නව වසරේ ලුණු භාවිතය ටිකක් අඩු කරමුද?

නව වසරේ ලුණු භාවිතය ටිකක් අඩු කරමුද?

මුලින්ම, ලැබුවා වූ අලුත් අවුරුද්ද සියළු ශ්‍රී ලාංකිකයන්ට සතුට, සාමය, සහ සෞභාග්‍යය සපිරි, නිරෝගීබව සුරැකෙන සුභ අලුත් අවුරුද්දක් වේවා යැයි පතමි. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ, ලුණු භාවිතය ටිකක් අඩුකිරීමෙන් සුවැති දිවියකට මංපෙත විවර කරගන්නේ කෙසේදැයි මදක් පැහැදිලි කිරීමටය. සැබැවින්ම, අපේ ශරීරයේ මනා ක්‍රියාකාරීත්වයට ලුණු ස්වල්ප වශයෙන් අත්‍යාවශ්‍ය වේ. වැඩිහිටියෙකුට නම් මෙම ලුණු ප්‍රමාණය දිනකට තේ හැඳි 1 ක් හෙවත් ග්‍රෑම් 5 ක් වේ. එනම්, සාමාන්‍යයෙන් හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මාසයකට ලුණු ග්‍රෑම් 500 ක පැකට් එකක් සෑහේ. නමුත්, ශ්‍රී ලාංකිකයන් අතරින් බොහොමයක් මෙම ප්‍රමාණය මෙන් 2-3 ගුණයක් ලුණු ආහාරයට ගන්නා බව ඔබ දන්නවාද? එසේනම්, නව වසරේ ඔබේ ලුණු භාවිතය ටිකක් අඩු කරමුද?

පමණ ඉක්මවා ලුණු භාවිතා කිරීම, අධික රුධිර පීඩනය (Hypertension) ඇතිවීම සඳහා ඇති ප්‍රධානතම අවදානම් සාධකයකි. එමගින්, අංශභාගය හෙවත් ආඝාතය (Stroke), හෘදයාබාධය (Heart attack or Myocardial infarction) ඇතුළු හෘද රෝග වැළඳීමට ඇති අවදානමද සැලකිය යුතු ලෙස ඉහළ යාම සිදුවේ. එයට අමතරව, වැඩිපුර ලුණු භාවිතා කිරීම ආමාශයේ පිළිකා වැළඳීමට ඇති අවදානමද වැඩිකරයි. අධික රුධිර පීඩනය නැති අයට තමන් ගන්නා ලුණු ප්‍රමාණය ගැන එතරම් සැලකිලිමත් වීමට අවශ්‍ය නැත යන්න බොහොමයක් අතර පවතින වැරදි මතයක් ලෙස දැක්විය හැක. දැනට අධික රුධිර පීඩනය වැළඳී ඇතත්, නැතත් සැවොම තමන් ගන්නා ලුණු ප්‍රමාණය ගැන සැලකිලිමත් විය යුතුවේ.

අප ලුණු රසට පුරුදු වන්නේ කුඩා කල සිටමයි. එය ලුණු රසට ඇබ්බැහි වීමක් ලෙස දැක්වීමද වැරදි නොවේ. එබැවින්, ළදරු ආහාර වලට ලුණු එකතු කිරීමෙන් වැළකීම ලුණු භාවිතය අඩුකිරීම සඳහා කලහැකි හොඳ උපක්‍රමයක් ලෙස හැඳින්විය හැක. එවිට, දරුවාගේ දිව සහ ස්නායු පද්ධතිය ලුණු රසට පුරුදුවීම ප්‍රමාද වීමෙන්, අඩු ලුණු ප්‍රමාණයකින් සෑහීමකට පත්වීමට පුරුදු වේ. එමෙන්ම, බත් පිසීමේදී ලුණු එකතු කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට, බත් පිසීමේදී රම්පෙ කොළ කැබලි කිහිපයක් බතට එකතු කර පිසගැනීමෙන් ලුණු වල අවශ්‍යතාවය මගහරවා ගතහැක. ඇතැම් අය කෑම මේසයේදී ලුණු එකතු කරගැනීමට පුරුදු වී සිටින අයුරු දැකගත හැකියි. කෑම මේසය මත ලුණු භාජන තැබීමෙන් වැළකීම එය මගහරවා ගැනීමට හොඳ උපක්‍රමයකි. එමෙන්ම, කරවල සහ වියළි හාල්මැස්සන් වැනි ආහාර ස්වභාවයෙන්ම ලුණු අධිකව පවතින ආහාර ලෙස හැඳින්විය හැකියි. ඒවා පිසීමට පෙර, පැයක් පමණ උණුසුම් ජලයේ පොඟවා හොඳින් සෝදාගැනීමෙන් ලුණු ඉවත්කරගැනීම කලහැක. පළතුරු යුෂ පිළියෙල කරගැනීමේදී අමතරව ලුණු එකතු කිරීම බහුලව සිදුවන දෙයක්. නමුත්, අමතර ලුණු එකතු කිරීමෙන් වැළකීම ඔබේ සෞඛ්‍යයට හිතකර බව අමතක කරන්න එපා. වෙළඳපොලෙන් ආහාර මිළදීගැනීමේදීද එහි අඩංගු ලුණු ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වන්න. සැමවිටම ලුණු අඩු ආහාර මිළදීගැනීමට පුරුදුවන්න. ක්‍රමයෙන් අඩු ලුණු ප්‍රමාණයකට ඔබේ දිව හුරුකර ගැනීමෙන්, ආහාරයේ ඇති වෙනත් ස්වභාවික රසයන් භුක්ති විඳීමට හැකියාව ලැබේ.

ආහාර පිසීමේදී එකතුකරන ලුණු ප්‍රමාණය සීමාකිරීම සඳහා උපක්‍රමයක් පවතී. සෑම උදෑසනකම, ඔබේ පවුලේ සාමාජිකයන් ගණනට අවශ්‍ය ලුණු ප්‍රමාණය මැන භාජනයකට දමාගන්න. ඉන්පසු, දවස පුරා ඔබ භාවිතා කලයුත්තේ එම ලුණු ප්‍රමාණය පමණයි. උදාහරණයක් වශයෙන්, ඔබේ පවුලේ සාමාජිකයන් 4 දෙනෙක් සිටී නම්, ලුණු තේ හැඳි 4 ක් හෙවත් ග්‍රෑම් 20 ක් දිනකට සෑහේ. මුලදී, ඔබට ලුණු අඩු බවක් දැනෙන මුත්, එකදිගටම සති 2 ක් පමණ එසේ කිරීමෙන්, අඩු ලුණු ප්‍රමාණයකට ඔබේ දිව හුරුවේ. මෙසේ, ගන්නා ලුණු ප්‍රමාණය අඩුකිරීමෙන් ඔබේ ශරීරයට ලැබෙන අයඩින් ප්‍රමාණය අඩුවේ යැයි අනියත බියක් ඇතිකරගත යුතු නොවේ. ඔබේ ශරීරයට දිනපතා අයඩින් අවශ්‍ය වන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් බැවින්, ලුණු ප්‍රමාණය අඩු වුවත් එයින් ලැබෙන අයඩින් ප්‍රමාණය ප්‍රමාණවත් වේ. නමුත්, ආහාර පිසීමේදී තාපය මගින් අයඩින් විනාශ වියහැකි බැවින්, ආහාර පිසීමෙන් පසුව ලුණු එකතු කිරීමට වගබලාගන්න.

පහත සඳහන් ආහාර වල ලුණු වැඩිපුර අඩංගු වනබව අමතක කරන්න එපා.

  • අසුරන ලද මස් වර්ග, සොසේජස්, සෝස් වර්ග, චීස් වර්ග, බයිට් වර්ග, බේකන්, හැම්, සුප් කැට, චට්නි වර්ග, ඊස්ට් අඩංගු පානයන් හා තැවරුම්, ලුණු එක්කරන ලද මාගරින් හා බටර් වැනි සකස් කල ආහාර
  • අච්චාරු
  • කරවල, වියළි හාල්මැස්සන්, ජාඩි, සහ ටින් මාළු

ලුණු වැඩිපුර අඩංගු වන ආහාර වෙනුවට, ලුණු අඩු පෝෂ්‍යදායී අලුත් මාළු, අලුත් එළවළු, පළා වර්ග, සහ පළතුරු වැඩිපුර ආහාරයට ගැනීමෙන් සුවැති දිවියක් ලබාගැනීමට හැකියාව ඇතිබව අමතක කරන්න එපා.

 

(ඡායාරූප අනුග්‍රහය: Salih IGDE)

 

සබැඳි ලිපි:

පැණිරස කෑමට ඇති ආශාවෙන් මිදෙන්නේ කොහොමද?
නිවැරදිව ලුණු ආහාරයට ගන්නේ කෙසේද?
පොල්තෙල් වලින් ආහාර පිසීමේ ඇති වාසි සහ අවාසි
වැඩිපුර ලුණු භාවිතය අගුණ ඇයි?
සීනි, රසකැවිලි, සහ රසකල පානයන් අඩුවෙන් ගතයුත්තේ ඇයි?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "නව වසරේ ලුණු භාවිතය ටිකක් අඩු කරමුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*