ගර්භණී මවක් වහාම රෝහල්ගත විය යුතු අවදානම් සහගත අවස්ථා 7 ක්

ගර්භණී මවක් වහාම රෝහල්ගත විය යුතු අවදානම් සහගත අවස්ථා 7 ක්

ගර්භණී අවධියේදී ඇතිවන සමහර ලක්ෂණ එම කාලය තුළ ඇතිවන සාමාන්‍ය ලක්ෂණ වන අතර, ඇතැම් ලක්ෂණ අවදානම් සහගත අවස්ථාවක් පෙන්නුම් කරන ඒවා විය හැකියි. එමනිසා, එවැනි අවදානම් සහගත අවස්ථා පිළිබඳව දැනුවත් වී සිටීම මගින්, කුස තුළ වැඩෙන දරුවාට සහ මවට සිදුවිය හැකි හානි අවම කරගැනීමට හෝ වළක්වා ගැනීමට හැකියාව ලැබේ. එමගින්, ඊළඟ මාතෘ සායන දිනය තෙක් සිට වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ කුමන ලක්ෂණ සඳහාද, වහාම රෝහල්ගත විය යුත්තේ කුමන ලක්ෂණ සඳහාද යන්න තීරණය කිරීමට මවට හැකියාව ලැබේ. ගර්භණී මවක් වහාම රෝහල්ගත විය යුතු අවදානම් සහගත අවස්ථා 7 ක් පිළිබඳව මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ. පහත සඳහන් ලක්ෂණ එකක් හෝ ගර්භණී මවකට ඇත්නම්, වහාම රෝහල්ගත වීමට අවශ්‍ය වේ.

රුධිර වහනය

සමස්ථ ගර්භණී අවධිය පුරාවටම, යෝනි මාර්ගයෙන් රුධිර වහනය වීම යනු අසාමාන්‍ය ලක්ෂණයකි. ගර්භණී අවධියේ මුල් ත්‍රයිමාසිකය (First trimester) තුළදී තදින් රුධිරය වහනය වීමත් සමග, උදරයේ දැඩි වේදනාවක්, ඔසප් වීමේදී ඇතිවන ආකාරයේ වේදනාවක්, හෝ ක්ලාන්ත ස්වභාවයක් දැනේ නම්, එය ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමක (Ectopic pregnancy) ලක්ෂණ වියහැක. එවැනි ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීමක් මවගේ ජීවිතයට අනතුරක් ඇතිකල හැක.

මුල් ත්‍රයිමාසිකය තුළ හෝ දෙවන ත්‍රයිමාසිකයේ මුල් අවධිය තුළ උදරයේ වේදනාවක් සමග තදින් රුධිර වහනය වීම, ගබ්සා වීමක ලක්ෂණ වියහැක. තෙවන ත්‍රයිමාසිකය තුළදී උදරයේ වේදනාවක් සමග රුධිරය වහනය වීමක් සිදුවුවහොත්, එය වැදැමහ ගර්භාෂ ආස්තරයෙන් වෙන්වීම (Placental abruption) හෝ වැදෑමහ අසාමාන්‍ය අයුරින් පහතින් පිහිටා තිබීම නිසා සිදුවිය හැක.

කෙසේ වුවත්, ගර්භණී අවධියේදී රුධිරය වහනය වීම සැමවිටම අවදානම් සහගත අවස්ථාවක් බැවින්, වහාම රෝහල්ගතවීම වැදගත් වේ.

දැඩි ඔක්කාරය සහ වමනය

ගර්භණී අවධියේදී යම් ප්‍රමාණයකට ඔක්කාරය සහ වමනය පැවතීම සාමාන්‍ය දෙයකි. නමුත්, එය දැඩිව පවතී නම්, මවට සහ දරුවාට හානි සිදුවීමට ඉඩ ඇත. ගර්භණී මවකට කිසිම ආහාරයක් ගැනීමට හෝ පානය කිරීමට නොහැකි නම්, ඇය විජලණයට ලක්වීමට දැඩි අවදානමක් ඇතිවේ. එපමණක් නොව, දැඩි වමනය නිසා කුස තුළ වැඩෙන දරුවාට පෝෂ්‍ය පදාර්ථ ලැබීම අඩුවන අතර, දරුවා විජලණයට ලක්වීම ද සිදුවේ.

දරුවාගේ චලනයන් අඩුවීම.

දරුවා කුස තුළ නිරෝගීව සිටින බවට හඳුනාගත හැකි එක් සලකුණක් වන්නේ දරුවාගේ චලනයන් ය. දරුවාගේ චලනයන් සිදුවන රටාව දරුවාගෙන් දරුවාට වෙනස් වන අතර, එය දැනෙන ආකාරය ද මවගෙන් මවට වෙනස් වේ. දවසේ ඇතැම් වේලාවන් තුළ දරුවාගේ චලනයන් මදක් අඩුවීම සාමාන්‍ය දෙයකි. නමුත්, සක්‍රීයව සිටි දරුවාගේ චලනයන් එකවරම අඩුවීම හෝ දරුවා සාමාන්‍යයෙන් සක්‍රීයව සිටින වේලාවන් තුළ සිදුවන චලනයන් අඩුවීම අසාමාන්‍ය දෙයක් වීමට ඉඩ ඇත. මෙය වෙන්කර හඳුනාගන්නේ කෙසේද? දරුවාගේ චලනය අඩු යැයි සැකයක් පවතී නම්, යම් ආහාරයක් හෝ සිසිල් පානයක් ගෙන ඉන් පසුව පැත්තකට හැරී වැතිර, දරුවා චලනය වන්නේ දැයි පරීක්ෂා කලහැක. දරුවාගේ චලනයන් දිනපතා සටහන් කරගැනීම ද තවත් ක්‍රමයකි. කුස තුළ සිටින දරුවා චලනය වන වාර ගණනට නිශ්චිත අගයක් නැත. නමුත්, දරුවාගේ චලනයන් සාමාන්‍ය හෝ අඩු බව අවබෝධ කරගැනීමට මූලික හැකියාවක් ගර්භණී මවකට තිබිය යුතුය. කෙසේ වුවත්, කුස තුළ වැඩෙන දරුවා සාමාන්‍යයෙන් පැය දෙකක කාලයක් තුළ වාර 10 ක් හෝ එයට වැඩි වාර ගණනක් චලනය විය යුතුය. දරුවාගේ චලනය අඩු යැයි සැකයක් පවතිනවා නම්, ඉක්මනින් වෛද්‍ය උපදෙස් පැතීම වැදගත් වේ.

ප්‍රසූත වේදනාවන් ඇතිවීම.

වේදනාවක් සමග ගර්භාෂයේ හැකිලීම් හටගැනීම, නිසි කාලයට පෙර දරු උපත සිදුවන බවට ලක්ෂණයක් වියහැක. පළමු දරු ප්‍රසූතියට සූදානම් වන මවකට සත්‍ය ප්‍රසූත වේදනාව (True labor) සහ ව්‍යාජ ප්‍රසූත වේදනාව (False labor) වෙන්කර හඳුනාගැනීම අපහසු වියහැක. ව්‍යාජ ප්‍රසූත වේදනාවන් ඇතිවන අවස්ථා අනුමාන කල නොහැකි අතර, කිසිඳු රටාවකින් තොරව හටගනී. එවැනි වේදනාවන් ක්‍රමයෙන් තීව්‍රතාවයෙන් වැඩිවීම සිදුනොවේ. සාමාන්‍යයෙන්, ව්‍යාජ ප්‍රසූත වේදනාවන් පැයක කාලයක් තුළ හෝ දියර පානය කිරීමෙන් පසුව පහව යෑම සිදුවේ. ඇතැම් විට, ව්‍යාජ ප්‍රසූත වේදනාවන් ගර්භණී අවධිය ආරම්භ වී සති 6 ක් පමණ ගතවන විට ආරම්භ වීම සිදුවිය හැක. නමුත්, සාමාන්‍යයෙන් එවැනි වේදනාවන් දෙවන හෝ තෙවන ත්‍රයිමාසිකය එළඹෙන තෙක් හටගන්නේ නැත.

නමුත්, සත්‍ය ප්‍රසූත වේදනාවන් යම් රටාවකට ඇතිවන අතර, වේදනාවන් දෙකක් අතර කාලය විනාඩි 10 ක් හෝ එයට අඩුවේ. ක්‍රමයෙන් වේදනාවන් අතර කාල පරතරය අඩුවන අතර, වේදනාවේ තීව්‍රතාවයද ක්‍රමයෙන් වැඩිවේ. සත්‍ය ප්‍රසූත වේදනාව, උදරයේ සහ පිට කොන්ද ආශ්‍රිතව ඇතිවේ. මෙවැනි වේදනාවක් ඇතිවේ නම්, දරුවා බිහිවීමට ආසන්න වියහැක. එමනිසා, ඉක්මනින් රෝහල්ගත වීම වැදගත් වේ. සාමාන්‍යයෙන්, ප්‍රසූත වේදනාව සෑම විනාඩි 2-3 කට වරක් ඇති වන විට, මව දරු ප්‍රසූතිය සඳහා සූතිකාගාරයට ඇතුළු කිරීමට සිදුවේ.

ගර්භ තරලය වහනය වීම

මෙය water bag එක කැඩීම ලෙසද හඳුන්වනු ලැබේ. ගර්භාෂය තුළ දරුවා සිටින්නේ ගර්භ තරලය අඩංගු මල්ලක් වැනි කලලාවාරික පටල තුළය. මෙම කලලාවාරික පටල water bag ලෙසද හැඳින්වෙන අතර, ගර්භ තරලය පිටතට ගලායාම වැළකෙන්නේ කලලාවාරික පටල නිසාය. කලලාවාරික පටල බීඳී ගියහොත්, ගර්භ තරලය යෝනි මාර්ගය ඔස්සේ පිටතට වහනය සිදුවේ. එවිට, අවර්ණ දියරයක් වහනය වන අයුරු දැකිය හැක. මෙසේ සිදුවීම දැඩි අවදානම් සහගත දෙයකි. මක්නිසාද, එවැනි අවස්ථාවකදී ගර්භ තරලය සමග පෙකණි වැල පිටතට පැමිණීම සිදුවිය හැක. ගර්භ තරලය ක්‍රමයෙන් අඩුවීම, දරුවාට හානිකර වියහැකි අතර, water bag එක පිපිරීම නිසා යෝනි මාර්ගය ඔස්සේ දරුගැබ තුළට විෂබීජ ඇතුළුවීම සිදුවිය හැක. ගර්භ තරලය පිටතට පැමිණීම සිදුවුවහොත්, වහාම රෝහල්ගත විය යුතුය. ඇතැම් මව්වරුන්ගේ විශාල වූ ගර්භාෂය මුත්‍රාශය මත පීඩනයක් ඇතිකිරීම නිසා, මුත්‍රා කාන්දුවීමක් සිදුවිය හැක. එවැනි අවස්ථා වලදී එය ගර්භ තරලය පිටවීමක් ලෙස වරදවා වටහාගත හැක. එසේ වෙන්කර හඳුනාගැනීම කල නොහැකි අවස්ථා වලදී, මුත්‍රා සම්පූර්ණයෙන් පහකර දිගටම දියර ගලායන්නේ දැයි පරීක්ෂා කලහැක. මුත්‍රා සම්පූර්ණයෙන් පහකර තිබියදීත්, දියර පිටවේ නම්, සිදුව ඇත්තේ water bag එක කැඩී යාමයි.

තෙවන ත්‍රයිමාසිකය තුළදී දිගටම පවතින දැඩි හිසරදය, උදරයේ වේදනාව, පෙනීමේ වෙනස්කම් ඇතිවීම, සහ ශරීරය ඉදිමීම

මෙම රෝග ලක්ෂණ ඇතිවේ නම්, එය ගර්භ විෂ රෝගය (Preeclampsia) නැමැති දරුණු තත්ත්වය වීමට ඉඩ ඇත. මෙම තත්ත්වය සමග අධික රුධිර පීඩනය ඇතිවන අතර, මුත්‍රා සමග වැඩිපුර ප්‍රෝටීන් පිටවීම සිදුවේ. සාමාන්‍යයෙන්, ගර්භ විෂ තත්ත්වය ඇතිවන්නේ, ගර්භණී වීමෙන් සති 20 කට පමණ පසුවය.

යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිටවීම

දරු ප්‍රසූතිය සිදුවීමට ආසන්න වනවිට මවගේ ගැබ්ගෙල ක්‍රමයෙන් විවෘත වේ. මෙහිදී, ගැබ්ගෙල වැසී පවතින ශ්ලේෂ්මල සමග රුධිරය පිටවීමක් සිදුවේ. ගර්භණී මවකගේ යෝනි මාර්ගයෙන් ශ්ලේෂ්මල සමග රුධිරය මුසුව වහනය වේ නම්, එය දරු ප්‍රසූතිය ආසන්න බව හඟවන ලක්ෂණයකි. එවන් විටෙක, වහාම රෝහල්ගත වීම ඉතා වැදගත් වේ.

(ඡායාරූප අනුග්‍රහය: Vanessa Porter)

සබැඳි ලිපි:

ගර්භණී සමයේදී ඇතිවන ඔක්කාරය සමනය කරගන්නේ කෙසේද?
ඔබටත් ගර්භණී සමයේදී දියවැඩියාව වැළඳුනාද?
ඔබේ කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුයිද?
සිසේරියන් සැත්කම සිදුකරන්නේ ඇයි?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "ගර්භණී මවක් වහාම රෝහල්ගත විය යුතු අවදානම් සහගත අවස්ථා 7 ක්" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*