දියවැඩියාව රෝග විනිශ්චය කරන්නේ කොහොමද?

දියවැඩියාව රෝග විනිශ්චය කරන්නේ කොහොමද?

වසර 2015 වනවිට ශ්‍රී ලංකාවේ වෙසෙන වයස අවුරුදු 20-79 වන වැඩිහිටි ජනගහණයෙන් මිලියන 1.16 ක් දියවැඩියා රෝගීන් ලෙස හඳුනාගෙන තිබිණි. එය ප්‍රතිශතයක් ලෙස ගත්කල අවුරුදු 20-79 වන වැඩිහිටි ජනගහණයෙන් 8.5% ක් විය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ අතරින් 1.6% ක් සිදුවන්නේ දියවැඩියාව නිසා වීම, දියවැඩියා රෝගයේ ඇති බරපතලකම මොනවට විදහා දක්වයි. දියවැඩියා රෝගය නිසා ඇතිවන ඇතැම් රෝග ලක්ෂණ සහ පරීක්ෂණ මගින්, වෛද්‍ය වෘත්තිකයෙකුට දියවැඩියාව රෝග විනිශ්චය සිදුකල හැක.

 

දියවැඩියාව නිසා ඇතිවන රෝග ලක්ෂණ

දියවැඩියාව නිසා ඇතිවන රෝග ලක්ෂණ අනුව රෝගීන් කාණ්ඩ 3 කට වර්ගීකරණය කරනු ලබයි.

  • රෝග ලක්ෂණ රහිත (Asymptomatic) ආකාරය
  • තීව්‍ර (Acute) ආකාරය
  • උපතීව්‍ර (Sub-acute) ආකාරය

 

  • රෝග ලක්ෂණ රහිත ආකාරය

මෙම ආකාරයේ දියවැඩියා රෝගීන්ට කිසිඳු රෝග ලක්ෂණයක් නොමැතිවීම විශේෂත්වයකි. අවාසනාවකට මෙන්, දියවැඩියා රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණයක් අයත්වන්නේ මෙම කොටසටය. එමනිසා, මෙවැනි රෝගීන්ට දියවැඩියා රෝගය වැළඳී වසර ගණනාවක් යනතුරු එය හඳුනාගැනීමට නොහැකි වේ. බොහෝවිට මෙවැනි රෝගීන්ගේ රෝග විනිශ්චය සිදුවන්නේ සාමාන්‍ය පරීක්ෂාවකදී මුත්‍රා වල හෝ රුධිරයේ සීනි පරීක්ෂා කලහොත් පමණි.

  • තීව්‍ර ආකාරය

දියවැඩියාවේ තීව්‍ර ආකාරය බහුලව හටගන්නේ තරමක් වයසින් අඩු අයටය. ඔවුන්ට සති 2 ක සිට සති 6 ක් දක්වා කාලයකදී බහුලව ඇතිවන රෝග ලක්ෂණ 3 ක් ඇතිවනු දැකිය හැක.

  • වැඩිපුර මුත්‍රා පහවීම (Polyuria)
  • අධික පිපාසය
  • බර අඩුවීම

රෝගයේ මුල් අවධියේදී ඇතිවන මෙම රෝග ලක්ෂණ හඳුනානොගැනීම නිසා නිසි ප්‍රතිකාර වලට යොමු නොවුනහොත්, මෙවැනි දියවැඩියා රෝගීන්ට මුත්‍රා සමග කීටෝන (Ketone bodies) පහවීම සහ කීටෝන ආම්ලිකතාවය (Ketoacidosis) නම් වූ උග්‍ර රෝග තත්ත්වය වැළඳීම සිදුවිය හැක.

  • උපතීව්‍ර ආකාරය

දියවැඩියා රෝගයෙහි මෙම ආකාරය වැඩිපුර වැළඳෙන්නේ වැඩිහිටි අයටය. බොහෝවිට ඔවුන්ගේ රෝග ලක්ෂණ මාස ගණනාවක සිට වසර ගණනාවක් දක්වා පැවතිය හැක. අධික පිපාසය, වැඩිපුර මුත්‍රා පහවීම, සහ බර අඩුවීම ඔවුන් අතර බහුලව දැකිය හැකි රෝග ලක්ෂණ වේ. ඒවාට අමතරව, නිතර මස්පිඩු පෙරලීම, ශරීරයට තෙහෙට්ටුවක් දැනීම, පෙනීම බොඳවීම, කාන්තාවන්ගේ යෝනි මුඛය කැසීම, හෝ පුරුෂයන්ගේ ශිෂ්ණයේ පෙරසම හා ශිෂ්ණ මුණ්ඩය තුවාළවීම වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැක.

දියවැඩියාව දිගුකලක් පැවතීම හේතුවෙන් හටගන්නා සංකූලතා නිසා ඇතිවිය හැකි රෝග ලක්ෂණද පවතී. ඒවා නම්:

  • පුරුෂ ලිංගය ප්‍රාණවත් නොවීම.
  • පාද සහ යටිපතුල් වල හිරිගතියක් ඇතිවීම.
  • සෛලීයදාහය (Cellulitis) වැනි සමේ ආසාදන ඇතිවීම.
  • ඇසේ දෘෂ්ටිවිතානයේ ස්නායු දුර්වල වීමෙන් පෙනීම අඩුවීම (Diabetic retinopathy).
  • හෘදයාබාධය, අංශභාගය, සහ පර්යන්ත වාහිනික රෝගය (Peripheral vascular disease or PVD) වැනි ධමනි රෝග වැළඳීම.

වෛද්‍යවරයෙකු විසින් දියවැඩියා රෝගියෙකුට ඇතියැයි හඳුනාගන්නා රෝග නිමිතිද කිහිපයක් පවතී. ඒවා නම්:

  • ශරීරයේ බර අඩුවීම
  • විජලණය
  • සමේ ආසාදන
  • රෝගියාට කීටෝන ආම්ලිකතාවය ඇත්නම්, ඔහුගේ හෝ ඇයගේ පිටකරන හුස්ම කීටෝන සුවඳින් යුක්ත වියහැක.
  • දෘෂ්ටිවිතානයේ ඇතිවන හානි.
  • බෙල්ලෙහි සහ කිහිලි වල සම කලුපැහැවීම
  • පාදවල සංවේදනය අඩුවීම
  • ඇතැම් රෝගීන් හෘදයාබාධය, අංශභාගය, හෝ පර්යන්ත වාහිනික රෝගය සමග ඇතිවන රෝග ලක්ෂණ සහිතව වෛද්‍යවරයා වෙත පැමිණෙන අවස්ථාද පවතී.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (World Health Organization/WHO) උපමාන අනුව දියවැඩියාව රෝග විනිශ්චය කරන්නේ කෙසේද?

  • නිරාහාර ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම (Fasting plasma glucose) 126 mg/dl (7 mmol/l) හෝ එයට වැඩිවීම
  • සසම්භාවී ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම (Random plasma glucose) 200 mg/dl (11.1 mmol/l) හෝ එයට වැඩිවීම
  • දියවැඩියාව රෝග ලක්ෂණ ඇති රෝගියෙකුට ඉහත පරීක්ෂණ දෙකෙන් එකකින් දියවැඩියාව ඇතැයි පෙන්නුම් කරයි නම්, ඔහුට හෝ ඇයට දියවැඩියාව රෝගය ඇතැයි රෝග විනිශ්චය කලහැක. රෝග ලක්ෂණ කිසිවක් නොමැති පුද්ගලයෙකුගේ අවස්ථා දෙකකදී කරන ලද ඉහත පරීක්ෂණ වල ප්‍රතිඵල දියවැඩියාව ඇතැයි පෙන්නුම් කරයි නම්, ඔහුට හෝ ඇයට දියවැඩියාව ඇතැයි රෝග විනිශ්චය කලහැක.

 

නිරාහාර සහ සසම්භාවී ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම් පරීක්ෂා කරන්නේ කොහොමද?

  • නිරාහාර ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම

රාත්‍රී කාලය තුළ පැය 8-12 ක් නිරාහාරව සිටීමෙන් අනතුරුව, උදෑසන ශිරා නැමැති රුධිර වාහිනියකින් ලබාගත් රුධිර සාම්පලයක ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරනු ලැබේ.

  • සසම්භාවී ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම

දවසේ ඕනෑම වෙලාවක නිරාහාරව සිටීමකින් තොරව, ශිරාවකින් ලබාගන්නා රුධිර සාම්පලයක ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරනු ලැබේ.

සීමාසන්නව දියවැඩියාව ඇතැයි සිතන රෝගීන් සහ ගර්භණී සමයේ වැළඳෙන දියවැඩියාව ඇතැයි සැකසිතෙන රෝගීන් සඳහා මුඛ ග්ලූකෝස් උපධාරණ පරීක්ෂාව (Oral glucose tolerance test or OGTT) සිදුකිරීමට අවශ්‍ය විය හැක.

 

මුඛ ග්ලූකෝස් උපධාරණ පරීක්ෂාව සිදුකරන්නේ කෙසේද?

මෙම පරීක්ෂණය කලයුත්තේ උදෑසනය. මුලින්ම, පැය 8-12 ක් නිරාහාරව සිටීමෙන් අනතුරුව නිරාහාර ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම සඳහා රුධිර සාම්පලය ලබාගත යුතුවේ. ඉන් පසුව, රෝගියාට ගණනය කල ග්ලූකෝස් ප්‍රමාණයක් අඩංගු පානයක් බීමට දී පැය දෙකකට පසුව නැවත රුධිර සාම්පලයක් ගෙන ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරනු ලැබේ. මෙම පරීක්ෂණයේදී, වැඩිහිටියෙකුට ජලය මිලිලීටර් 300 ක දියකරන ලද ග්ලූකෝස් ග්‍රෑම් 75 ක් පානය කිරීමට ලබාදෙන අතර, දරුවෙකුට ලබාදෙන්නේ ශරීරයේ බර කිලෝග්‍රෑමයකට ග්ලූකෝස් ග්‍රෑම් 1.75 ක් වන පරිදිය.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපමාන අනුව මුඛ ග්ලූකෝස් උපධාරණ පරීක්ෂාවෙහි අගයන් වලින් විද්‍යාමාන වන තත්ත්වයන්

  • දියවැඩියාව
    • නිරාහාර ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම: 126 mg/dl (7 mmol/l) හෝ එයට වැඩිය.
    • මුඛ ග්ලූකෝස් උපධාරණ පරීක්ෂාව: 200 mg/dl (11.1 mmol/l) හෝ එයට වැඩිය.
  • පූර්ව දියවැඩියා තත්ත්වය (Pre-diabetes or impaired glucose tolerance test)
    • නිරාහාර ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම: 126 mg/dl (7 mmol/l) ට වඩා අඩුය.
    • මුඛ ග්ලූකෝස් උපධාරණ පරීක්ෂාව: 140.5 – 199 mg/dl (7.8-11 mmol/l)
  • සාමාන්‍ය ග්ලූකෝස් මට්ටම
    • නිරාහාර ප්ලාස්මා ග්ලූකෝස් මට්ටම: 126 mg/dl (7 mmol/l) ට වඩා අඩුය.
    • මුඛ ග්ලූකෝස් උපධාරණ පරීක්ෂාව: 140.5 mg/dl (7.8 mmol/l) ට වඩා අඩුය.

 

(ඡායාරූප අනුග්‍රහය: Melissa Wiese)

 

සබැඳි ලිපි:

දියවැඩියාව (Diabetes mellitus) යනු කුමක්ද?
දෙවන වර්ගයේ දියවැඩියාව වලක්වා ගන්නේ කෙසේද?
දියවැඩියාව පාලනය කිරීමට ඉඟි 10 ක්
දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?
ඔබටත් දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවාද?
දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරන්නේ කොහොමද?

 

© 2017 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "දියවැඩියාව රෝග විනිශ්චය කරන්නේ කොහොමද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*