මහදුරු වලින් ලැබෙන අප්‍රකට වාසි රැසක් ගැන දැනගනිමු.

මහදුරු වලින් ලැබෙන අප්‍රකට වාසි රැසක් ගැන දැනගනිමු

මහදුරු හෙවත් මාදුරු, ආහාර පිසීමේදී නැතිවම බැරි කුළුබඩු වර්ගයක් ලෙස හැඳින්විය හැක. එය ස්වාභාවික රසකාරකයක් ලෙස වසර දහස් ගණනක් තිස්සේ පැවත එන දෙයකි. මහදුරු යනු අසමෝදගම් පවුළේ (Umbelliferae family) ශාඛයක් වන Foeniculum vulgare වල ඇට වර්ගයක් වන අතර ඔබේ සෞඛ්‍යයට වැදගත් වන අප්‍රකට වාසි රැසක් රැගත් කුළුබඩු වර්ගයක් ලෙස හැඳින්විය හැක.

මහදුරු වල ෆ්ලේවනොයිඩ් (Flavonoid) ගණයට අයත් ප්‍රබල මුක්ත ඛණ්ඩක (Free radicals) නැමැති අධි ක්‍රියාකාරී අණු විශේෂයක් හටගන්නා අතර, එම අණු වලින් ශරීරයේ සෛල වලට හානි සිදුවේ. එමනිසා, ප්‍රතිඔක්සිකාරක ශරීරයේ සෛල ආරක්ෂා කරයි.’>ප්‍රතිඔක්සිකාරක (Anti-oxidants) කිහිපයක් අඩංගු වේ. ඒවා අතරින් කීම්ෆෙරොල් (Kaempferol) සහ ක්වසෙටින් (Quercetin) වැඩි වශයෙන් දැකිය හැක. මෙම ප්‍රතිඔක්සිකාරක මගින්, ශරීරය තුළ පවතින පටක සහ සෛල වලට හානි පමුණුවන මුක්තඛණ්ඩක (Free radicals) නැමැති රසායන ද්‍රව්‍යයන් උදාසීන කර ඉවත්කිරීම සිදුවේ. එබැවින්, මාදුරු වලට පිළිකා, ආසාදන, අකලට වයස්ගතවීම, සහ වයස්ගත වනවිට ඇතිවන ඇතැම් ස්නායු රෝග වැළැක්වීමේ ගුණයක් පවතී.

මාදුරු වල ආහාරමය තන්තු (Dietary fibre) බහුලව පවතී. සාමාන්‍යයෙන්, මාදුරු ග්‍රෑම් 100 ක තන්තු ග්‍රෑම් 39.8 ක් පවතී. මෙම තන්තු වලින් වැඩි ප්‍රමාණයක් ජලයේ දිය නොවන අතර, ඒවා ආහාර ජීර්ණ පද්ධතිය තුළදී ජලය උරාගෙන ප්‍රසාරණය වීම දැකිය හැක. එමගින්, ආහාර ජීර්ණ පද්ධතිය ඔස්සේ ගමන්ගන්නා ආහාරයේ පරිමාව වැඩිවන නිසා මළබද්ධය, අර්ශස් අමාරුව, සහ බඩවැල් වල පිළිකා වැළඳීමට ඇති අවදානම අඩුවේ.

මහදුරු වල අන්තර්ගත ආහාරමය තන්තු සමග පිත්තාශයෙන් ශ්‍රාවය වන පිත් ලවණ (Bile salts) බැඳීම සිදුවන බැවින්, බඩවැල් තුලදී පිත් ලවණ නැවත ශරීරයට උරාගැනීම අඩුවේ. පිත් ලවණ යනු කොලෙස්ටරෝල් වලින් සෑදෙන සංඝටකයක් වන බැවින්, මහදුරු වලට ශරීරයේ ඇති අඩු-ඝනත්ව ලිපෝප්‍රෝටීන් (Low-density lipoprotein) නැමැති හානිකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩුකල හැක. එමනිසා, හෘද රෝග ඇතිවීමේ අවදානම අඩුවේ.

මාදුරු වල සුවඳ ඇතිකරන මේදමය සංඝටක වන වාෂ්පශීලී රසායන ද්‍රව්‍ය රැසක් ඇත. ඒවා අතර ඇනිතෝල් (Anethole), ලිමොනීන් (Limonene), ඇනිසික් ඇල්ඩිහයිඩ් (Anisic aldehyde), පිනීන් (Pinene), මිර්සීන් (Myrcene), ෆෙන්කෝන් (Fenchone), චැවිකෝල් (Chavicol), සහ සිනෙඕල් (Cineole) බහුලව පවතී. මේවා ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත, ආහාර ජීර්ණය පහසු කරවන, සහ උදරයේ වාතය ඇතිවීම සමනය කරන රසායන ද්‍රව්‍යයන් ලෙස හැඳින්විය හැක.

එමෙන්ම, මාදුරු වල ශරීරයට අත්‍යාවශ්‍ය ඛණිජ ලවණ රැසක් පවතී. ඒවා අතර, තඹ, යකඩ, කැල්සියම්, පොටෑසියම්, මැන්ගනීස්, සෙලීනියම්, සින්ක්, සහ මැග්නීසියම් බහුලව ඇත. තඹ සහ යකඩ යනු රතු රුධිරාණු නිෂ්පාදනයට අත්‍යාවශ්‍ය ඛණිජ ලවණ දෙකකි. සින්ක් යනු ශරීරයේ වර්ධනය, ශුක්‍රාණු නිෂ්පාදනය, ආහාර ජීර්ණය, සහ ජාන වල පවතින න්‍යෂ්ඨික අම්ල නිෂ්පාදනය වැඩිදියුණු කරන ලෝහයක් වන අතර, පොටෑසියම් මගින් සෛල තුළ සහ ශරීරය තුළ පවතින දියර වල අයන සමතුලිතතාවය පවත්වා ගනී. එමනිසා, පොටෑසියම් හෘද ස්පන්දන වේගය සහ රුධිර පීඩනය පාලනය කිරීමට වැදගත් වේ. මැන්ගනීස් යනු ශරීරයේ පවතින වැදගත් ප්‍රතිඔක්සිකාරක එන්සයිමයක් වන සුපර්ඔක්සයිඩ් ඩිස්මියුටේස් (Superoxide dismutase) වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය වන සහසාධකයකි.

විටමින් වර්ග ගණනාවක්ම අඩංගු වන ගබඩාවක් ලෙසද මහදුරු හැඳින්වීමේ වරදක් නැත. එහි, විටමින් A, විටමින් E, සහ විටමින් C බහුලව අඩංගු වේ. එමෙන්ම, මාදුරු වල විටමින් B සංකීර්ණයට අයත් තයමින් (Thiamin), පිරිඩොක්සින් (Pyridoxine), රයිබොෆ්ලේවින් (Riboflavin ) සහ නියැසින් (Niacin) යන විටමින් වර්ගද යහමින් අඩංගු වේ.

කෙසේ වුවත්, මහදුරු අධික ප්‍රමාණ වලින් ආහාරයට ගැනීම එතරම් ගුණදායක නොවේ. එහි අඩංගු වන ඇතැම් රසායනික සංඝටක අධික ප්‍රමාණ වලින් ශරීරගත වුවහොත්, ස්නායු පද්ධතියට විෂ සහිත වන බැවින් ව්‍යාජ දර්ශන මැවී පෙනීම (Hallucinations) සහ අපස්මාරය වැනි තත්ත්ව ඇතිවීමට හේතුවේ. මහදුරු අධික ප්‍රමාණ වලින් ආහාරයට එකතුකර ගැනීම, ඊස්ට්‍රජන් (Oestrogen) ආශ්‍රිත පිළිකා වර්ග වන පියයුරු පිළිකා, ඩිම්බකෝෂ පිළිකා, සහ ඇතැම් ගර්භාෂය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවීමට හේතුවිය හැක. එමෙන්ම, මාදුරු අධිකව ආහාරයට ගැනීම ගර්භණී මව්වරුන්ට එතරම් ගුණදායක නොවේ. එයට හේතුව, මාදුරු වල ඊස්ට්‍රජන් නැමැති කාන්තා හෝමෝනයට සමාන ක්‍රියාකාරීත්වයක් ඇති රසායනික සංඝටක අන්තර්ගත වීමයි. නමුත්, මාදුරු සාමාන්‍ය ප්‍රමාණ වලින් ආහාරයට ගැනීම කිසිසේත්ම හානිකර නොවේ. මාදුරු වල පොටෑසියම් බහුලව අඩංගු වන බැවින්, වකුගඩු රෝගීන්ද මාදුරු අඩු ප්‍රමාණ වලින් ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ.

(ඡායාරූප අනුග්‍රහය: Liji Jinaraj)

සබැඳි ලිපි:

කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද?
සුදුලූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි
කහ වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක් ගැන දැනගනිමු.
කුරුඳු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි කිහිපයක්

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "මහදුරු වලින් ලැබෙන අප්‍රකට වාසි රැසක් ගැන දැනගනිමු." පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*