දරුවෙකු වැටුනොත් කුමක් කල යුතුද?

දරුවෙකු වැටුනොත් කුමක් කල යුතුද?

කුඩා දරුවන් නිතරම දුවමින්, පනිමින්, නගිමින් සෙල්ලම් කරනු දැකිය හැක. එය, ඔවුන් අවට පරිසරය විඳීමට සහ ගවේෂණය කිරීමට ගන්නා උත්සාහයක් ලෙස හැඳින්වීමට පුළුවන. එමෙන්ම, කුඩා දරුවන් අලුත් දේවල් අත්හදා බැලීමටද උත්සාහ කරයි. එමගින්, ඔවුන් වටපිටාව පිළිබඳ දැනුම ලබාගනී. එමනිසා, කුඩා දරුවන් අතර වැටීම් එතරම් දුලබ දෙයක් නොවේ. එවැනි වැටීම් වලදී ඔබේ දරුවාගේ ශරීරයේ තුවාල, කැපීම, රතුවීම, ඉදිමීම මෙන්ම, ඇතැම් විට දරුණු අනතුරුද සිදුවිය හැක. වැඩිහිටියන්, විශේෂයෙන්ම දෙමව්පියන් තම දරුවා වැටුනු විට, තරමක් කලබලයට පත්වීම සාමාන්‍යයෙන් දැකිය හැක. දරුවෙකු වැටුනොත් සැබැවින්ම කලයුත්තේ කුමක්ද?

වැටීමෙන් අනතුරුව ඔබේ දරුවාට පහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඇත්නම්, කලබලයෙන් දරුවා ඔසවාගෙන හෝ වාහනයක දමාගෙන රෝහලට ගෙනයන්න උත්සාහ කරන්න එපා. එසේ කිරීමෙන්, ඔබේ දරුවාට සිදුවී ඇති ආබාධය හෝ අනතුර තවත් උග්‍ර අතට හැරෙන්න පුළුවන්. දරුවා ලඟම ඇති රෝහලට ගෙනයන විට දරුවාගේ හිස, බෙල්ල, සහ කොන්ද නොනැමෙන සේ, එකම රේඛාවක පවතින පරිදි කෙලින් තබාගෙන ප්‍රවේශමෙන් ගෙන යා යුතුවේ. එමෙන්ම, දරුවාගේ උකුල, අත්, හෝ පාද වලට දැඩි අනතුරක් සිදුවී ඇත්නම්, ඒවා චලනය නොවන පරිදි ප්‍රවේශමෙන් ගෙන යාම වැදගත් වේ. මෙසේ ඉතා ප්‍රවේශම් සහගත ලෙස දරුවා රෝහලට ගෙන යා යුතු අනතුරු:

  • දරුවාගේ හිස, බෙල්ල, කොන්ද, උකුල් අස්ථි, හෝ කලවා වලට දැඩි අනතුරක් සිදුවී ඇතිබවට ඔබ සැකකරයි නම්,
  • දරුවා සිහිසුන් වී සිටීම.
  • දරුවාට හුස්ම ගැනීමට අපහසු වීම.
  • දරුවා හුස්ම නොගැනීම (මෙහිදී ඔබ මූලික ජීවිතාධාර (Basic Life Support) ලබාදීමට දැන සිටීම ඉතා වැදගත් වේ.)
  • වැටීමෙන් පසුව දරුවාට වලිප්පුව සෑදීම.

 

දරුවා චලනය කිරීම ආරක්ෂිත බව හැඟේ නම්,

  • දරුවා සනසා තුවාළ හෝ අනතුරු සිදුව තිබේදැයි පරීක්ෂා කර බලන්න.
  • ඉදිමීමක් හෝ රතුවීමක් ඇත්නම්, රෙදි පොටවල් කිහිපයකින් එතූ අයිස් කැට ඒ මත තබන්න.
  • දරුවා හොඳ අවධානයකින් පසුවේ නම්, වේදනාව අඩුකිරීම සඳහා නියමිත මාත්‍රාවට පැරසිටමෝල් (Paracetamol) ලබාදෙන්න.
  • පැය කිහිපයක් දරුවාට විවේක ගැනීමට සලස්වන්න.
  • වැටීමෙන් පැය 24 ක් ගතවන තුරු, අසාමාන්‍ය රෝග ලක්ෂණ හෝ හැසිරීම් කිසිවක් දරුවාට ඇතිවේදැයි විමසිලිමත් වන්න.

 

වැටීමෙන් පසුව පහත සඳහන් ලක්ෂණ එකක් හෝ ඇත්නම්, ඔබේ දරුවා වෛද්‍යවරයෙක් වෙත හෝ රෝහලකට ගෙනයාමට කටයුතු කරන්න.

  • දරුවාට අධික නිදිමතක් ඇතිවීම හෝ දරුවා නින්දෙන් අවදි කිරීමට අපහසු වීම.
  • දරුවා පහසුවෙන් නොසන්සුන් හෝ කෝපවීම සහ නළවාගැනීමට අපහසු වීම.
  • දෙතුන් වතාවකට වඩා වමනය කිරීම.
  • දරුවාගේ මුඛයෙන්, නාසයෙන්, හෝ කනෙන් රුධිරය හෝ අවර්ණ දියරයක් (සොටු හැර) වහනය වීම.
  • හිසේ, බෙල්ලේ, හෝ කොන්දේ වේදනාවක් ඇති යැයි පැවසීම.
  • ශරීරයේ ඕනෑම තැනක වේදනාවක් ක්‍රමයෙන් උත්සන්න වීම.
  • ඇවිදීම අසාමාන්‍ය වීම හෝ අපහසුවෙන් ඇවිදීම.
  • අසාමාන්‍ය ලෙස බැලීම.
  • ඕනෑම හැසිරීමේ වෙනසක් හෝ රෝග ලක්ෂණයක් පිළිබඳව ඔබට සැකයක් ඇතිවීම.

 

ඔබේ දරුවා වැටීමෙන් වළක්වා ගන්නේ කොහොමද?

  • කිසිම ළදරුවෙකු හෝ කුඩා දරුවෙකු වැඩිහිටියෙකුගේ සුපරීක්ෂාවකින් තොරව ඇඳක, පුටුවක, සෝපාවක, හෝ වෙනත් ඕනෑම ගෘහ භාණ්ඩයක් මත සිටීමට ඉඩහරින්න එපා.
  • බේබි වෝකර් (Baby walkers) භාවිතා කිරීමෙන් වළකින්න.
  • කුඩා දරුවන් දොර, ගේට්ටු, ජනේල වැනි දේ මත එල්ලී සෙල්ලම් කරන්නේදැයි විමසිලිමත්ව සිට එසේ කිරීමෙන් වළක්වා ගන්න.
  • දරුවා උස් පුටුවක හෝ වෙනත් ආසනයක තබනවා නම් ආරක්ෂක පටි පළඳවන්නට අමතක කරන්න එපා.
  • ඔබේ අවධානයට හසු නොවී ඉහළ නැගීමට ඉඩහරින්න එපා.
  • දරුවා බයිසිකල් පදින විට ආරක්ෂක හිස්වැසුම් සහ වෙනත් ආරක්ෂක උපාංග පළඳවන්න.
  • සැමවිටම ඔබේ දරුවා පිළිබඳ හොඳ අවධානයකින් සිටින්න.

 

(ඡායාරූප අනුග්‍රහය: Leonid Mamchenkov)

 

සබැඳි ලිපි:

නිවසේදී ඔබේ කුඩා දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?
පිළිස්සුම් තුවාළ සිදුවීමෙන් ඔබේ දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?
දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?
දරුවාගේ කැපුම් තුවාළයක් සිදුවුවහොත් කුමක් කලයුතුද?
දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දරුවෙකු වැටුනොත් කුමක් කල යුතුද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*