දෙගිඩියාවෙන් ගැලවෙන්නේ කොහොමද?

දෙගිඩියාවෙන් ගැලවෙන්නේ කොහොමද

සමහර විට, යම් යම් තීරණ ගැනීමේදී අප දෙගිඩියාවකට පත්වීම සාමාන්‍ය දෙයකි. නමුත්, එය නිතරම ඉස්මතුවීම සාමාන්‍ය දෙයක් නොවේ. ඇතැම් විට, ව්‍යාධියක් වැනි දෙගිඩියාව ඔබේ ජීවිතයේ විවිධාකාර පැති අවුල්සහගත කිරීමට පුළුවන. අප අතරින් බොහොමයකට එවැනි මට්ටමකට දෙගිඩියාව ඇති නොවූවත්, වත්මන් සමාජයේ පවතින තෝරාගැනීම් සංඛ්‍යාව වැඩිවීමත් සමග දෙගිඩියාවක් ඇතිවීමට ඇති සම්භාවිතාවය මදක් වැඩිය. අපගේ මොළයේ නළල ආසන්නයේ ඇති ලලාට බාහිකය (Frontal cortex) නැමැති කොටසෙහි ඉදිරියෙන්ම ඇති ප්‍රදේශය (Prefrontal cortex) ට පිං සිදුවන්නට, නිවැරදි තීරණ ගැනීමට හැකියාව ලැබේ. නමුත්, එම කොටසට එකවර හැසිරවිය හැක්කේ ආසන්න වශයෙන් තොරතුරු 7 ක් පමණි. කෙසේ වුවත්, මදක් වෙනස් ආකාර වලට තීරණ ගැනීමට ඔබ කැමැත්තක් ඇතිකරගතහොත්, නිවැරදි තීරණ ගැනීමට ඉගෙනීමේ ආරම්භය එය වේ. සැබැවින්ම, දෙගිඩියාවෙන් ගැලවෙන්නේ කොහොමද?

පළමු පියවර

පළමුවෙන්ම, පරිපූර්ණත්වයට පත්වීමට ඇති කැමැත්තට යන්න දෙන්න. දෙගිඩියාව ඇතිවන බොහොමයක් අවස්ථා වලට හේතුව වන්නේ, සෑම විටෙකම නිවැරදිම තීරණය ගැනීමට අපේ ඇති ආශාවයි. එවිට, යම් තීරණයක් ගන්නා විට එයින් අනිසි ප්‍රතිඵල අත්වේදෝ යැයි බියක් ඇතිවන අතර, එමගින් ජීවිතයේ සාර්ථකත්වයට සැලකිය යුතු හානියක් සිදුවිය හැක. එමනිසා, ගන්නා තීරණයකින් වැරදීමක් වුවහොත්, එයට මුහුණදීමට ධෛර්යයක් ඇතිකරගැනීම සහ යමක් තීරණය කිරීමේදී අවදානමක් ගැනීමට හැකිවීම ඉතාම වැදගත් වේ. සර්ව සම්පූර්ණත්වයට පත්වීමට ඇති ආශාවෙන් මිදිය හැකිනම්, දෙගිඩියාවෙන් ගැලවීමට හැකිවනවා මෙන්ම, ඔබට අවශ්‍ය විටෙක තීරණ ගැනීමට හැකියාවද ලැබේ.

දෙවන පියවර

ඔබේ සිතුවිලි සහ හැඟීම් වලට සවන්දෙන්න. මෙය, නිවැරදි තීරණ ගැනීම පිළිබඳ අදහස් වලට මදක් පටහැනි දෙයක් ලෙස ඔබට සිතෙනු ඇත. නමුත්, එය වඩාත් ඵලදායී වියහැකි බව සිතට ගන්න. යම් කටයුත්තක් කිරීමට ඇති විකල්ප ගණනාව වැඩිවත්ම ඔබේ මොළයේ ලලාට බාහිකයේ ක්‍රියාකාරීත්වය මදක් යටපත් වන අතර, එවිට අඳුර මැදින් මග පෙන්වන ආලෝකයක් මෙන් ඔබේ පිහිටට එන්නේ ඔබේ හැඟීම් හෝ සහජ බුද්ධියයි. 1980 දශකය තුළ ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඇන්ටෝනියෝ ඩිමැසියෝ (Antonio Demasio) කල පර්යේෂණයකට අනුව, මොළයේ හැඟීම් ඇතිකිරීමට අදාළ ලිම්බික් පද්ධතියේ (Limbic system) ක්‍රියාකාරීත්වයට මොළයේ ඇතිවන ගෙඩි වලින් හානි සිදුවූ පුද්ගලයන් ඉමහත් ලෙස දෙගිඩියාවට පත්වන බව සොයාගත් අතර, ඔවුන්ට පෑනක් තෝරාගැනීමට පවා පැය 5 ක් දක්වා කාලයක් ගතවී ඇත.

තෙවන පියවර

කුඩා තීරණ ගැනීමට පුහුණුවන්න. වැඩි අවදානමක් ගෙන තීරණ ගැනීමට ඇති ධෛර්යය වැඩිකරගැනීමට ඇති එක් ක්‍රමයක් ලෙස කුඩා තීරණ ගැනීමට පුහුණුවීම දැක්විය හැක. හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව කුඩා තීරණ ගැනීමට මනාව පුහුණුවීම, අනාගතයේදී විශාල තීරණ ගැනීමට ඇති හැකියාව වැඩිකරයි. එහිදී, මද අවදානමක් ගෙන ගතයුතු තීරණ වල සිට, වැඩි අවදානමක් ගෙන ගතයුතු තීරණ දක්වා ඔබේ හැකියාව ක්‍රමයෙන් වර්ධනය කරගන්න.

(ඡායාරූප අනුග්‍රහය: Blondinrikard Fröberg)

සබැඳි ලිපි:

ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීම සඳහා ක්‍රියාකාරකම්
ඔබේ ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ක්‍රම 10 ක්
මානසික ආතතිය පාලනය කරගන්නේ කොහොමද?
මානසික සුවතාවය වැඩිදියුණු කරගන්නේ කෙසේද?

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දෙගිඩියාවෙන් ගැලවෙන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*