සිසේරියන් සැත්කමක් සඳහා සූදානම් වන්නේ කොහොමද?

සිසේරියන් සැත්කමක් සඳහා සූදානම් වන්නේ කොහොමද?

ඔබේ දරුවා බිහිකිරීම සඳහා සිසේරියන් සැත්කමක් (Cesarean delivery or C-section) සිදුකිරීමට සැලසුම්කර තිබේ නම්, ඔබේ වෛද්‍යවරයා විසින් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත ඔබව යොමුකරනු ඇත. මක්නිසාද, බොහෝවිට සිසේරියන් සැත්කම සිදුකරන්නේ කොඳු ඇට පෙළට ඖෂධයක් නික්ෂේපනය කර, ඔබේ නාභියෙන් පහළ හිරිවැට්ටවීමෙන් අනතුරුවයි. එමනිසා, සැත්කම අතරතුර ඔබ සිහියෙන් පසුවුවත් වේදනාවක් ඇතිවීම සිදුනොවේ. නිර්වින්දන වෛද්‍යවරයෙක් විසින් ඔබව පරීක්ෂා කරනු ලබන්නේ, මෙම නිර්වින්දන ක්‍රමවේදයට ලක්වීමට ඔබ සුදුසු දැයි සහ එයින් යම් සංකූලතාවයක් ඇතිවිය හැකි දැයි පරීක්ෂාකර බැලීමටයි. හදිසි අවස්ථාවකදී, නාභියෙන් පහළ හිරිවැට්ටවීම වෙනුවට, ඔබව සිහිනැතිකර සිසේරියන් සැත්කම සිදුකිරීමට තීරණය කලහැකියි. එවිට, නාභියෙන් පහළ හිරිවැට්ටවීම මෙන් නොව, සැත්කම අතරතුර සිදුවන කිසිවක් ඔබට දැකීමට, ඇසීමට, හෝ දැනීමට නොහැකිවේ.

ඔබේ වෛද්‍යවරයා ඔබව සිසේරියන් සැත්කමට ලක්කිරීමට පෙර, රුධිර පරීක්ෂණ කිහිපයක් සිදුකිරීමට නියම කරනු ඇත. එමගින්, ඔබේ රුධිරයේ හිමොග්ලොබින් මට්ටම සහ රුධිර ඝනය පිළිබඳ අදහසක් ලැබේ. එමගින්, ඔබව සිසේරියන් සැත්කමට භාජනය කරන අතරතුර හෝ ඉන් පසුව රුධිර පාරවිලයනයක් කිරීමට අවශ්‍ය වුවහොත්, එය පහසුවෙන් කිරීමට අවකාශ ලැබේ.

ඔබ සූදානම් වන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියකට වුවද, ඇතැම්විට සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහිකිරීම සිදුකල යුතු අවස්ථා එළඹිය හැකිබව අමතක කරන්න එපා. සැමවිටම, එවැනි අනපේක්ෂිත අවස්ථාවකටද සූදානම්ව සිටීම වැදගත් වේ. ඔබේ වෛද්‍යවරයා ඒ පිළිබඳවද ඔබව දැනුවත් කරනු ඇත. ඔබේ වෛද්‍යවරයා ඔබට හදිසි සිසේරියන් සැත්කමක් සිදුකිරීමට තීරණය කලහොත්, ඒ පිළිබඳව ඔබට පැහැදිලි කිරීමට හෝ ඔබගේ ගැටළු වලට පිළිතුරු ලබාදීමට ඔහුට හෝ ඇයට ප්‍රමාණවත් කාලයක් නොමැතිවීමට ඉඩකඩ ඇතිබව අමතක කරන්න එපා.

පූර්ව සැලසුම් කල සිසේරියන් ශල්‍යකර්මයක් සිදුකිරීමට පෙර සබන් යොදා හොඳින් ස්නානය කිරීමට ඔබට උපදෙස් ලබාදෙනු ඇත. එය, ශල්‍යකර්මය සිදුකිරීමෙන් අනතුරුව සිදුවිය හැකි ආසාදනය වීම් අවම කරගැනීමට වැදගත් වේ. ලිංගාශ්‍රිතව පවතින රෝම ඉවත්කිරීමද සිසේරියන් සැත්කම කිරීමට පෙර සිදුකරන කාර්යයකි. සිසේරියන් සැත්කමට පෙර මුත්‍ර මාර්ගය ඔස්සේ ඔබගේ මුත්‍රාශයට මුත්‍රා බටයක් ඇතුළු කරනු ඇත. එමගින්, ශල්‍යකර්මය සිදුකරන අතරතුර මුත්‍රාශය හිස්ව තබාගැනීම සිදුකරන අතර, එය සිසේරියන් සැත්කම සිදුකිරීමට පහසුවක් වේ. එය, සැත්කම අතරතුරදී මුත්‍රාශයට හානි සිදුවීමට ඇති අවදානමද අඩුකරයි. එමෙන්ම, ඔබේ අතට ශිරා නැමැති රුධිර වාහිනී ඔස්සේ’>අන්තශ්ශෛරික ඖෂධ සහ දියර ලබාදීමට පහසුවන පරිදි කැනියුලාවක් (Cannula) සවිකරනු ඇත. තවද, ඔබගේ ආමාශයේ අම්ල නිෂ්පාදනය අඩුකිරීම සහ එම ආම්ලික දියර උගුරට ගලා ඒම වැළැක්වීම සඳහා සැත්කම කිරීමට පෙර ඖෂධ ලබාදෙනු ඇත.

 

(ඡායාරූප අනුග්‍රහය: Vanessa Porter)

 

සබැඳි ලිපි:

සිසේරියන් සැත්කම සිදුකරන්නේ ඇයි?
සිසේරියන් සැත්කමකින් දරු උපතක් සිදුකරන්නේ කොහොමද?
සිසේරියන් සැත්කමකට පසුව ඔබ කුමක් කල යුතුද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "සිසේරියන් සැත්කමක් සඳහා සූදානම් වන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*