සීනි භාවිතය අඩුකර ආයු වැඩි කරගනිමු.

සීනි භාවිතය අඩුකර ආයු වැඩි කරගනිමු

සීනි අපගේ ජීවිතයට නැතිවම බැරි දෙයක් වී හමාරය. එය එතරම් අපගේ ජීවිතයට සමීප වී ඇත. අප ගන්නා ආහාර ඔස්සේ වර්ග දෙකක සීනි ශරීරයට ලැබේ. එනම්, ස්වාභාවිකව ආහාර වල අඩංගු වන සීනි සහ එකතු කරන ලද සීනි ය. සීනි මගින් ශරීරයට ශක්තිය ලැබෙන අතර, මිනිස් සිරුරේ ප්‍රධානතම ශක්ති ප්‍රභවය ග්ලූකෝස් නැමැති සීනි වර්ගයයි. සීනි වල ඇති විශේෂිතම ගුණාංගයක් වන්නේ, ආහාර ජීර්ණ පද්ධතිය මගින් වේගයෙන් අවශෝෂණය කරගැනීමයි. සැබැවින්ම, සීනි භාවිතය අඩුකර ඔබේ ආයුෂ වැඩිකරගන්නේ කොහොමද?

අප ගන්නා ඇතැම් ආහාර වල ස්වාභාවිකව සීනි අඩංගු වන බැවින්, සීනි අමතරව එකතුකිරීමේ අවශ්‍යතාවයක් නැත. අපි එසේ කිරීමට හුරුව ඇත්තේ, කුඩා කල සිටම සීනි භාවිතයට හුරුවී එයට ඇබ්බැහිවීම නිසාවෙනි. කෙසේ වුවත්, වැඩිහිටියෙක් දිනකට භාවිතා කරන සීනි ප්‍රමාණය කැපූ තේ හැඳි 6 ක උපරිමයකට සීමාකල යුතුවේ. මක්නිසාද, තරබාරු නොවූවත් අප වැනි ආසියාතිකයන්ට දියවැඩියාව වැළඳීමේ අවදානම අනෙක් ජාතිකයන්ට සාපේක්ෂව වැඩි බැවින්, ආහාර වලට එකතුකරන සීනි ප්‍රමාණය පිළිබඳව මෙන්ම, ආහාර වල අඩංගුවන සීනි ප්‍රමාණයන් පිළිබඳව ද සැලකිලිමත්වීම ඉතාම වැදගත් වේ.

අප ගන්නා ආහාර වර්ග කිහිපයක අඩංගු වන සීනි ප්‍රමාණයන් කැපූ තේ හැඳි වලින් කොපමණ වේදැයි පහතින් දක්වා ඇත. එමගින්, ආහාර ඔස්සේ සීනි කොපමණ ප්‍රමාණයක් අපේ ශරීරයට ඇතුළු වෙනවාදැයි ඔබට සරළව වටහාගැනීමට හැකිවනු ඇත.

  • කෝලා බීම වීදුරු 1 ක් (මිලිලීටර් 200) – සීනි තේ හැඳි 5
  • චොකලට් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 14
  • වැනිලා අයිස්ක්‍රීම් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 4.5
  • චොකලට් මූස් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 3.75
  • වැනිලා පුඩින් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 4.25
  • ඩෝනට් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 6.5
  • පළතුරු කේක් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 6.75
  • යෝගට් ග්‍රෑම් 100 ක් – සීනි තේ හැඳි 1.25

එමනිසා, ආහාර ගැනීමේදී මෙන්ම, මිළදී ගැනීමේදී ද ඒවායේ අඩංගු වන සීනි ප්‍රමාණයන් පිළිබඳව සැලකිලිමත් වන්න. ඇසුරුම් කරන ලද ආහාර වර්ග මිළදී ගැනීමේදී එහි ලේබලයේ දක්වා ඇති පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයන් පිළිබඳව කියවා බැලීමට පුරුදුවන්න.

මෙසේ සීනි භාවිතය අඩුකිරීම කලයුත්තේ ඇයි? මක්නිසාද, සීනි වැඩිපුර භාවිතා කිරීම මගින් අපේ සිරුරට හානි සිදුවේ. රුධිරයේ අඩංගු වන සීනි ප්‍රමාණය වැඩිවීමෙන්, රුධිර වාහිනී වලට හානි සිදුවන අතර, එමගින් ස්නායු වල, ඇස් වල, සහ වකුගඩු වල දුර්වලතා ඇතිවේ. එමෙන්ම, අප වැඩිපුර ගන්නා සීනි, ශරීරය මගින් මේදය හෙවත් තෙල් බවට හරවා සිරුරේ විවිධ ස්ථාන වල තැන්පත්කර, තරබාරුවීම ඇතිකරයි. එමගින්, දියවැඩියාව, හෘදයාබාධය, අංශභාගය වැනි දරුණු රෝග වැළඳීමේ අවදානම ද වැඩිවේ. දියවැඩියාව රෝගය වැළඳුනහොත්, එහි සංකූලතාවයන් ලෙස හෘදයාබාධය, අංශභාගය, අන්ධභාවය, වකුගඩු අක්‍රීයවීම, සහ සුව නොවන තුවාළ වැනි රෝග ඇතිවිය හැක. එමෙන්ම, දත් දිරායාම සහ විදුරුමස් රෝග හටගැනීම සඳහා හේතුවන ප්‍රධාන සාධකයක් ලෙස සීනි දැක්විය හැක.

එසේ නම්, සීනි භාවිතය අඩුකිරීමට අපට කලහැකි උපක්‍රම මොනවාද? කුඩා කල සිටම ඔබේ දරුවා සීනි අධික ආහාර වලට හුරුකිරීමෙන් වළකින්න. එමෙන්ම, ඔබේ දරුවාගේ ආහාර වේලට අමතරව සීනි එක්කිරීමෙන් හැකිතරම් වළකින්න. එමගින්, ඔබේ දරුවා සීනි වලට හුරුවීම වළක්වාගත හැකිවේ. හැකි සෑමවිටම පැණිබීම, පළතුරු බීම, සිසිල්බීම වැනි දේවල් වෙනුවට ජලය පානය කිරීමට හුරුවන්න. අතුරුපසට රසකැවිළි වෙනුවට ස්වාභාවික, නැවුම් පළතුරු භාවිතා කරන්න. පළතුරු සලාද සකස් කරගන්නා විට, අමතරව සීනි එකතුකිරීමෙන් වළකින්න. රසකැවිළි ආහාරයට ගන්නේ නම්, ඒවා කුඩා ප්‍රමාණයන්ට සීමාකරන්න. තේ හෝ කෝපි වැනි පානයන් සකස් කරගන්නා විට සීනි නොමැතිව හෝ සීනි තේ හැන්දක් පමණක් යොදා පානය කිරීමට හුරුවන්න.

(මූලාශ්‍රය: සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය)

(ඡායාරූප අනුග්‍රහය: Bernhard Hanakam)

සබැඳි ලිපි:

සීනි, රසකැවිලි, සහ රසකල පානයන් අඩුවෙන් ගතයුත්තේ ඇයි?
පැණිරස කෑමට ඇති ආශාවෙන් මිදෙන්නේ කොහොමද?
ඔබේ දරුවා නිතර පැණිරස කනවාද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සීනි භාවිතය අඩුකර ආයු වැඩි කරගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*