සතුටින් ජීවත්වෙන්න වැදගත් වෙන ඉඟි කිහිපයක් ඉගෙන ගනිමු.

සතුටින් ජීවත්වෙන්න වැදගත් වෙන ඉඟි කිහිපයක් ඉගෙන ගනිමු

අපි හැමෝම සතුටින් ජීවත්වෙන්න කැමතියි. නමුත්, අපේ ජීවිතයේ විවිධ අවධි වල වරින් වර මතුවන ගැටළු, දුක් කම්කටොළු, රෝග වැනි දේවල් නිසා සතුට අප හැරයන අවස්ථාද උද්ගත වේ. එවැනි අත්දැකීම් ඇතිවීම වැළැක්විය නොහැකි මුත්, ඇතැම් උපාය මාර්ග අනුගමනය කිරීමෙන් අප ජීවිතයේ සතුටින් සිටින කාලය වැඩිකරගන්න පුළුවනි. එසේ සතුටින් ජීවත්වෙන්න වැදගත් වෙන ඉඟි කිහිපයක් පැහැදිලි කිරීමට මෙම ලිපියෙන් බලාපොරොත්තු වෙනවා.

ඇවිදින විට උනන්දුවෙන් ඇවිදින්න.

පර්යේෂකයන්ට අනුව, ඇවිදින විට හොඳින් සෘජුව කය තබාගනිමින්. දෑත් හොඳින් පද්දමින් ගමන්කරනවා නම්, ධනාත්මක සිතුවිලි හටගැනීම වැඩිවේ. ඔබ සතුටින් නොසිටින විට පවා එසේ කිරීමෙන්, ඔබ යලි යථා තත්ත්වයට පත්වන තෙක්, අවම වශයෙන් අන් අයට ඔබ හොඳින් බව හඟවන්නට එය සමත් ය.

සිනාසෙන්න.

ඔබට අවශ්‍ය වන්නේ ඔබේ ධෛර්යය සහ උනන්දුව ඔසවා තැබීමටද? එසේ නම්, ඔබ දෙතොලේ දෙකෙලවර ඉහළට එසවීම අත්‍යාවශ්‍ය වියහැක. ඔබ සතුටින් සිටීම සඳහා සිනාසෙන්න උත්සාහ කරන විට, ඔබේ මොළය තුළ සිදුවන රසායනික ක්‍රියාකාරීත්වය මදක් වෙනස් වී, සතුටුදායක හැඟීමක් ඇතිකරයි.

ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න.

හැකිවිට, ඔබ වෙසෙන සමාජය තුළ සිදුවන යහපත් ක්‍රියාදාමයන්ට සහභාගී වෙන්න. නැතහොත්, උපකාර අවශ්‍ය වන යහළුවෙකුට උදවු කිරීමට ඉදිරිපත් වෙන්න. මෙහිදී, ඔබටම උපකාරයක් කරන්නත් පුළුවනි. කෙසේ වුවත්, එවැනි කාර්යයන් මගින් ඔබේ මානසික සෞඛ්‍යය සහ ජීවිතයේ ගුණාත්මකභාවය ඉහළ දමයි.

අළුත් යහළුවන් ඇතිකරගන්න.

ඔබ කෙරෙහි සැලකිල්ලක් සහ ඇල්මක් දක්වන යහළුවන් සමග කාලය ගතකිරීම, ඔබට සතුටුදායක හැඟීමක් ඇතිකරනු ඇත. එමනිසා, අළුත් යහළුවන් ඇතිකරගැනීමට පැකිලෙන්න එපා. එවැනි මිතුරන් ඔබට කාර්යාලයේදී, නගරයේදී, පන්සලේදී, පල්ලියේදී, හෝ වෙනත් ඕනෑම තැනකදී හමුවිය හැක. නමුත්, ඔබ අතර පවතින මිතුරුදම දිගුකාලයක් පැවතීම ඉතා වැදගත් බව අමතක කරන්න එපා. මිතුරු සබඳතා වැඩිවන තරමට, සතුට ද වැඩිවන බව ඇතැම් පර්යේෂණ මගින් පෙන්වා දී ඇත.

යහපත් දේවල් ගැන සැලකිල්ලෙන් බලන්න.

ඔබේ ජීවිතයේ ඇති යහපත් දේවල් සහ ගුණාංග සටහන් කරගැනීමට පුරුදුවන්න. ඔබේ ජීවිතයේ යහපත් දේවල් පිළිබඳව සැලකිල්ලෙන් බැලීම, ඔබේ මනස ධනාත්මක පැත්තට නිතැතින්ම නැඹුරු කරයි.

වෙහෙසෙන්න.

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා දිනකට අවම වශයෙන් විනාඩි 30 ක් වත් ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීමට අවශ්‍ය වුවත්, ඔබේ මානසික සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට විනාඩි 5 ක කාලයක් ව්‍යායාම කිරීම වුවද සෑහේ. එමෙන්ම, ව්‍යායාම කිරීමෙන් ඔබේ මනසට දිගුකාලීන වාසි ද ලැබේ. එනම්, නිතිපතා ව්‍යායාම කිරීමෙන් විශාදය (Depression) වැළඳීමට ඇති අවදානම අවම කිරීමට හැකියාව ලැබේ.

සමාව දෙන්න සහ අමතක කරන්න පුරුදුවෙන්න.

අමනාපකම් වල එල්ලී ජීවත්වෙන්න එපා. ඒවාට ඔබේ ජීවිතයෙන් යන්න දෙන්න. ඔබ සමාව දීමට පුරුදුවෙනවා නම්, අයහපත් සිතුවිලි වලින් නිදහස් වීමට මගපෑදෙන අතර, ඔබේ මනස සන්සුන් වේ. එවිට, සතුට නිතැතින්ම ඔබව සොයා එනු ඇත.

සිහි කල්පනාව වැඩිදියුණු කරගන්න.

ඔබ එදිනෙදා කරන කාර්යයන් පිළිබඳව සිහිය පවත්වාගැනීමට පුරුදුවන්න. අවම වශයෙන්, සතියකට පැයක් වත් භාවනා කරන්න. එය ඔබේ දිවියට සතුට ගෙනෙනු ඇත. එපමණක් නොව, භාවනා කිරීමෙන් ඔබේ මොළය ඔබ සතුටින් තබාගැනීමට නව මංපෙත් සොයාගනු ඇත.

සංගීතය ශ්‍රවණය කරන්න.

ඔබගේ සිතුවිලි සහ හැඟීම් වල සැබෑ වෙනසක් ඇතිකිරීමට සංගීතයට හැකියාව පවතී. ඔබ කැමතිම ගීත හෝ සංගීත ඛණ්ඩ කිහිපයකට සන්සුන්ව සවන්දෙන්න. ඔබේ මනසට නැවුම් බවක් දැනෙනු ඇත.

නිදාගන්න.

හොඳ මානසිකත්වයකින් එදිනෙදා වැඩකටයුතු කිරීම සඳහා වැඩිහිටියෙක් දිනකට පැය 7-8 ක් පමණ නිදාගැනීම කලයුතුය. ප්‍රමාණවත් සහ ගුණාත්මක නින්දක් ලැබීම ඔබව සතුටින් තැබීමට සමත් වේ.

“ඇයි” කියා සිතන්න.

ඔබ වැඩකල යුත්තේ, ව්‍යායාම කල යුත්තේ, හෝ තවකෙකු උදෙසා උදවු කලයුත්තේ “ඇයි” යන්න පිළිබඳ අදහසක් හෝ හැඟීමක් සිතෙහි ඇතිකරගන්නේ නම්, එය ඔබේ දිවියට අරුතක් ගෙනෙනු ඇත. ඇතැම් විටෙක, ඔබ බොහෝ කාර්යබහුල නම්, එසේ සිතීමට අමතක වියහැක. දිනපතා එය මෙනෙහි කිරීමට කුඩා මොහොතක් වෙන්කරන්න. සැබෑ සතුට යනු ක්ෂණිකව ඇතිවී නැතිවී යන සතුටුදායක නිමේෂයක් නොවේ. ඇතැම් විටෙක, ඔබේ ජීවිතයේ ඉලක්කයන් සපුරාගැනීම තුළද එය සැඟවී පැවතිය හැක.

ස්වයං විවේචනයන්ට අභියෝග කරන්න.

ස්වාභාවයෙන්ම, ඔබේ මනස ඔබේ දිවියේ ඇති අයහපත් දේවල් හෝ වැරදි උලුප්පා පෙන්වීමට කැමැත්තක් දක්වයි. එය ඔබේ මනස පාලනය කිරීමට කටයුතු කරන්නේ නම්, එසේ වන බව හඳුනාගැනීමට උත්සාහ කරන්න. ඇතැම් විටක, එය ඔබේ යහපතට හේතුවිය හැක. මක්නිසාද, එමගින් ඔබේ අවධානය යොමුවිය යුතු කරුණක් ඇතිබව පෙන්වා දිය හැක. නමුත්, අනෙක් සෑම අවස්ථාවකදීම එය ඔබ සිතනවාට වඩා අයහපත් වියහැක. ඔබේ මනස ඔබේ වැරැද්දක් හෝ අයහපත් දෙයක් උලුප්පා දක්වන සෑම විටෙකම “එය ඇත්තක්ද?” යැයි ඔබෙන්ම විමසා බලන්න.

ඔබේ ඉලක්කයන් සමග ගැටෙන්න.

ඔබේ ඉලක්කයන් සැබැවින්ම තාත්වික සහ සපුරාගත හැකි ඒවාදැයි ඔබෙන්ම විමසා බලන්න. නැතහොත්, අවම වශයෙන් ඉලක්කය සපුරාගැනීම සඳහා කටයුතු ආරම්භ කිරීමට හැකිදැයි සිතා බලන්න. ඔබේ ඉලක්කයන් මනාව පැහැදිලි කරගන්න. උදාහරණයක් වශයෙන්, ඔබේ ඉලක්කය “වැඩියෙන් ව්‍යායාම කිරීම” ලෙස නොව, “මෙම සතිය තුළ දිනකට විනාඩි 30 ක් බැගින් දින 3 ක් ඇවිදීම” ලෙස තබාගන්න. සැමවිටම, ඔබේ ඉලක්කයන් සටහන් කර තබාගන්න. ඔබේ ඉලක්කය කරා ලඟාවන සෑම පියවරක්ම එහි සටහන් කරන්න. එය, ඔබ ඔබටම පිරිනමන තිලිණයක් වනු ඇත.

ධනාත්මකව සිතන අය සොයාගන්න.

ඇතැම් විට, සිතුවිලි බෝවෙන සුළුය. ඔබේ ජීවිතයේ සිටින අයට හොඳ ආත්ම විශ්වාසයක්, අරමුණක්, සහ සෞඛ්‍ය තත්ත්වයක් පවතී නම්, එසේ වීමට හේතු වූ ධනාත්මක සිතුවිලි ඔබ තුළද පහලවනු ඇත. එවිට, එවැනි යහපත් ගුණාංග ඔබ තුළද හටගැනීමට එය හේතුවනු ඇත.

ප්‍රවීණයෙකුගෙන් විමසන්න.

ඉහත සඳහන් ඉඟි අනුගමනය කිරීමෙන් පසුව වුවද, ඔබ පෙර සිටියාට වඩා අසතුටින් සිටින්නේ නම්, ප්‍රවීණයෙකුගෙන් උපදෙස් ලබාගැනීමට කාලය එළඹ ඇත. ඔබේ සිතුවිලි පිළිබඳව සාකච්ඡා කිරීමට මනෝ විද්‍යා උපදේශකයෙකු හෝ මනෝ වෛද්‍ය විශේෂඥයෙකු හමුවන්න. ඔබේ අසතුටට හේතුව විශාදය නම්, ඒ සඳහා ප්‍රතිකර්ම ඇත. සැබැවින්ම ඔබට විශාදය වැනි තත්ත්වයක් නොමැති වුවද, එමගින් ඔබ සහ ඔබට ඇති අභියෝග පිළිබඳව වැදගත් සහ ඔබට උපකාර වන කරුණු ඉගෙනගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඔබ සිතනවාට වඩා යහපත් හැඟීමක් ඔබ තුළ ගොඩනගා ගැනීමට එය හේතුවනු ඇත.

(ඡායාරූප අනුග්‍රහය: Pratap Sankar)

සබැඳි ලිපි:

මානසික සුවතාවය වැඩිදියුණු කරගන්නේ කෙසේද?
මානසික ආතතිය පාලනය කරගන්නේ කොහොමද?
ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ක්‍රම 10 ක්
ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකාරකම්

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සතුටින් ජීවත්වෙන්න වැදගත් වෙන ඉඟි කිහිපයක් ඉගෙන ගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*