සිසේරියන් සැත්කමකින් දරු උපතක් සිදුකරන්නේ කොහොමද?

සිසේරියන් සැත්කමකින් දරු උපතක් සිදුකරන්නේ කොහොමද?

සිසේරියන් සැත්කමකින් දරු උපත සිදුකිරීමට බලපාන හේතු සාධක මත සිසේරියන් ශල්‍යකර්මය (Cesarean delivery or C-section) මදක් වෙනස්විය හැකි මුත්, එය සිදුකරන අනුපිළිවෙල බොහෝදුරට සමානය. එමනිසා, සිසේරියන් සැත්කමක් සිදුකරන ආකාරය සරළ ලෙස පැහැදිලි කිරීම සඳහා මෙම ලිපිය සකස්කර ඇත.

සැත්කම කිරීමට පෙර

පූර්ව සැලසුම් කල සිසේරියන් ශල්‍යකර්මයකට පෙර, ගර්භණී මවට සබන් යොදා හොඳින් ස්නානය කිරීමට උපදෙස් ලබාදේ. එමගින්, සැත්කම කිරීමෙන් පසුව ආසාදනය වීම් ඇතිවීම අවම කරගැනීමට හැකියාව ලැබේ. නමුත්, හදිසි සිසේරියන් ශල්‍යකර්මයකට මවක් සූදානම් කිරීමේදී එසේ කිරීමට කාලය නොලැබෙන්න පුලුවනි. එමෙන්ම, සැත්කම කිරීමට පෙර යටිබඩ සහ ලිංගාශ්‍රිත රෝම ඉවත්කිරීමටද උපදෙස් ලබාදෙන අතර, මුත්‍රාශය හිස්ව තබාගැනීම සඳහා මුත්‍රා බටයක් ඇතුළුකිරීම සිදුකරනු ලැබේ. තවද, ශල්‍යකර්මය අතරතුර සහ ඉන් පසුව දියර සහ ඖෂධ ලබාදීම සඳහා ගර්භණී මවගේ අතේ ඇති ශිරා නම් වූ රුධිර වාහිනියකට අන්තශ්ශෛරික කැනියුලාවක් (Intravenous cannula) සවිකිරීමද සිදුකරයි.

නිර්වින්දනය කිරීම

බොහොමයක් සිසේරියන් ශල්‍යකර්ම සිදුකරන්නේ ස්ථානීය නිර්වින්දන ක්‍රමයක් (Regional anesthesia) භාවිතා කරමිනි. මෙහිදී, කොඳු ඇට පෙළට නිර්වින්දනය කිරීමට යොදාගන්නා ඖෂධ නික්ෂේපණය කිරීම මගින් ගර්භණී මවගේ නාභියට පහළ ශරීරය හිරිවැට්ටවීම සිදුකරනු ලැබේ. එමනිසා, ශල්‍යකර්මය අතරතුර මවට අවදියෙන් සිටීමට හැකියාව ලැබෙන අතර, ශල්‍යකර්මය සිදුකිරීමේදී වේදනාවක් ඇති නොවේ. නමුත්, හදිසි අවස්ථාවකදී ස්ථානීය නිර්වින්දනය වෙනුවට සිහිනැතිකර ශල්‍යකර්මය සිදුකිරීම තෝරාගැනීම සිදුකල හැක. එහිදී, ගර්භණී මවට ශල්‍යකර්මය අතරතුර සිදුවන කිසිවක් දැනගැනීමට, ඇසීමට, හෝ දැකීමට අවස්ථාව නොලැබේ. ඕනෑම නිර්වින්දන ක්‍රමයකට පෙර එයට ලක්වන ගර්භණී මව, විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකට ලක්කෙරේ. එමගින්, අදාළ ගර්භණී මව නිර්වින්දනය කිරීමට සුදුසු කායික තත්ත්වයකින් සිටින බව තහවුරු කරගැනීම සිදුවේ.

සිසේරියන් ශල්‍යකර්මය අතරතුර

සිසේරියන් සැත්කම කිරීමට පෙර, නිර්වින්දනයට ලක්කිරීමෙන් පසුව ගර්භණී මවගේ උදරය, ලිංගාශ්‍රිත ප්‍රදේශය, සහ කලවා වල ඉහළ කොටස විෂබීජ නාශක දියර මගින් හොඳින් සේදීම සිදුකෙරේ. ඉන් පසුව, උදරයේ කැපුම සිදුකරන ස්ථානය පමණක් නිරාවරණය වී තිබෙන පරිදි ජීවාණුහරිත (Sterile) රෙදි වලින් ශරීරය වැසීම සිදුකෙරේ. ශල්‍යකර්මය සිදුකරන වෛද්‍යවරයා විසින් උදරයේ පහළ කොටසේ හරස් අතට සෙන්ටිමීටර් 10 ක පමණ කුඩා කැපුමක් යොදන්නේ ඉන් අනතුරුවයි. මෙම කැපුම දිවෙන්නේ යටිබඩේ රෝම පිහිටන රේඛාව (Pubic hairline) ඔස්සේ බැවින්, එය බිකිනි රේඛා කැපුම (Bikini line incision) ලෙසද හඳුන්වනවා. ශල්‍යකර්මයෙන් අනතුරුව උදරයේ ඇතිවන කැළල යට ඇඳුමට පවා ආවරණය වන බැවින්, ගර්භණී මවගේ පෙනුමට බාධාවක් ඇතිවන්නේ නැහැ. දරුවා බිහිකිරීමට තරමක විශාල කැපුමක් අවශ්‍ය වන විටෙක හෝ දරුවා ඉතාම ඉක්මනින් බිහිකිරීමට අවශ්‍ය වන විටෙක, ගර්භණී මවගේ නාභියට මදක් පහළ සිට යූනික අස්ථියට මදක් ඉහලින් වන ප්‍රදේශය දක්වා උදරයේ මැදින් සිදුකරන කැපුමක් මගින් දරුවා බිහිකිරීම සිදුකල හැක. කැපුම කෙසේ සිදුකලත්, සමේ සිට උදර බිත්තියේ ස්ථරයෙන් ස්ථරයට උදර කුහරය දක්වා කැපුම සිදුකල යුතුවේ.

ගර්භාෂයේ කැපුම යොදන්නේ ඉන් අනතුරුවයි. මෙම කැපුම ගර්භාෂයේ පහළ කොටසේ හරස් අතට සිදුකරනු ලැබේ. ඉන් අනතුරුව, ගර්භාෂයේ ස්ථරයෙන් ස්ථරය හරහා කැපුම යොදමින් දරුවා සිටින ගර්භාෂ කුහරය වෙත ලඟාවීම සිදුකරන අතර, ප්‍රවේශමෙන් දරුවා ඉවතට ගෙන පෙකනි වැල (Umbilical cord) කපා විශේෂ ප්ලාස්ටික් කලම්පයකින් (Clamp) බැඳීම සිදුකෙරේ. දරුවාගේ නාසයේ සහ මුඛයේ ඇති දියර ඉවත්කර, හොඳින් පිසදමා ළමා රෝග සම්බන්ධ වෛද්‍යවරයෙකුගේ කෙටි පරීක්ෂා කිරීමකින් අනතුරුව, ශල්‍යකර්මය සිදුකරන අතරතුරම මව වෙත මද වේලාවක් ලබාදීම සිදුකරනු ලබයි. එහිදී, මවට අලුත උපන් දරුවාට මුළින්ම මව්කිරි ලබාදීමද සිදුකල හැක.

දරුවා ඉවතට ගැනීමෙන් අනතුරුව, ගර්භාෂයෙන් වැදැමහ (Placenta) ප්‍රවේශමෙන් ගලවා ඉවත්කර ගර්භාෂය ඇතුළත පිරිසිදු කිරීම සිදුකෙරේ. ඉන් අනතුරුව, ගර්භාෂයේ සිට සම දක්වා යලි ස්ථරයෙන් ස්ථරයට ප්‍රවේශමෙන් මැහුම් යෙදීම සිදුකරයි. මෙහිදී, රුධිර වහනයක් සිදුවීමට ඉඩ ඇති ස්ථාන හෝ දැනට රුධිර වහනයක් සිදුවන ස්ථාන වසාදැමීම සිදුකරනු ලැබේ. සිසේරියන් සැත්කමකදී බොහෝවිට සමට යොදන්නේ දියවන මැහුම් බැවින්, මැහුම් කැපීමට හෙවත් ඉවත්කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. නමුත්, සමට යොදා ඇත්තේ දියනොවන මැහුම් නම්, සැත්කමෙන් දින 5 කට පමණ පසුව ඒවා ඉවත්කිරීම කල යුතුයි.

ශල්‍යකර්මයට පසුව ශල්‍යාගාරය තුළදීම මවට රුධිර වහනයක් සිදුවේදැයි නැවත පරීක්ෂා කිරීම සිදුවේ. ඉන් අනතුරුව, ගැටළුවක් නැත්නම් මව හා දරුවා ශල්‍යාගාරයේ සිට වාට්ටුව වෙත රැගෙන යාම සිදුකරයි. ස්ථානීය නිර්වින්දනය ලබාදීමෙන් පසුව, පැය 4-5 ක් පමණ ගතවන තුරු දෙපාවල හිරි ගතිය පැවතිය හැක. පසුව, වේදනා ඇතිවිය හැකි බැවින්, වාට්ටුවේදී වේදනා නාශක ඖෂධ ලබාදෙනු ඇත. එබැවින්, මවට මව්කිරි ලබාදීම සහ ආහාර ගැනීම වැනි කාර්යයන් තනිවම කිරීමට හැකියාව ලැබේ. සිසේරියන් ශල්‍යකර්මය සිදුකිරීමෙන් පැය 12 කට පමණ පසුව මුත්‍රා බටය ඉවත්කරන අතර, තවදුරටත් අන්තශ්ශෛරික දියර හෝ ඖෂධ ලබාදීමට අවශ්‍ය වන්නේ නැහැ. සැත්කමෙන් දෙවන දිනයේදී, බොහොමයක් මව්වරුන්ට තනිවම ඇඳෙන් බැස මද දුරක් ඇවිද යාමට හැකියාව ලැබේ. දරුවා බිහිකිරීමෙන් අනතුරුව හොඳින් මව්කිරි ලබාදීම දරුවාට මෙන්ම මවටද ඉතාම වැදගත් වනබව අමතක නොකල යුතුයි. මව විසින් නිසි පරිදි වේදනා නාශක ඖෂධ ලබාගැනීම සහ ආහාර ගැනීමද සිදුකල යුතුයි. සංකූලතා කිසිවක් ඇති නොවුනහොත්, දින 3-5 කින් පමණ මවට සහ අලුත උපන් දරුවාට රෝහලේ සිට නිවසට යෑමට අවස්ථාව උදාවේ.

(ඡායාරූප අනුග්‍රහය: Nick Koch Weiler)

සබැඳි ලිපි:

සිසේරියන් සැත්කම සිදුකරන්නේ ඇයි?
සිසේරියන් සැත්කමක් සඳහා සූදානම් වන්නේ කොහොමද?
සිසේරියන් සැත්කමකට පසුව ඔබ කුමක් කල යුතුද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සිසේරියන් සැත්කමකින් දරු උපතක් සිදුකරන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*