දරුවාගේ හිසට උකුණන් බෝවී ඇත්නම් කුමක් කල යුතුද?

දරුවාගේ හිසට උකුණන් බෝවී ඇත්නම් කුමක් කල යුතුද?

උකුණන් යනු ඉතා කුඩා, පියාපත් රහිත කෘමියෙක් වන අතර, මෙම කෘමියා හිසකෙස් මත ජීවත් වේ. උකුණන් පෝෂණය වන්නේ හිසේ සමෙන් ඉතා කුඩා රුධිරය ප්‍රමාණයක් උරා බීමෙනි. හිසේ උකුණන් වාසය කිරීම සැබැවින්ම කරදරකාරී දෙයක් වුවද, ඔවුන් හානිකර වන්නේ හෝ රෝග පතුරවන්නේ නැත. ඔබේ දරුවාගේ හිසට උකුණන් බෝවී ඇත්නම් කුමක් කල යුතුද?

උකුණන් බෝවී ඇති බවට සලකුණු හෝ රෝග ලක්ෂණ මොනවාද?

  • දරුණු හිසේ කැසිල්ලක් හටගැනීම
  • හිස්කෙස් වල ලේඬියන් දක්නට ලැබීම. ලේඬියන් යනු හිසකෙස් වලට ඇලී පවතින උකුණන්ගේ බිත්තර වන අතර, ඒවා අළු හෝ සුදු පැහැයට හුරු කහ පැහැයෙන් යුක්ත වේ.
  • රතු පැහැයට හුරු දුඹුරු වර්ණයෙන් යුක්ත උකුණන් හිසකෙස් මත දක්නට ලැබීම.
  • හිසේ සමෙහි රතු පැහැ කුඩා ඉදිමුම් දක්නට ලැබීම
  • දරුණු ලෙස උකුණන් බෝවී ඇත්නම්, ඇතැම් විට හිසේ සම මතුපිට පොතු ගැලවී යන සහ දියර ගලන කුෂ්ඨ ඇතිවිය හැක.
  • ගෙල ප්‍රදේශයේ වසා ගැටිති ඉදිමීම

උකුණු වදයෙන් ගැලවීමට කුමක් කල යුතුද?

ඔබේ වෛද්‍යවරයා, උකුණන් විනාශ කිරීම සඳහා යොදාගත හැකි ඖෂධ සහිත හිස සෝදන දියර හෝ ෂැම්පු නිර්දේශ කරනු ඇත. කෙසේ වුවත්, එවැනි දියර හෝ ෂැම්පු භාවිතා කිරීමේදී, එය භාවිතා කිරීමට නිර්දේශ කරන ප්‍රමාණයන් සහ වාර ගණන පිළිබඳව සැලකිලිමත් විය යුතුය. මක්නිසාද, ඒවා වැඩි ප්‍රමාණයක් හෝ නිර්දේශ කරන ප්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් භාවිතා කිරීම හානිකර වීමට ඉඩ ඇත.

ඇතැම් සරළ උපක්‍රම මගින් නිවසේ සිටින සියළු සාමාජිකයන්ට උකුණු වදෙන් ගැලවීමට හැකියාව ලැබේ.

  • නිවසේ සිටින සියළු දෙනාගේම හිස් පරීක්ෂා කර උකුණන් සිටී දැයි බලන්න. එමෙන්ම, උකුණන් සිටින බව හැඟවෙන වෙනත් ලක්ෂණ ඇත්දැයි පරීක්ෂා කරන්න. උකුණන් සිටී නම්, නිසි ප්‍රතිකාර ලබාගන්න.
  • ඇඳ ඇතිරිලි සහ කොට්ටා උර සියල්ල උණු ජලයෙන් හොඳින් සෝදා හිරු එළියේ වේලාගන්න. කොට්ට සියල්ලද හොඳින් හිරු එළියේ වේලාගන්න.
  • ජලයෙන් සෝදාගත නොහැකි ඇඳුම්, ඇඳ ඇතිරිලි, සහ පුළුන් පුරවන ලද සතුන් හෝ සෙල්ලම් බඩු සියල්ල ඩ්‍රයි ක්ලීන් කරගන්න.
  • ගෙබිම පවතින කාපට් සහ රෙදි සහිත ගෘහභාණ්ඩ හොඳින් පිසදමා වැකියුම් කරන්න.
  • හැකිනම්, දැනට පවතින කොණ්ඩය ආශ්‍රිතව භාවිතා කරන උපකරණ (උදා: පනා ආදිය ) ඉවත්කරන්න. නැතහොත්, ඒවා අත් සේදීමට භාවිතා කරන ඇල්කොහොල් අඩංගු දියරයක පැයක කාලයක් ගිල්වා තැබීමෙන් අනතුරුව, සබන් යොදා උණු ජලයෙන් සෝදාගන්න.
  • හීනි දැති සහිත උකුණු පනාවකින් හිසකෙස් හොඳින් පීරීම මගින්, උකුණන් සහ ලේඬීන් ඉවත්කිරීමට හැකියාව ඇත.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු අවස්ථා මොනවාද?

ඔබේ දරුවාට:

  • උකුණන් ඇති බවට රෝග ලක්ෂණ පැවතීම.
  • දිගින් දිගටම හිස කැසීම පැවතීම.
  • හිසේ සම රතුවන තුරු, ඉදිමෙන තුරු, හෝ සැරව හටගන්නා තුරු කැසීම.

උකුණන් බෝවීම වලක්වා ගන්නේ කොහොමද?

ඔබේ දරුවාගේ හිසට උකුණන් බෝවීම වළක්වා ගැනීම සඳහා පහත ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට දරුවාට උගන්වන්න.

  • අනෙක් දරුවන්ගේ හිස් සමග තමාගේ හිස නොගැටෙන සේ සිටීම.
  • තමන් භාවිතා කරන පනා, තොප්පි, කොණ්ඩා කටු ආදිය අන් අය සමග හුවමාරු නොකිරීම සහ අන් අය භාවිතා කරන එවැනි දේවල් පරිහරණයෙන් වැළකීම.
  • හිසේ උකුණන් සිටි අයෙකු විසින් මෑතකදී භාවිතා කල ඇඳන්, කොට්ටා, ඇඳ ඇතිරිලි, කාපට් වැනි දේවල් මත වැතිරීමෙන් වැළකීම.

(ඡායාරූප අනුග්‍රහය: Sherif Salama)

සබැඳි ලිපි:

ඉස්හොරි (Dandruff) වලින් ගැලවෙන්නේ කොහොමද?
සුවැති කෙස් කලඹක් සඳහා රහස් 20 ක්…

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවාගේ හිසට උකුණන් බෝවී ඇත්නම් කුමක් කල යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*