පවතින පටක වල බැක්ටීරියා ආසාදනයක් හටගැනීම සිදුවේ. බොහොමයක් සමේ ආසාදන වලට හේතුවන්නේ Streptococcus සහ Staphylococcus නැමැති බැක්ටීරියා ගණ දෙකයි. කෙසේ වුවත්, මෙම ආසාදන වර්ග දෙකටම ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වේ. ඔබේ දරුවාගේ සමේ ආසාදනයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

සමේ ආසාදනයකදී ඇතිවන රෝග ලක්ෂණ මොනවාද?

විසර ගෙඩි:

  • සමට යටින් ඉදිමීමක් හටගැනීම.
  • ගෙඩිය කුඩාවට ආරම්භ වී ක්‍රමයෙන් විශාල වීම.
  • විසර ගෙඩියට ඉහලින් පවතින සම රතුපැහැවීම සහ උණුසුම් වීම.
  • ස්පර්ශ කිරීමේදී වේදනාවක් ඇතිවීම.
  • කහ පැහැති හෝ රුධිරය මිශ්‍ර ශ්‍රාවයක් පිටවීම සිදුවිය හැක.

සෛලීයදාහය:

  • ස්පර්ශ කලවිට වේදනාකාරී වන, රතුපැහැ සහ උණුසුම් ප්‍රදේශයක් සමේ හටගැනීම.
  • සමේ ඇති තුවාළයක්, සීරීමක්, හෝ කැපුමක් ආශ්‍රිතව හටගැනීමට ඉඩ ඇත.
  • රතුපැහැය සම පුරා ඉක්මනින් පැතිරීම සිදුවිය හැක.
  • උණ
  • දරුවා රෝගී ස්වභාවයක් ගැනීම.
  • සමේ ආසාදනය වූ ප්‍රදේශය ආශ්‍රිත වසා ගැටිති ඉදිමීම.

දරුවාගේ සමේ ආසාදනයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

  • සමේ ඇතිවන කුඩා සතුන් විදින ලද ස්ථාන, පලු, විසර ගෙඩි, හෝ කුරුළෑ පිපිරවීම, කැසීම, හෝ ඒවාට ඇනීම නොකල යුතු බව දරුවාට උගන්වන්න.
  • දරුවාට ශාරීරික අපහසුතාවයක්, වේදනාවක්, හෝ උණ ඇති නම්, නියමිත මාත්‍රාවට පැරසිටමෝල් ලබාදෙන්න.

වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවිය යුත්තේ කුමන අවස්ථා වලදී ද?

පහත සඳහන් ලක්ෂණ එකක් හෝ පවතී නම්, දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සිදුකල යුතුය.

  • ඔබේ දරුවාගේ සමේ සැලකිය යුතු ප්‍රදේශයක ආසාදනය පැවතීම.
  • සමේ ආසාදනය ක්‍රමයෙන් විශාල හෝ උග්‍ර වීම.
  • දරුවා රෝගී ස්වභාවයකින් පසුවීම.
  • දරුවාට උණ හෝ වෙව්ලීම පැවතීම
  • සමේ ආසාදනය වූ ප්‍රදේශය ආශ්‍රිතව රතුපැහැ වයිරම් හෝ රේඛා පැවතීම.

දරුවාගේ සමේ ආසාදන හටගැනීම වැළැක්වීමට කුමක් කල යුතුද?

නිතර හොඳින් අත් සේදීමට උපදෙස් දෙන්න. විශේෂයෙන්, ආසාදිත ප්‍රදේශයක් ස්පර්ශ කල පසු අත් සේදීම ඉතාම වැදගත් වේ. දරුවාගේ සමේ පවතින සීරීම්, කැපුම්, සහ තුවාළ හොඳින් සබන් සහ ජලය යොදා සෝදා, වියලීමෙන් අනතුරුව, ප්‍රතිජීවක ඖෂධ අඩංගු ක්‍රීම් වර්ගයක් හෝ දියරයක් ආලේප කර, පිරිසිදු සහ වියළි බැන්ඩේජ් එකකින් ආවරණය කරන්න. තුවා, ඇඳුම්, රේසර්, සහ ක්‍රීඩා වලදී භාවිතා කරන ඇඳුම්, පැළඳුම් හවුලේ භාවිතා කිරීමෙන් වළකින ලෙසට උපදෙස් දෙන්න.

(ඡායාරූප අනුග්‍රහය: Skeyndor Cosmética Científica)

සබැඳි ලිපි:

ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්නේ කෙසේද?
ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?
ඔබේ දරුවාට උණ සෑදුන විට කුමක් කලයුතුද?
කුඩා දරුවන්ට වැළඳෙන ආසාදන වලක්වා ගන්නේ කෙසේද?
දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාගේ සමේ ආසාදනයක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*