දුම්පානය කිරීම මගින් හානි සිදුවිය හැකි අවයව 9 ක්

දුම්පානය කිරීම මගින් හානි සිදුවිය හැකි අවයව 9 ක්

දුම්පානය කිරීම ඔබේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑම් කලහැකි බව ඔබ දැනටමත් දන්නවා වියහැක. නමුත්, සැබැවින්ම එය සිදුවන්නේ කෙලෙසද යන්න පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙම ලිපිය වැදගත් වේ. එමෙන්ම, අක්‍රීය දුම්පානය සහ සක්‍රීය දුම්පානය යන ආකාර දෙකෙන්ම එකලෙස ඔබගේ සෞඛ්‍යයට හානි සිදුවන බව ඔබ දැනගත යුතුය. එමනිසා, ඔබ දුම්පානය කිරීම නොකලත් අක්‍රීය දුම්පානයට නතුවන අයෙක් නම්, ඔබේ දිවිය අනතුරට ලක්වීම වැලැක්වීමට අපහසු වේ.

සන්ධි

ඔබගේ සන්ධි ඉදිමීමකට ලක්වී වේදනා ගෙනදෙනවාද? දුම්පානය කරන්නන්ට රූමැටොයිඩ් පර්වදාහය (Rheumatoid arthritis ) නැමැති සන්ධි ප්‍රදාහය වැළඳීමට වැඩි අවදානමක් ඇතිබව පර්යේෂණ මගින් හෙළිවී ඇත. එමෙන්ම, රූමැටොයිඩ් පර්වදාහය ඇති අයෙක් දුම්පානය කරන්නේ නම්, එම රෝගය මර්ධනය කිරීම සඳහා ලබාගන්නා ඖෂධ නිසි අයුරින් ක්‍රියානොකරන බවද සොයාගෙන ඇත. කෙසේ වුවත්, එසේ වන්නේ ඇයිද යන්න තවමත් පැහැදිළි නොවූ කාරණයකි.

සම

වයස්ගත වීමත් සමග ක්‍රමයෙන් සමේ රැළි ඇතිවීම දක්නට ලැබෙන දෙයකි. දුම්පානය කිරීම, සමේ රැළි ඇතිවීම ඇතුළු සමේ වයස්ගතවීමේ ක්‍රියාවලිය ඉක්මන් කරයි. ඇතැම්විට, දුම්පානය කරන අවුරුදු 40 ක පුද්ගලයෙකුගේ සම, දුම්පානය නොකරන අවුරුදු 70 ක පුද්ගලයෙකුගේ සමෙහි පෙනුමට සමාන වන අවස්ථා දක්නට ලැබේ. විශේෂත්වය වන්නේ, දුම්පානය කිරීම මගින් ඔබේ සමට හානි සිදුවුවහොත්, එය නැවත යථා තත්ත්වයට පත්නොවීමයි. එමෙන්ම, එය සමේ පිළිකා ඇතුළු සමේ රෝග ගණනාවකටම හේතුවන අතර, දැනට පවතින සමේ රෝග දුම්පානය මගින් උත්සන්න වනු දැකිය හැක.

ඇස්

ඔබගේ දෘෂ්ටි පථය තුළ එනම්, ඔබට පෙනෙන පරාසයේ මැද ඇති පෙනුමට හානිකරන රෝගයක් ලෙස macular degeneration නැමැති තත්ත්වය හැඳින්විය හැක. ඔබ දුම්පානය කරන්නෙක් නම්, මෙම රෝගය වැළඳීමට ඇති අවදානම දෙගුණයකින් ඉහළ යයි. මෙම රෝගය වැළඳුන විට කියවීම, ලිවීම, සහ ඔබ ඉදිරියේ සිටින අයෙකුගේ මුහුණ දැකගැනීමට අපහසු වේ. එමෙන්ම, දුම්පානය කිරීම, ඇසේ සුද මතුවීමට ඇති අවදානම තුන් ගුණයකින් ඉහළ දමයි.

ලිංගික අවයව

දුම්පානය කරන පුරුෂයන්ගේ ලිංගික අවයව නිසි පරිදි ප්‍රාණවත් නොවීමට වැඩි අවදානමක් ඇත. ඔබ වැඩි වැඩියෙන් දුම්පානය කරන පුරුෂයෙක් නම්, ලිංගික අවයව ප්‍රාණවත් නොවීමට ඇති අවදානමද එයට සමානුපාතිකව ක්‍රමයෙන් ඉහළ යයි. එමෙන්ම, දුම්පානය කිරීම මගින් පුරුෂයන්ට වෘෂණ පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවන අතර, කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා ඇතිවීමට වැඩි අවදානමක් ඇතිවේ.

විදුරුමස

විදුරුමස් රෝගය, දත් දිරායාමට සහ දත් වැටීමට ප්‍රමුඛතම හේතුව ලෙස දැක්විය හැක. මෙම විදුරුමස් රෝගයේදී, විදුරුමස වේදනාකාරී වීම, ලේ ගැලීම, ආහාර සැපීමේදී වේදනා ඇතිවීම, සහ මුඛයෙන් දුගඳක් හැමීම ඇතිවේ. ඔබ දුම්පානය කරන්නේ නම්, විදුරුමස් රෝගය වැළඳීමට ඇති අවදානම දෙගුණයකින් ඉහළ යයි. එමෙන්ම, ඔබ දුම්පානය කරන ප්‍රමාණයට සමානුපාතිකව විදුරුමස් රෝගය වැළඳීමට ඇති අවදානම ක්‍රමයෙන් වැඩිවනු දැකිය හැක.

මොළය

දුම්පානය කරන්නෙකුට, එසේ නොකරන්නෙකුට වඩා අංශභාගය හෙවත් ආඝාතය (Stroke) වැළඳීමට තුන් ගුණයකටත් වඩා වැඩි අවදානමක් ඇතිබව ඔබ දන්නවාද? මොළය ආශ්‍රිතව ඇති රුධිර වාහිනියක ලේ කැටියක් සිරවී අවහිරවීමෙන් අංශභාගය ඇතිවන අතර, එය මුහුණේ පැත්තක් පණ නැතිවීම, ශරීරයේ පැත්තක් පණ නැතිවීම, පෙනීම අඩුවීම හෝ නැතිවීම, කථාකිරීමට අපහසුවීම, ඇවිදීමට අපහසුවීම මෙන්ම, ඇතැම්විට මරණයද ඇතිකරයි. එමෙන්ම, දුම්පානයට ඔබේ රුධිර පීඩනය ඉහළ දැමීමට හැකියාව ඇති අතර, එමගින් මොළයේ රුධිර වාහිනී වල උපුලුව (Cerebral aneurysm) නැමැති තත්ත්වය ඇතිවිය හැක. මෙහිදී, රුධිර වාහිනී බිත්තිය දුර්වල වී, රුධිර පීඩනය නිසා බැලුමක් ආකාරයට පිම්බීම සිදුවේ. උපුලුව හරහා මොළය තුළට රුධිරය කාන්දුවීම හෝ එය පිපිරීම නිසා මොළය තුළ රුධිර වහනයක් සිදුවීම මගින්ද, අංශභාගය වැළදීම සිදුවිය හැක.

ආහාර ජීර්ණ පද්ධතිය

ඔබ දුම්පානය කරන්නේ නම්, ආමාශයේ තුවාළ, අග්න්‍යාශයේ ප්‍රදාහය (Pancreatitis), මහා අන්ත්‍රයේ ගෙඩි හටගැනීම (Colon polyps), අග්න්‍යාශයේ පිළිකා, සහ ක්‍රොන්ගේ රෝගය (Crohn’s disease) නැමැති මහා අන්ත්‍රයේ තුවාළ හා සිදුරු ඇතිකරන ප්‍රදාහමය රෝගය වැළඳීමට ඇති අවදානම වැඩිය. එමෙන්ම, ඔබගේ අක්මාවට සහ අග්න්‍යාශයට බළපෑම් ඇතිකරන දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus) හටගැනීමට ඇති අවදානමද 35% කින් වැඩිකිරීමට දුම්පානය සමත්ය.

පෙනහලු

පෙනහලු පිළිකා වලින් 90% ක් පමණ ඇතිවන්නේ දුම්පානය කිරීම නිසාවෙනි. ශ්‍රී ලංකාවේ පිරිමි අයට ඇතිවන පිළිකා වලින් දෙවන ස්ථානය ගන්නේ පෙනහලු පිළිකා බව ඔබ දන්නවාද? දුම්පානය කිරීම පිළිකා ඇතිකරන්නේ පෙනහලු වල පමණක් නොවේ. එය, මුඛයේ, වකුගඩු වල, අක්මාවේ, මුත්‍රාශයේ, අග්න්‍යාශයේ, ආමාශයේ, මහා බඩවැල් වල, සහ ගුදයේ පිළිකා ඇතිකිරීමට සමත්ය. එමෙන්ම, දුම්පානය කිරීම chronic obstructive pulmonary disease (COPD) නැමැති නිදන්ගත හතිය ඇතිකරන රෝගය ඇතිකරන ප්‍රධානම සාධකය වේ. මෙම රෝගයේදී, පෙනහලු වල කුඩා ශ්වාස නාල සහ ගර්ත වලට හානි සිදුවීම දක්නට ලැබේ.

හදවත

ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ වලට වැඩිම දායකත්වය (14.8%) දක්වන හෘද රෝග සඳහා හේතුවන ප්‍රධාන අවදානම් සාධකයක් ලෙස දුම්පානය දැක්විය හැක. දුම්පානය කිරීම මගින් හෘදයේ ඇති රුධිර වාහිනී ඝනවී, සිහින් වන අතර, රුධිරයේ ඝනකමද වැඩිකර කැටිගැසීමට ඇති හැකියාවද වැඩිකරයි. මෙම ක්‍රියාවලිය, දුම්පානය කරන්නන්ට හෘදයාබාධයක් ඇතිකිරීමට සමත්ය.

(ඡායාරූප අනුග්‍රහය: Bastian Greshake)

සබැඳි ලිපි:

දුම්පානය කලොත් ඔබේ ජීවිතයත් අනතුරේ…
දුම්පානය ඔබ නිසරු කරන බව දන්නවාද?
අක්‍රීය දුම්පානය සහ ඔබේ දරුවා

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දුම්පානය කිරීම මගින් හානි සිදුවිය හැකි අවයව 9 ක්" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*