දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?

දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?

දියවැඩියාව වැළඳීමට හේතු මොනවාදැයි විමසා බැලීමට පෙර, අපගේ ශරීරය ග්ලූකෝස් නැමැති සීනි වර්ගය හසුරුවන යාන්ත්‍රණය සරළව වටහාගැනීම වැදගත් වේ. එහිදී, මිනිස් සිරුර තුළ ග්ලූකෝස් වල කාර්යභාරය සහ ඉන්සියුලින් (Insulin) නැමැති හෝමෝනයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගත යුතුය. එවිට, දියවැඩියාව වැළඳීමට හේතු හඳුනාගැනීම පහසු වේ.

ඉන්සියුලින් හෝමෝනය ක්‍රියාකරන්නේ කොහොමද?

ඔබේ ආමාශයට පිටුපසින්, එයට මදක් පහලට වන්නට අග්න්‍යාශය හෙවත් ඇලදිව (Pancreas) ලෙසින් හඳුන්වන ග්‍රන්ථියක් ඇත. ඉන්සියුලින් නිෂ්පාදනය කර රුධිරයට නිදහස් කරන්නේ මෙම අග්න්‍යාශය මගිනි. එසේ ශ්‍රාවය කරන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ ඇති ග්ලූකෝස්, ශරීරයේ ඇති සෛල වලට ඇතුළු කරවනු ලැබේ. එමනිසා, ඉන්සියුලින් වලට රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම අඩුකිරීමට හැකියාව ඇත. රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම ඉහල යත්ම, අග්න්‍යාශයේ නිපදවෙන ඉන්සියුලින් ප්‍රමාණය වැඩිවන අතර, රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම ක්‍රමයෙන් අඩුවන විට, එයට සමගාමීව ඉන්සියුලින් නිපදවන ප්‍රමාණයද ක්‍රමයෙන් අඩුවේ.

අපගේ ශරීරය තුළ ග්ලූකෝස් වල කාර්යභාරය කුමක්ද?

ග්ලූකෝස් යනු සීනි වර්ගයකි. ආහාරයේ ඇති ඕනෑම කාබෝහයිඩ්‍රේටයක් ශරීරයට අවශෝෂණය කරගන්නේ ග්ලූකෝස් ආකාරයටය. ශරීරයේ ඇති මාංශ පේශි වල සහ අනෙකුත් පටක වල ඇති සෛල වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය සපයන ප්‍රභවය, ග්ලූකෝස් වේ. රුධිරයට ග්ලූකෝස් ලැබෙන ප්‍රධාන ප්‍රභව දෙකක් ඇත. ඒවා නම්, ආහාර සහ අක්මාවයි. ආහාර ජීර්ණය වීමේදී, එහි ඇති කාබෝහයිඩ්‍රේට, ග්ලූකෝස් ලෙස රුධිරයට අවශෝෂණය වන අතර, ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් ග්ලූකෝස් සෛල තුළට ඇතුළු වේ. ඔබේ අක්මාවටද රුධිරයේ ඇති ග්ලූකෝස්, ග්ලයිකොජන් ලෙස ගබඩාකර තබාගත හැක. අවශ්‍ය විටෙක, අක්මාව ග්ලයිකොජන් වලින් නැවත ග්ලූකෝස් නිපදවයි.

ඔබගේ රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම පහල වැටුනහොත්, ඔබේ අක්මාව ගබඩාකර ඇති ග්ලයිකොජන් බිඳ දමමින් ග්ලූකෝස් නිපදවයි. උදාහරණයක් ලෙස, ඔබ දිගු කාලයක් නිරාහාරව සිටියහොත්, එසේ සිදුවේ. මෙම ක්‍රියාවලිය මගින්, රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම, සාමාන්‍ය පරාසයක පවත්වා ගනී.

පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes mellitus) වැළඳීමට හේතු මොනවාද?

දියවැඩියාව රෝගයේ එක් ආකාරයක් ලෙස පළමු වර්ගයේ දියවැඩියාව හැඳින්විය හැක. සැබැවින්ම, පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට නියම හේතුව තවමත් පැහැදිලි නැත. දැනට අනුමාන කරන හේතුව ලෙස, සාමාන්‍යයෙන් බැක්ටීරියා, වෛරස වැනි රෝගකාරක විනාශ කරන, අපගේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය (Immune system) විසින් අග්න්‍යාශයේ ඇති ඉන්සියුලින් නිපදවන සෛල වලට පහර දී විනාශ කිරීම දැක්විය හැක. එහිදී, ඉන්සියුලින් නිපදවීම අඩපණවීම හෝ සම්පූර්ණයෙන්ම නැවතීම සිදුවේ. එමනිසා, සෛල තුළට ඇතුළුවීම වෙනුවට, රුධිරයේ ග්ලූකෝස් එකතුවීම නිසා ග්ලූකෝස් මට්ටම ඉහලයාම සිදුවේ.

මෙසේ, පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට පරම්පරාවෙන් පරම්පරාවට ගමන්කරන ජාන සහ වෙනත් පරිසර සාධක වල සාමූහික එකතුවක් බලපාන බවට අනුමාන කලද, ඒවා ක්‍රියාත්මක වන යාන්ත්‍රණය තවමත් නිසි ලෙස හඳුනාගෙන නැත.

පූර්ව-දියවැඩියාව (Prediabetes) සහ දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus) වැළඳීමට හේතු මොනවාද?

දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමට වහාම පෙර අවධියක් ලෙස පූර්ව-දියවැඩියාව හැඳින්විය හැක. පූර්ව-දියවැඩියාව යනු සාමාන්‍ය තත්ත්වයක් නොවන අතර, පූර්ව-දියවැඩියාව ඇති අයෙකුට දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් ඇත. දෙවන වර්ගයේ දියවැඩියාව රෝගයේදී, ඔබේ ශරීරයේ සෛල ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් දක්වන අතර, එම ප්‍රතිරෝධය මර්ධනය කිරීමට තරම් ඉන්සියුලින් ප්‍රමාණයක් නිපදවීමට අග්න්‍යාශයද අපොහොසත් වේ. එමනිසා, රුධිරයේ ඇති ග්ලූකෝස් වලට සෛල තුළට ගමන් කිරීමට ඇති හැකියාව අඩුවන බැවින්, රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම ඉහලයාම සිදුවේ.

මෙසේ සිදුවන්නේ ඇයි දැයි තවමත් පැහැදිලි කරගෙන නැත. කෙසේ වුවත්, ඒ සඳහා ජානමය සහ පාරිසරික සාධක වල බලපෑමක් ඇතැයි අනුමාන කරයි. ශරීරයේ බර වැඩිවත්ම, දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමට ඇති අවදානමද සැලකිය යුතුලෙස ඉහල යන බව පෙනේ. නමුත්, දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳී ඇති සියල්ලන්ම ශරීරයේ බර වැඩි අය බවක් නොපෙනේ. දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳුනු ඇතැම් රෝගීන් සාමාන්‍ය බර හෝ අඩු බරක් සහිත අය වේ.

ගර්භණී අවධියේදී හටගන්නා දියවැඩියාව (Gestational diabetes) වැළඳීමට හේතු මොනවාද?

ගර්භණී අවධියේදී, දරුගැබ නිසි ලෙස පවත්වාගැනීම සඳහා වැදැමහ (Placenta) විසින් හෝමෝන නිපදවයි. මෙම හෝමෝන වලට ඔබේ ශරීරයේ සෛල තුළ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වය කෙරෙහි ප්‍රතිරෝධයක් ගොඩනැංවීමේ හැකියාව ඇත.

සාමාන්‍යයෙන්, ඔබේ අග්න්‍යාශය මෙම ප්‍රතිරෝධය මර්ධනය කිරීම සඳහා අමතර ඉන්සියුලින් නිපදවීම සිදුකරයි. නමුත්, ඇතැම් අවස්ථා වලදී අග්න්‍යාශයට දිගටම එසේ කිරීමට නොහැකි වේ. එවිට, රුධිරයේ ඇති ග්ලූකෝස් සෛල තුළට ගමන්කිරීම අඩුවන බැවින්, රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩිවේ.

(ඡායාරූප අනුග්‍රහය: Ayurvedic India)

සබැඳි ලිපි:

දියවැඩියාව (Diabetes mellitus) යනු කුමක්ද?
දියවැඩියාව රෝග විනිශ්චය කරන්නේ කොහොමද?
දෙවන වර්ගයේ දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?
දියවැඩියාව පාලනය කිරීමට ඉඟි 10 ක්
ඔබටත් දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවාද?
දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*